ඩො. බිලියන 2.9 ක් දෙන්න IMF එකඟතාව

196

ණය බර වගේම ජීවන බරත් අවම කළ යුතුයි – ජනපති

ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (01දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මාස 48 ක කාලයක් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා බලධාරීන්ට එකඟතාව දක්වා ඇති අතර මෙය මූල්‍ය අරමුදලේ කළමනාකරණයේ සහ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වනු ඇත.

ඒ අනුව මේ සඳහා අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු අදාළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල වාරික වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වන පීටර් බෲවර් සහ මසහිරෝ නොසාකි යන මහත්වරු ප්‍රමුඛ නියෝජිත පිරිස ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉකුත් අගෝස්තු 24 දින සිට ඊයේ (01දා) දක්වා සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මෙසේ ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ගැන නිල වශයෙන් නිවේදනය කළේය.

එම නිල නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ මෙම නව විස්තීර්ණ ණය පහසුකමේ අරමුණ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම, ණය තිරසාරභාව ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම, අවදානමට ලක්විය හැකි අය ආරක්‍ෂා කිරීම සහ දූෂණ අවදානම අවම කිරීමට හා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම අවශ්‍ය ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට පෙර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මූල්‍ය සහතික කිරීම් සහ පුද්ගලික ණය හිමියන් සමඟ සහයෝගී ගිවිසුම්වලට එළඹීමට සද්භාවයෙන් උත්සාහ ගැනීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පවසයි.

මේ අතර මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡා කළේය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ණය අර්බුදයෙන් රට මුදාගැනීම සේම ජනතාවගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යා හැකි ආර්ථිකය ගොඩනැංවීම ද ඉතා වැදගත් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය. මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බව ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොළොත්කමින් ගොඩ ඒම සහ ණය අර්බුදයෙන් රට මුදාගැනීම වගේම සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යෑමේදී අපට වර්ධනයක් ළඟාකරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැප වන්නේ අපට ලබාදී තිබෙන ඉලක්ක සපුරා ගැනීම සඳහා පමණක් නොවේ. අපි ඉලක්ක සපුරාගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යෑම වඩාත් පහසු වේවි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment