ණයට ඉල්ලා අමනාප නොවන්න

1572

ශ‍්‍රී ලංකාව ණයට ජීවත් නොවූ එකම වකවානුව වූයේ සිංහල රාජවංශය පැවති කාලයයි. කෙසේ වුවද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා සිය රාජකීය සමයේ අවසන් කාලයේදී බ‍්‍රැන්ඩි ණයට ගත් බවට කතාවක් තිබේ. එකල කන්ද උඩරට රාජධානිය හැර සිංහලේ සෙසු සියලූම කොටස් බි‍්‍රතාන්‍ය කිරීටය යටතේ පැවතිනි. මේ නිසා බ‍්‍රැන්ඩි තිබුණේ පහතරට සුද්දන් ළඟය. කන්ද උඩරට වෙළෙඳාමේ එන මුස්ලිම් වෙළඳුන් අත බ‍්‍රැන්ඩි තිබිණ. රජු මේවා විශාල වශයෙන් ණයට ගත් බවත් එම ණය නොගෙවූ අතර ඒ වෙනුවට කන්ද උඩරට සිංහලයන්ට හෙණ ගහන ගණන් වලට බඩු විකිණීමට බ‍්‍රැන්ඩි වෙළෙඳුන්ට ඉඩදී තිබූ බවත් කියනු ලැබේ. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු රජකම අහිමි වන්නට කිට්ටුවදී තනිකර බේබද්දෙක් බවට පත්විය. රාජ්‍ය පාලනය පිළිබඳ සියලූ තීරණ ඔහු විසින් ගන්නා ලද්දේ විකල් සිහියෙනි. බි‍්‍රතාන්‍යයන් විසින් අප යටත් කරගත් පසුවද මේ රට ණයට දුවන රාජ්‍යයක් බවට පත්විය. කොළඹ නුවර රේල් පාර හදන ලද්දේ පවුම් දස ලක්ෂයක් එංගලන්තයෙන් ණයට ගැනීමෙනි. මේ කොන්ත‍්‍රාත්තුව බි‍්‍රතාන්‍ය සමාගමකට භාරදුන් අවස්ථාවේදී ඒ සඳහා වියදම වශයෙන් පවුම් විසි ලක්ෂයක ඇස්තමේන්තුවක් ඉදිරිපත් විය. එය ප‍්‍රතික්ෂේප කළ මෙරට බි‍්‍රතාන්‍ය පාලකයෝ මෙරට තිබූ වැඩ දෙපාර්තමේන්තුවේ සිටි ඉංග‍්‍රීසි ඉංජිනේරුවන්ද දෙමළ කම්කරුවන්ද යොදවා පවුම් මිලියනයෙන් වැඬේ නිම කළේය. රේල් පාර සැදීමේ කටයුත්තට සිංහල කම්කරුවන් පැමිණියේ ඉතා ස්වල්ප වශයෙනි. පාරම්පරික ස්වයං රැකියාවල උරුමක්කාරයන් වූ ඔවුහු අනුන් යටතේ මුදලට වැඩ කිරීමට අකැමැති අය වූහ. ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් භාණ්ඩ හුවමාරු සංස්කෘතියෙන් ඉවත්ව මුදල් සංස්කෘතියට පිවිසෙන්නට වූ කල්හි අපි ණය වීමට පටන් ගතිමු. රට වැසියා, රට වැසියාගෙන්ම මුදල් ණයට ගත් අතර රට, වෙනත් රටවලින් ණයට ගන්නට පටන් ගත්තේය. 1948 වනවිට ශ‍්‍රී ලංකාව ක‍්‍රමයෙන් නිෂ්පාදන ආර්ථිකයෙන් ඉවත්වී ණය මත යැපෙන රටක් බවට පත්වෙමින් සිටින අයුරු සුද්දන්ට පෙනී ගියේය. මේ නිසා 1947 දී ඉන්දියාවට නිදහස දුන් බි‍්‍රතාන්‍ය පාලකයෝ යටි හිතේ තිබූ ඉමහත් කැමැත්තෙන් ඉන් වසරකට පසු ශ‍්‍රී ලංකාවටද නිදහස දී මෙරටින් ගැලවී පලා ගියහ.

අවුරුදු 73 ට පසු ශ‍්‍රී ලංකාව දරුණුම ආර්ථික අවපාතයකට මුහුණු දුන් අවුරුද්ද 2021 ය. 2019 දෙසැම්බර් වන විට කොවිඞ් වසංගතය ලොව පුරා පැතිර ගියේය. 2020 මාර්තු වන විට එම වසංගතය ලංකාවට පැමිණියේය. එබඳු වසංගතයක් පාලනය කිරීම පිළිබඳව මෑත කාලීන අත්දැකීම් කිසිවක් නොවූ බැවින් ආණ්ඩුවට රට වහන්නට සිදුවිය. මෙහිදී එදිනෙදා වැඩකර මුදලක් උපයා ගන්නා කම්කරුවන් හැර මාස් පඩි කාරයන් සියලූම දෙනා ෆන් ගැනීමට පටන් ගත්හ. පළමුව ක්‍රෙඩිට් කාඞ් තිබූ අය සුපර් මාර්කට් වලින් ඔන් ලයින් ක‍්‍රමයට දිගට හරහට බඩු ණයට ගත්හ. දෙවනුව මාස් පඩිකාරයෝ බැංකුවට වැටුප් මුදල් වැටුණු සැණින් ඒවා ඉවරවන තුරු ඩෙබිට් කාඞ් හරහා ඔන් ලයින් ක‍්‍රමයට බඩු ගත්හ. මුල් කොරෝනා වටයේදී මාස පහක් පමණ එක දිගට රට වසා තබන ලදී. ඒ මාස පහේදීම මිනිස්සු ණයට කෑහ. දෙවැනි කොරෝනා වටයේදී මාසයේ වියදම් පිරිමසා ගැනීමට සිදුවූයේ බඩු උගස් තැබීමෙනි. මේ ණයවලින් වැඩිහරියක් තවමත් ගෙවා නැති අතර බොහෝ දෙනාගේ ක්‍රෙඩිට් කාඞ් අත්හිටුවා තිබේ. දීර්ඝ කොරෝනා සමය තුළ රටේ නිෂ්පාදන කටයුතු නැවතීමෙන් ආර්ථිකයෙන් කොටසක් නන්නත්තාර විය. ඊළඟට විදේශික ශ‍්‍රමිකයන් වෙතින් මෙරටට පැමිණි ඩොලර් බිලියන ගණනක් නැවතින. සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම නැවතුන බැවින් හෝටල් කර්මාන්තය බංකොලොත් විය. මීට සමපාතව ලෝක ආර්ථික අර්බුදයද වර්ධනය විය. අවසන් ඵලයේදී තෙල්
ගැනීමටත් කෑම ගැනීමටත්, බෙහෙත් ගැනීමටත් ඩොලර් නැති බැවින් ලංකාව සුවිශාල අර්බුදයකට මුහුණ පෑවේය. අද තිබෙන තත්ත්වයට අනුව ශ‍්‍රී ලංකාවට ණය දීමට කවුරුවත් සූදානම් නැත. ණය ගැනීම සඳහා රටට මගක් නැති බවත් අපට ආදායම් එන වැඩපිළිවෙළක් නැති බවත් පිට රටවල් දනිති. මේ නිසා විවිධ රටවල් අපට ණය දෙන බව කියා මගහැරීමට පටන් ගත්හ. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා වූද ප‍්‍රයෝගික ආර්ථික විශේෂඥයකු වූද ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි මේ වෙලාවේ ශ‍්‍රී ලංකාව සතුව ඇති, වහා භාවිත කළ හැකි ඩොලර් ප‍්‍රමාණය බිලියන 1.10 කි. ඉදිරි වසරේ ආනයන අවශ්‍යතා සැසඳීමේ දී එම මුදල ප‍්‍රමාණවත් වන්නේ සති තුනකට පමණක් බව ඔහු කියයි. ඉදිරි වසරේ ආනයන අවශ්‍යතාව ඩොලර් බිලියන 23 කි. එය ලැබෙන මගක් හීනෙන්වත් නොපෙනේ.

ශ‍්‍රී ලංකාව මෙවැනි ආර්ථික අර්බුදයකට ඇද වැටුනේ ඇයි? එයට හේතුව මේ රට ක‍්‍රමයෙන් නිෂ්පාදන ආර්ථිකයෙන් ඉවත් වීමය. මේ වනවිට මේ රටට අවශ්‍ය හාල්, පොල්, ගස්ලබු සහ ඇඹුල් කෙසෙල් හැර සෙසු සියලූම දේවල් පිට රටින් ගෙන්විය යුතුය. බෝල් පොයින්ට් පෑනකට අවශ්‍ය ප්ලාස්ටික්, කාබන්, තීන්ත සහ තුඩ පිට රටින් ගෙන්වනු ලැබේ. කඩදාසි ගේන්නේ ද පිට රටිනි. ගෑස් සහ ඉන්ධන ද යන්ත‍්‍ර සූත‍්‍ර ද ඒ සඳහා අවශ්‍ය යකඩ ද ගේන්නේ පිට රටිනි. වෙනකක් තබා තලපත් මාළු පවා ගෙන්වූයේ මැලේසියාවෙනි. මැලේසියාවෙන් තලපත් ගෙන්වීමට තවදුරටත් ඩොලර් නැති බැවින් අදවන විට වෙළෙඳපොළේ තලපත් මාළු, තෝර මාළු වලටත් වඩා මිල අධිකය. සියලූම බෙහෙත් පිටරටින් ගෙන්වන අතර දේශීය බෙහෙත් සැදීමට අවශ්‍ය සියලූම අමු ද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙනෙනු ලැබේ. උණ හෙම්බිරිස්සාවට බොන කොත්තමල්ලි ගෙනෙන්නේ රුමේනියාවෙනි. අමු ඉඟුරු පමණක් කිලෝව රුපියල් 400 ට පිටකොටුවෙන් ලබාගත හැකිය. වියළි ඉඟුරු කිලෝවක් රුපියල් 4800 කි.

මේ අතර පිට රටින් පොහොර ගෙන්වා තවදුරටත් ගොවිතැන් කළ නොහැකි තත්ත්වයකට රට පත්ව ඇත. කලකට පෙර ටොන් එකක් ඩොලර් 278 බැගින් ආනයනය කළ යූරියා පොහොර අද ටොන් එක ඩොලර් 1200 දක්වා ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසා තිබේ. ඒ අනුව එම මිලට යූරියා ගෙන ගොවිතැන් කළොත් හාල් කිලෝවක් රුපියල් 500 ඉක්මවන බව ඔහුගේ මතය වේ. මේ අනුව මේ රට රටක් වශයෙන් වැඩි දුරටත් කල්පනා කොට ස්වයං පෝෂණය සඳහා කුමක් හෝ වැඩපිළිවෙළකට යා යුතුය. ණයට ඉල්ලා අමනාප නොවන්න. කවුරුත් අපට ණය නොදෙති.

advertistmentadvertistment
advertistmentadvertistment