ණය ආධාර භාවිත කර ඖෂධ හිඟය ඉක්මනින්ම  විසඳීමට කටයුතු කරන්න – කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්

84

ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කර ඇත.

රජයේ රෝහල්වල මේ වන විට පවතින ඖෂධ හිඟය හා එම හිඟය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන නිලධාරින් පෙරේදා (31දා) කෝප් කමිටුවට කැඳවා තිබූ අවස්ථාවේදී ඒ මහතා මෙම නිර්දේශය සිදු කර තිබේ.

ඉන්දියානු ණය පහසුකම යටතේ ඩොලර් මිලියන 200ක මුදල් ආධාර ලැබී තිබුණ ද 2022 අප්‍රේල් 22 වන විටත් අමාත්‍යංශ ඖෂධ උප කමිටුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් පිරිවැය වූ වෛද්‍ය උපකරණ සැපයුම් තොග සඳහා පමණක් නිර්දේශ ලබා දී තිබූ බවයි. එය එම ආධාර මුදලින් 28% ක් වූ බවත් 2022 මැයි 18 දින වන විට ඇමරිකානු ඩොලර් මිලියන 92.9 ක් වූ ඉන්වොයිස් පමණක් නිර්දේශ කර තිබූ බවත් මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.

තවද ඉන්දියානු ණය ආධාරවලට අමතරව ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති ලෝක බැංකු ණය ආධාර ක්‍රමය, ලෝක සෞඛ්‍ය සංවිධාන ආධාර, ආසියානු සංවර්ධන බැංකු ආධාර සහ වෙනත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ආධාර හැකි ඉක්මනින් යොදවා නොගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය. විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාරයද ඇතුළුව ලැබී ඇති මෙම සියලු ආධාර මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 330 ඉක්මවන බවද ඒවා තවම වැයකොට නොමැති බවද මෙහිදී හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳ අවධානය යොමුකරමින් කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ ඖෂධ හිඟය වළක්වා ගැනීම සඳහා ලැබී ඇති ඇමරිකානු ඩොලර් නිවැරදිව කළමනාකරණය කරමින් ඉක්මණින් යොදවා නොමැති බවයි. එබැවින් ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් හිඟයක් පැවතී නොමැති බවත් කළමනාකරණය කිරීමේදී ඉක්මනින් එය සිදු නොකිරීමේ ගැටලුක් මෙහිදී නිරීක්ෂණය වන බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment