ණයට අරන් සැපට සිටි යුගය අවසන් වෙමින් යනවා – ඇමැති විමල් වීරවංශ

215

කර්මාන්ත අමාත්‍යංශයේදී අත හෝදන විට මම ලැජ්ජ හිතෙන දෙයක් දැක්කා

මුදල් ණයට අරගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රටේ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

එසේ විදේශ විනිමය උපදවාලිය හැකි ප‍්‍රමුඛතම පිරිස වන කර්මාන්තකරුවන් බලගන්වමින් යන ගමනකට තමන් ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් යැයි ද ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේය.

පෙරේදා (12 වැනිදා) සවස කොළඹදී පැවති කර්මාන්ත අංශයේ සම්මාන උළෙලෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රටේ විදේශ විනිමය සංචිතය සැලකිය යුතු මට්ටමකට යනතුරු කිසිදු ‘රේටින් ආයතනයක්’ ‘රේටින්ස්වලින්’ දැන් තිබෙන තත්ත්වයෙන් ඉහළට අපේ රට ඔසවා තැබීමට කටයුතු කරාවි, කියලා බලාපොරොත්තු වීමට බැහැ. රේටින්ස්වලින් ඉහළට ගියොත් තමයි අපට ආයෝජනයක් ලෙස හෝ ණයක් ලබාගත හැකි වාතාවරණයක් ජාත්‍යන්තරව ඇති වන්නේ. අපි කියනවා සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙනවා කියා. නමුත් පැමිණෙන පිරිසට පහසුකම් සැලසීමට අපි විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් රටෙන් එළියට ද යවනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය, ඇත්ත ප‍්‍රමාණය ලෙස

පිළිගැනීමට අපහසු යි. කෙසේ නමුත් මේ මා ඉදිරිපිට සිටින ඔබ තමයි අතීතයේ සිට මේ අර්බුදයට උත්තර සෙවීමට කැප වූ පිරිස.

අපි නිදහස් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයකට ගියේ ශක්තිමත්ව ‘අපේ කණු 04’ සිටුවාගෙන නොවෙයි. උපායමාර්ගිකව කවදා හෝ එතැනට යාමට සිදුවීම සැබෑ වුවත් එසේ යාමට පෙර අපේ ආර්ථිකය ස්ථාවරව, ශක්තිමත්ව ගොඩනගා ගත යුතුව තිබෙනවා. අපේ කර්මාන්තකරුවා ඒ එන ‘සුළඟට‘ මුහුණදිය හැකි අයෙකු බවට පත් කරගත යුතුව තිබෙනවා. අපි ඒ තත්ත්වයට අපේ රටේ කර්මාන්තකරුවා පත් කරගෙන තමයි විවෘත ආර්ථික ගමන යා යුතුව තිබුණේ. නමුත් අවාසනාවට එබඳු ගැඹුරු කල්පනා කිරීමකින් තොරව එය සිදු වුණා. එදා සිට අපේ රට පුරුදු වුණේ ‘විදේශ ණය මත රටේ සංවර්ධනය’ කියන සංකල්පය බලගන්වා පෙන්වීමට. එදා සිට විශාල අයවැය පරතරයක් හැදෙනවා. එම පරතරය පියවීමට ණය ගැනීමට බල කෙරෙනවා. ණය

ගනිමින්, එම ණයවල පොලී ගෙවීමට නැවතත් ණය ගනිමින්, දශක ගණනාවක් පැමිණි ගමන කෙළවර, අපට නිර්දය ඇත්තට මුහුණ දීමට සිදුව තිබෙනවා.

විවෘත ආර්ථිකයේ මුල එදා ණය අරගෙන ජීවත් වෙද්දී, අලූතෙන් මධ්‍යම පන්තියක් හැදෙනකොට, අලූතෙන් ජීවන රටාවක් එනකොට, මේ රටේ දෙයක් පරිභෝජනය කරනවාට වඩා වෙන රටක නිෂ්පාදනය කරනු ලැබූ දෙයක් පරිභෝජනය කරන තැනට අප පත්ව තිබෙනවා. මම මේ දේ මෙතෙක් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාටවත් පවසා නැහැ. එය මෙරට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මා ලැජ්ජාවට පත්වූ අවස්ථාවක්. අපේ අමාත්‍යාංශයේ එක කොටසක පොඩි නවීකරණයක් කළාට පසුව මම අත සේදීමට ගොස් ‘සින්ක් එක’ දෙස බලනකොට දුටුවා එහි ගහලා තිබෙනවා ‘මේඞ් ඉන් ටර්කි’ කියා. අඩුම තරමින් කර්මාන්ත අමාත්‍යාංශය තුළ සවි කරන මෙවලමක්වත් ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ විය යුතුයි නේද? අපි එතැනදී ඒ ගැන සැලකිලිමත් වී නැහැ. මා කර්මාන්ත අමාත්‍යාංශය භාර ගත් මුල් කාලයේ අමුත්තන් පිරිසකට සංග‍්‍රහ කිරීමට විදේශයක නිෂ්පාදිත බීම වර්ගයක් යොදා ගත් අවස්ථාවක් මගේ මතකයට එනවා. කර්මාන්ත අමාත්‍යාංශයවත් ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ ක‍්‍රියාන්විතය

බලගැන්වීමේ මානසිකත්වයෙන් යුක්ත නොවුණොත් දේශීය කර්මාන්තයන්හි දියුණුවක් සිදු වීමට බැහැ.

අද අපේ කර්මාන්තකරුවන් ‘ගල් අච්චුවේ පත්තර මුද්‍රණය’ වැනි ප‍්‍රාථමික ආකාරයෙන් සිය නිෂ්පාදනයන් කරන අය නොවෙයි, දේශීය වෙළෙඳපොළ පමණක් නොවෙයි ඕනෑම විදේශීය වෙළෙඳපොළක් ජය ගත හැකි ගුණාත්මක බවින් යුතු, ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සිදුකරන අය. අවාසනාවට අපි ණයට අරන් ඇඳලා, කාලා ඉන්න පුරුදු වුණා. මේ රටේ දේවල් හෑල්ලූවට ලක්කරලා, විදේශ රටවල නිෂ්පාදන තමන්ගේ දියුණුව පෙන්වන සංකේත බවට පත් කර ගත්තා. හැමදේම අපට පිටින් ගෙන එන්න සිදුවුණා. ඒ ගමන තුළ, ඒ දේවල් ගෙන ඒමට රටින් පිටට යන සල්ලි නතර කර ගැනීම පිළිබඳ සංවාදයක් තිබුණේ නැහැ. කොවිඞ් වසංගතය සමග අපට ප‍්‍රමාද වී මුහුණදීමට සිදුවන අර්බුදයකට දැන්ම මුහුණදීමට සිදුව තිබෙනවා.

අපට බොරු කරන්න බැහැ. අපට ඩොලර් අච්චු ගහන්න බැහැ. අපට විදේශ විනිමය උපයන්න නම්, මේ රටෙන් එළියට යන විදේශ විනිමය ප‍්‍රමාණය අඩු කරන්න නම් ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. රුපියල් 5000

බැගින් ලබා දීලා ඒ කරන්න බැහැ. අද පවතින කේන්ද්‍රීය අභියෝගය, විදේශ විනිමය ඇද්දවිය හැක්කේ කාට ද, ඒ අයවයි

බලගැන්විය යුත්තේ. විදේශ විනිමය උපදවිය හැකි අය තමයි කර්මාන්තකරුවන් වන ඔබලා.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පෙන්වා දුන් පරිදි අපි එකඟ වෙනවා, කර්මාන්තකරුවන් වන ඔබට රජයේ ආයතන සමග කටයුතු කිරීමට පහසු ක‍්‍රමවේද හඳුන්වා දිය යුතුයි කියන එකට. කර්මාන්තකරුවාට අපි සමාජයක් ලෙස මීට වඩා පිළිගැනීමක් ලබාදිය යුතුයි.

‘මේ ණය ගෙවන්න – තවත් ණයක් ගැනීම’ වැනි උත්තරවලින් යන්න පුළුවන් උපරිම දුර අපි ඇවිල්ලා තිබෙන්නේ. රේටින්ස්වලින් වට්ටලා තිබෙන තැනත් එක්ක අපට ණයක් දෙන්න කවුරුත් හිත හදා ගන්නේ නැහැ. ඒ නිසා ‘ණය අරන් සැපට ජීවත් වූ යුගය ඉවරයි’ කියා හිතලා මේ රටේ කර්මාන්ත බලගන්වලා, අපේ කර්මාන්තකරුවන් විදේශ විනිමය උපදවන මහා බලඇණිය බවට පත්කිරීමයි අප විසින් කළ යුතුව තිබෙන්නේ. රජයක් හැටියට අපි ඒ අරමුණ වෙනුවෙන් කැපවෙනවා. ඊට අදාළ පහසුකම් සැපයීමට කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අප ඇපකැප වී කටයුතු කිරීමට සූදානම්. කර්මාන්තකරුවන් වන ඔබගේ ඕනෑම ගැටලූවකට සවන් දී ඒවා විසඳා දීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉහත කී නූතන අභියෝගය ජයගැනීමට කර්මාන්තකරුවාට ශක්තියක් වෙමින්, ඒ වෙනුවෙන් වන ක‍්‍රියාන්විතයකට අපි සූදානම් බවත් අවධාරණය කරනවා.”

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනීෂියස් ප‍්‍රනාන්දු ඇතුළු මෙරට ප‍්‍රමුඛතම ව්‍යවසායකයෝ පිරිසක් ද එක්ව සිටියහ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment