ඩොලර් 500 ක් දෛනිකව වියදම් කරන සංචාරකයන් ගෙන්වීම අපේක්ෂාවයි

112

ජනපති මැතිසබය ඇමතීමෙන් පසු හික්කඩුවට ගොස් ජනතාව හමුවෙයි

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් කරනවා
සංචාරක ව්‍යාපාරය නංවන්න සැලසුම් සහගතව වැඩ කරනවා

සංචාරකයන් ගෙන්වා ගැනීමට ඔවුන් තුළ අපේ රට ගැන විශ්වාසයක් ඇති කළ යුතුයි – ඇමැති හරීන් ප්‍රනාන්දු
හික්කඩුව සංචාරකයන් බොහෝ දෙනකුගේ ගමනාන්තයක් – ඇමැති රමේෂ් පතිරණ
ජනපතිගේ වැඩපිළිවෙළට සියලු දෙනාගේම සහයෝගය ලැබිය යුතුයි – වජිර අබේවර්ධන

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පෙරේදා (23 දා) පස්වරුවේ පැවති හමුවකට එක් වෙමිනි. සංචාරක කර්මාන්තයට අදාළ ගැටලු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් ‘සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම’ මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පා ගමනින් හික්කඩුව නගරයේ සංචාරයක නිරත වු ජනාධිපතිවරයා එහි ව්‍යාපාරිකයින් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීය.

ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ විමසා බැලු අතර එහිදී ව්‍යාපාරිකයන්ගෙන් ජනාධිපතිවරයාට ඉහළ පිළිගැනීමක් හිමි විය.

ජනාධිපතිවරයකු මෙලෙස තම ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙමින් ගැටලු සොයා බැලීම සිදු කළේ පළමු වතාවට බව පැවසූ ඔවුහු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළහ.

ඩොලර් 500 ක් දෛනිකව වියදම් කරන සංචාරකයන් ගෙන්වීම අපේක්ෂාවයි

මේ අතර ජනාධිපතිවරයා හික්කඩුව නගරයට රැස්ව සිටි ජනතාවගේ තොරතුරු විමසීම ද සිදු කළේය.

ව්‍යාපාරිකයින් සමග පැවති හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

අද අපි හික්කඩුවට පැමිණියේ මෙරට සංචාරක ව්‍යාපාරයේ තෝතැන්නක් වන මෙම ප්‍රදේශයේ තිබෙන සංචාරක ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීමටයි. සංචාරක ක්ෂේත්‍රය නඟාසිටුවීමෙන් රටේ ආර්ථිකය නඟා සිටුවිය හැකියි.

අපි මේ රට භාර ගන්නා විට විශාල ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබුණා. නමුත් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික එකඟතාවට යාමට අපට හැකි වුණා. ඔවුන් ලබා දී තිබුණු කරුණු 15ක් අපි මේ වන විට ක්‍රියාත්මක කර අවසන්. දැන් අපිට ආධාර ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අපට ණය ලබාදුන් ආයතන සමඟ සාකච්ඡා කරමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සිදුකරමින් තිබෙනවා.

2026 වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් දක්වා ඉහළ නංවා ගැනීම අපේ අපේක්ෂාවයි. ඉන්පසුව විදේශ විනිමය කළමනාකරණය කිරීම කළ යුතුයි. රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා අපි දිගුකාලීන, මධ්‍ය කාලීන සහ කෙටි කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

අපගේ අපනයන ආදායම, ආනයන වියදම් සඳහා ප්‍රමාණවත් නෑ. එම නිසා අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක අවශ්‍යතාවය තිබෙනවා. අපනයන ආදායම ආනයන වියදම පියවා ගැනීම සඳහා පමණක් නොවේ අපනයන ආදායම අතිරික්තයක් බවට පත් කර ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

ඩොලර් 500 ක් දෛනිකව වියදම් කරන සංචාරකයන් ගෙන්වීම අපේක්ෂාවයි

එසේ නොවුණ හොත් තවත් වසර දහයකින් පසුව නැවතත් ආර්ථිකය කඩාවැටීමට හැකියාව තිබෙනවා. එම නිසා අපනයන ආදායම වැඩි කිරීම සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ආයෝජන ඉහළ නංවා ගැනීමටත් කඩිනම් පියවර ගත යුතුයි.

වසර හතරක් තුළ ක්‍රියාත්මක කළ හැකි ඇතැම් ආයෝජන තිබෙනවා. ඒවායින් ප්‍රතිඵල ලැබෙන්න වසර දහයක් පමණ ගත වෙනවා. ඒ වගේම වසර තුනකින් ප්‍රතිඵල ලබාගත හැකි ආයෝජන තිබෙනවා. එවැනි දිගු කාලීන සහ කෙටි කාලීන ආයෝජන අපි හඳුනාගෙන තිබෙනවා. කෙටි කාලීන ආයෝජන ලෙස සංචාරක ව්‍යාපාරය සැලකිය හැකියි. සංචාරක කර්මාන්තයෙන් විදේශ විනිමය ඉහළ නංවාගත හැක්කේ කෙසේ ද යන්න අප සොයා බැලිය යුතුයි.

පසුගිය කාලයේ සිදූ වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වුණා. එම නිසා සංචාරක ව්‍යාපාරයේ නියුතු සුළු පිරිසක් රටින් පිටව ගියා. තවත් සමහරුන්ගේ වාහන ලීසිං සමාගම්වලින් අරගෙන ගියා.

මෙලෙස බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට අපි උපක්‍රම දෙකක් භාවිතා කරනවා. ඉන් එකක් තමයි වසරකට සංචාරකයන් ලක්ෂ 20කට වඩා වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන එන වැඩපිළිවෙළක් සකස් කිරීම. දෙවන උපක්‍රමය දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා නව සැලසුම් ක්‍රියාත්මක කිරීම. ඩොලර් 500ට වඩා වියදම් කරන සංචාරකයන් ගෙන්වාගැනීම සදහා සැලසුම් සහිතව කටයුතු කිරීමට අපි කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටු වාර්තාව ලැබුණු පසුව එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපි දැන් අවධානය යොමු කළ යුත්තේ දිනකට ඩොලර් 500ක්වත් වියදම් කරන සංචාරකයන් මෙරටට ගෙන්වා ගන්නේ කෙසේද කියලයි. මාලදිවයින ඔවුන්ගේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා යුරෝපයේ රූපවාහිනීවල දැන්වීම් පළ කළා.

නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා අපි එවැනි වැඩපිළිවෙළක් අනුගමනය කළේ නැහැ. මෙවර සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට එවැනි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අනිත් කරුණ තමයි මේ පළාතට පැමිණෙන සංචාරකයන් දින හතක්වත් මේ පළාත තුළ තබා ගැනීමට සංචාරක ක්ෂේත්‍රයේ සිටින ඔබ කටයුතු කළ යුතුයි.

සිංගප්පූරුව මේ වෙන කොට එම රටට පැමිණෙන සංචාරකයින් තවත් අමතර පැය තුනක් රඳවා ගන්නේ කෙසේද කියා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි එක් ප්‍රදේශයකට පැමිණෙන සංචාරකයන් අඩුම තරමින් දින හතක්වත් එහි රඳවා ගැනීමට හැකි වැඩපිළිවෙළකට යා යුතුයි.

අපේ රට තවමත් ලෝකයේ ප්‍රසිද්ධ වී තිබෙන්නේ දෙසැම්බර් මාසයේ සංචාරක ගමනාන්තයක් ලෙසයි. ඇයි අපට අගෝස්තු මාසයේ සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කළ නොහැකි. ඒ ඒ පළාත්වලට ආවේණික සංස්කෘතික උරුමයන් වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් වසර පුරාම සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. ඒ සඳහා ඔබතුමන්ලාගේ දායකත්වය අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබඳව හොඳ ප්‍රචාරණයක් ලෝකයට ගෙන යා යුතුයි. ඒ සඳහා මිනිත්තු කිහිපයක වීඩියෝ පට සම්පාදනය කර ප්‍රචාරණය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකියි. අපි මෙවර නිදහස් උත්සවය උත්කර්ෂවත්ව පවත්වනු ලැබුවේත් මේ රටේ නීතිය හා සාමය ස්ථාවර වී තිබෙන බවට වූ පණිවිඩය ලෝකයට ගෙන යාම සඳහායි.

නීතිය හා සාමය ස්ථාවර නොවූ රටකට සංචාරකයන් පැමිණෙන්නේ නෑ. පසුගිය වසරේ මැයි, ජුනි මාසවල සිදු වූ උද්ඝෝෂණවලින් පසුව සංචාරකයින් ශ්‍රී ලංකාවෙන් ඈත් වුණා. ඔවුන් නැවත අපේ රටට ගෙන්වා ගැනීමට නම් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ස්ථාවර වී ඇති බව ලෝකයට පෙන්විය යුතුයි. මෙම සියල්ල සිදු කිරීමට සංචාරක ව්‍යාපාරයේ සිටින ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍ය වෙනවා.

මෙහිදී ව්‍යාපාරිකයින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, සංචාරක ව්‍යාපාරයේ තෝතැන්නක් වන හික්කඩුව වෙරළ තීරය මේ වන විට අහිමි වෙමින් පවතිනවා. එහි තිබෙන වෙරළ තීරයේ වැලි කිසියම් කණ්ඩායමක් විසින් විකුණමින් පවතිනවා. මේ පිළිබඳ සංචාරක අමාත්‍යවරයාට සහ ධීවර අමාත්‍යවරයාට දැනුම් දුන්නා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකර විසඳුමක් ලබා දෙන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

වහාම වැලි විකිණීමේ ක්‍රියාවලිය නවත්වා දමන්න. ධීවර වරායන් තිබෙන්නේ මාළු විකුණන්න මිස වැලි විකුණන්න නොවෙයි.

ප්‍රශ්නය

හික්කඩුව සිට ගාල්ල දක්වා තිබෙන ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බස් රථ සහ බර වාහන සියල්ල විකල්ප මාර්ගයකට යොමු කළ හොත් සංචාරකයන්ගේ නිදහසට මීට වඩා තහවුරු කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

එසේ නම් අපි බස්රථ සහ බර වාහන විකල්ප මාර්ගයකට යොමු කිරීමට කටයුතු කරමු. ඒ සඳහා සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි, සංචාරකයන් වෙනුවෙන් වෙරළ තීරයේ යම් වැඩසටහනක් පැවැත්වුව හොත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ක්‍රියාත්මක කරනවා. එම තත්ත්වය සොයා බලා සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මෙම ප්‍රශ්නය මා වෙත යොමුකළ යුතු ප්‍රශ්නයක් නොවේ. රාජ්‍ය නිලධාරීන් සිටින්නේ මේවා පිළිබඳ සොයා බල අවශ්‍ය පියවර ගැනීමට. මම නැවත හික්කඩුව ප්‍රදේශයට පැමිණීමට පෙර මෙම ප්‍රශ්න විසඳී තිබිය යුතුයි. ප්‍රාදේශීය ලේකම්වරු මේ සඳහා මැදිහත්වී කටයුතු කළ යුතුයි.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා:

අපේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීමේ අභියෝගය අප භාරගන්නා විට රටේ හිටපු අවසාන සංචාරකයා රටින් පිටව ගොස් තිබුණා. ඒ වගේම ගුවන් තොටුපොළ වසා දමන තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් එම තත්ත්වය වෙනස් කර පසුගිය මාස හය තුළ සංචාරකයන් හත්ලක්ෂ විසිහත්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා.

ඒ වගේම මේ වසරේ පළමු මාසයේදී සංචාරකයන් ලක්ෂකට වඩා අපේ රටට පැමිණ තිබෙනවා. සංචාරකයින් ගෙන්වා ගැනීමට අපේ රට පිළිබඳ ඔවුන් තුළ විශ්වාසයක් ඇති කළ යුතුයි. ඒ සඳහා සංචාරක අමාත්‍යාංශය විදෙස් තානාපතිවරු සමඟ සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

අප රට භාරගන්න අවස්ථාවේදී එමිරේට්ස් ගුවන් සමාගම සිය මෙහෙයුම් සිදු කළේ එක් ගුවන් යානයකින් පමණයි. අද වන විට එය ගුවන් යානා හතරක් දක්වා වැඩි කර ගැනීමට අපට හැකිව තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට නම් ගුවන් යානා ආසන විකිණීම කළ යුතුයි. එවිට තමයි දිනකට අපේ රටට පැමිණෙන ගුවන් යානා ප්‍රමාණය වැඩි වන්නේ. අනිත් කරුණ තමයි සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විනෝද වීම සඳහායි. ඒ නිසා සංචාරකයන් සඳහා විනෝද වීමේ කාලය රාත්‍රී එක දක්වා දීර්ඝ කළ හැකි නම් අපට මීට වඩා සංචාරකයන් ගෙන්වාගත හැකියි.

වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා

2010 වසරෙන් පසුව සංචාරක ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් පැවතුණා. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයත්, කොරෝනා වසංගතයත් සමඟ සංචාරක ක්ෂේත්‍රය බලා සිටියදීම කඩා වැටුණා. 2018 වසරේ දී සංචාරක ව්‍යාපාරය මගින් රුපියල් බිලියන 4ක ආදායමක් අපේ රටට ලැබුණා.

එම තත්ත්වය නැවත ඇති කර ගැනීමට ජනාධිපතිතුමා සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. හික්කඩුව කියන්නේ බහුතරයක් සංචාරකයන්ගේ ගමනාන්තයක්. එය නැවතත් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් සහගතව කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

ජනාධිපතිවරයා මේ රට භාරගත්තේ රට ඉතා අසීරු අවස්ථාවක තිබියදි. දැන් එම අභියෝග ජය ගනිමින් සිටිනවා. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය එතුමාට ලබාදිය යුතුයි. අද නැවතත් මෙම පළාත්වලට සංචාරකයින් පැමිණිමට පටන් ගෙන තිබෙනවා. එම තත්ත්වය අප ක්‍රමයෙන් දියුණු කරගත යුතුයි. ඒ වගේම රටේ අනෙකුත් ක්ෂේත්‍රවලද හොද තත්ත්වයක් ඇති වෙමින් පවතිනවා. නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් තුළින් රට ගොඩනැගීමට හැකියාව තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, ගාල්ල දිසාපති ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment