ණය අර්බුදයට මුහුණ දුන් රටවලට IMF විසඳුම් සොයනවා – කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝජියෝවා

154

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට මුහුණ දෙන රටවලට විසඳුමක් ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියෝවා මහත්මිය පවසයි.

චීනය සහ ඉන්දියාව ඇතුළු සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ණය දෙන්නන් සමග එක්ව ශ්‍රී ලංකාව වැනි රටවල අහිතකර ණය තත්ත්වයන් සමනය කිරීම සඳහා බලපෑම් කරන බවද ඇය සඳහන් කර ඇත.

ඇමෙරිකානු රූපවාහිනී සේවයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර ඇත. එම රූපවාහිනී සේවය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව ගැන සඳහන් කරමින් ඇය මෙසේ පවසා තිබේ.

මේ වනතුරු මේ රටවල් මුහුණදෙන ණය අර්බුදය ගෝලීය අර්බුදයක් නිර්මාණය කිරීමට තරම් කැපී පෙනෙන මට්ටමට පැමිණ නැහැ. ඉතියෝපියාව, සැම්බියාව, ඝානාව, ලෙබනනය, සුරිනාම් සහ ශ්‍රී ලංකාව මෙලෙස දැඩි ණය අර්බුදයකට මුහුණ දෙනවා. එම රටවල ජනතාවට අපට කිවහැක්කේ අප ඒ සඳහා විසඳුම් සොයන බවයි.

කෙසේ නමුත් එය ගෝලීයව පැතිරීමේ තත්ත්වයක් දැනට දක්නට නැහැ. එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලින් සියයට 25 ක් පමණ මෙලෙස ණය අර්බුදයක් කරා යොමුවන බව පෙනෙනවා. මේ විදියට මේ රටවල් ලැයිස්තුව වර්ධනය වුවහොත් එය ගෝලීය අර්බුදයක් බවට පත්වීමේ අවදානමක් පවතිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ණය අර්බුදයට විසඳුමක් ගෙන ඒමට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ සඳහා අපි පැරිස් සමාජය වැනි සාම්ප්‍රදායික ණය හිමියන් සමග වගේම චීනය, ඉන්දියාව, සෞදි අරාබිය වැනි සාම්ප්‍රදායික නොවන ණය හිමියන් සමගද කටයුතු කරනවා. ඔවුන්ට අපේ පණිවුඩය සරලයි. ඒ ඊට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බවයි.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය මේ වසරේදී (2023) මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා අසීරුවනු ඇති බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment