ණය උගුලෙන් ගොඩ ඒමට ඉන්දියාව අත දෙයිද?

150

අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මස 23 දා නිවේදනය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අදාළ ණය මුදල් නිදහස් නොකරන බැවිනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ මෙම නම්‍යශීලී ප්‍රතිපත්තිය චීනයට දැඩි පහරක් වන අතර එය ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනයේ අනම්‍ය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට හේතුවක් වී ඇති බව නොඅනුමානය.

ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙය වේ. මිලියන 22 ක ජනගහනයක් වෙසෙන රටේ ජනතාවගේ ඉන්ධන, ආහාර, ගෘහස්ථ ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ගෙවීමට ඩොලර් සපයා ගැනීම දෛනිකව අභියෝගයක්ව පවතී.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට ඉන්දියාව සිය පූර්ණ සහය පළකරන බවට තමා වෙත දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ප්‍රකාශයට පත් කිරීමත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු අපේක්ෂා කිරීමට හැකි වී ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුත්තේ අනෙකුත් ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කොට ඉන්දියාව හා සමාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකයක් ලබා ගැනීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයකු ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

දශක හතක් තුළ රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් ගිවිසුමකට එළැඹීමට චීනයේ සහ ඉන්දියාවේ එනම් විශාලතම ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ජනවාරි 19 සහ 20 යන දිනවල කොළඹට පැමිණීමට දින කිහිපයකට පෙර ඉන්දියාවේ සුබවාදී ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවට හින්දු පුවත්පත වාර්තා කරන ලදී. මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන තීරණාත්මක ඩොලර් බිලියන 2.9 ක පැකේජය ලබා ගැනීමේ ආසන්න පියවරක් සනිටුහන් කිරීමක් බවට හින්දු පුවත්පත වාර්තා කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීම සහ පෞද්ගලික ණය හිමියන් සමඟ සහයෝගී ගිවිසුමකට එළැඹීම අත්‍යවශ්‍ය කාරණා වන්නේය.

චීනය, ජපානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් තිදෙනා වේ. ඉන්දියාවෙන් ලැබුණු සුබවාදී ප්‍රතිචාරයටත් සමඟ, මීළඟට අවශ්‍ය වන්නේ ජපානයෙන් සහ චීනයෙන් අදාළ සහතිකයන් ලබා ගැනීමයි.

ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡාවලට අදාළව ජපානයේ සාමාජිකත්වය දරන පැරිස් සමාජය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී සහතිකයක් නිකුත් කරනු ඇති බවට වාර්තා පළවී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය

පසුගිය 19 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තම සහයෝගිතාව පළකිරීම මෙම සංචාරයේ මූලිකම අරමුණ බව ජයශංකර් මහතා පවසා සිටියේය. අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය මත පිහිටා ඉන්දියාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් ඉන්දියාව පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ණය මූල්‍ය පහසුකම් සපයා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් එයට ණය ලබා දී ඇති රාජ්‍යයන් ඉතා කඩිනමින් සැපයීමට ක්‍රියා කළ යුතු බව ඉන්දියාවේ ස්ථාවරය බව ජයශංකර් මහතා පවසා සිටියේය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනිකුත් අය සිදු කරන්නට යන්නේ කුමක්ද යන්න ගැන බලා නොසිට, නිවැරදි යැයි විශ්වාස කරන දේ කඩිනමින් සිදු කිරීම ඉන්දියාවේ ස්ථාවරය බව ජයශංකර් මහතා පවසා සිටියේ.

‘ශ්‍රී ලංකාවට ඉදිරියට යෑමට ඇති මග පැහැදිලි කිරීම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මූල්‍ය සහතික ලබා දුන්නා. මේ මගින් අපි අපේක්ෂා කරන්නෙ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම පමණක් නොව සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි.

ව්‍යාපාරික ප්‍රජාව සමඟ බෙදා ගන්න මට පණිවිඩයක් තියෙනවා. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල

ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව දිරිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ව්‍යාපාරික කටයුතුවලට හිතකර පරිසරයක් ඇති කරනු ඇතැයි අපි

ශ්‍රී ලංකා රජයෙන් බලාපොරොත්තු වෙනවා. දැනට රටේ පවතින බරපතළ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වටහා ගන්නා බව මට විශ්වාසයි’ ජයශංකර් මහතා ශ්‍රී ලංකාව තුළදී නිකුත් කළ නිවේදනයෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීමට ඉන්දියාවෙන් යෝජනා

බලශක්ති සුරක්ෂිතතාව අද ශ්‍රී ලංකාවට බරපතළම අභියෝගයක් වී ඇති බවත් එයට විසඳුම් සෙවීමේදී පුළුල් පරාසයක් ආවරණය කරන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු විය යුතු බවට ජයශංකර් මහතා පවසා සිටියේය. තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකි දැවැන්ත පුනර්ජනනීය බලශක්ති විභවයක් මේ රට සතුව ඇති බවත් එහිදී බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙසට ත්‍රිකුණාමලය දියුණු කළ හැකි බවට ජයශංකර් මහතා පැවසීය. ශ්‍රී ලංකාවට සහාය දක්වමින් එවැනි ව්‍යාපෘති සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙසට මුලපිරීමට ඉන්දියාව සූදානම් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ඒ අනුව දෙරට අතර සහයෝගීතාව ඉදිරියට රැගෙන යමින් පුනර්ජනනීය බලශක්ති රාමුවක් ඇති කර ගැනීම පිළිබඳව රටවල් දෙක වර්තමානයේ දී ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බව ජයශංකර් මහතා වැඩිදුරටත් පැවසීය.

“සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීව රුධිරයයි. ඉන්දියානු සංචාරකයන් මෙහි පැමිණීමෙන් ඉතා ප්‍රායෝගිකව ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ ධනාත්මක හැඟීම් ප්‍රකාශ කරන බව මම සටහන් කරමි. නමුත් මෙය තවදුරටත් දියුණු කිරීම සඳහා අපට ගත හැකි තවත් බොහෝ පියවර තිබේ. එබැවින් සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම අප විසින් මූලිකව කළ යුතු වේ. නිසැකවම, ඉන්දියානු සංචාරකයන්ට රුපේ නමැති ඉන්දියානු ගෙවීම් ක්‍රමවේදය භාවිත කිරීම දිරිමත් කිරීම වඩාත් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වනු ඇත” ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නීතිඥ ලලිත් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment