ණය ගෙවන්න ක්‍රමයක් නෑ…විකිණීම හැර විකල්පයකුත් නෑ!…මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

203

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම අර්බුදයක්
දුප්පත් සහ පහල ආදායම් ලබන ජනතාවට සහන දෙන්න කියලා IMF කියනවා!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප රටට ලබාදුන් රුපියල් බිලියන 2.9 ක සහනය පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධයෙන් රට තුළ පවතින විවිධ මත පිළිබඳව ඇතු`ථ කරුණු කරනා කිහිපයක් ගැන විමසීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාව සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් සමග වන සාකච්ඡාවට ඔහු විදේශගතව සිටි බැවින් දුරකථන මාර්ග ඔස්සේ සාකච්ඡාව සිදු කළ අතර එම සාකච්ඡාව පහත පරිදි වේ.

ප්‍රශ්නය – රට තුළ පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ලැබූ IMF සහනය මොන වගේ පිටිවහලක් වේවිද?

පිළිතුර – අපි ගිය වසරේ බංකොළොත් රටක් බවට ප්‍රකාශයට පත් කළා. ඒ වගේම අපේ විදේශ සංචිත පහළ මට්ටමකට වැටීම, කොරෝනා වසංගතය, රුසියා යුක්රේන යුද්ධය ඇතුළු කාරණා නිසා අපේ ආර්ථිකය විශාල ලෙස අර්බුදයට ලක් වුණා. ඒ වගේම පැවති අපේ රජයේ බදු කපා හැරීමේ කටයුත්තේ වාසිය රජයට ගන්න බැරි වුණා. මේ වගේ තත්ත්වයන් මත අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයන් තුළ මේ ලැබූ අවස්ථාව අපට ඉතාම වටිනවා. මේ තුළින් ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගන්න අනිවාර්යෙන්ම අපිට හැකියාව ලැබේවි. ඒ වෙනුවෙන් අප දැඩි තීන්දු තීරණ මෙන්ම කැපවී කටයුතු කරනවා.

ප්‍රශ්නය – අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන අවස්ථාව මෙයයි. මීට පෙර අවස්ථා 16 කදී ගොස් සම්පූර්ණ කර ඇත්තේ අවස්ථා නමයක් පමණයි. එවැනි ඉතිහාසයක් තුළ මෙම අවස්ථාව මගදී අත්නොහැරෙන බවට ඇති සහතිකය කුමක්ද?

පිළිතුර – මෙහෙමයි. ඉතිහාසයේ අප නම වතාවක් සම්පූර්ණ කර තිබෙන බව කියන්න ඕන. අප මේ 17 වන අවස්ථාවේ සම්පූර්ණ නොකළොත් රට පසුගිය 2022 වසරේ තිබූ තත්ත්වයට වඩා අසීරු තැනකට යන එක ස්ථිරයි. ඒ නිසා අප මේ අවස්ථාවේ අයි. එම්. එෆ්. වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන යා යුතුමයි. එතැනදි මම ඉහත කිව්වා වගේම අමාරු, අසීරු ක්‍රියාවලීන්ට යන්න වෙනවා. එය අමාරු තමයි. නමුත් රට ආර්ථික අතින් ස්ථාවර කරන්න නම් ඒ තැනට අප යා යුතුමයි. අපට වෙන විකල්ප නැහැ.

විදුලිය නැති රටක්, කෑම බිම නැති රටක්, පොහොර, බෙහෙත් නැති රටක් කෙටියෙන් කියනවා නම් පෝලිම් නැති රටක් හදන්න නම් අසීරු එහෙත් කළ යුතු දේ අප කළ යුතුයි. ඔබ කැමැතිද තවත් පෝලිම්වල කාලය නාස්ති කරන්න. එය ඉදිරියටත් වෙන්න දෙන්න බැහැ. මේ වන තෙක් රජය කර ඇති ප්‍රතිසංස්කරණ සමග රට යම් ස්ථාවරත්වයකට ඇවිත් තිබෙනවා. නමුත් එය පූර්ණ ස්ථාවරයත්වයක් නෙමෙයි. තෙල් තිබ්බට තවම එය දෙන්නේ කෝටා ක්‍රමයට. ආනයන කළාට එය සීමා සහිතව තවමත් සිදුකරන්නේ. ප්‍රශ්නය තවම අවසන් නැහැ. හැබැයි අපි රජය එය අවසන් කරන්න තිබෙන හොඳම විසඳුමට ප්‍රවේශය දැන් අරගෙන තිබෙනවා.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පහළ ආදායම් ලබන ජනතාව පීඩාවට පත් වන ඒ කාරණය වළක්වන්න බැහැ. දැනටමත් එම ජනතාවට දරාගත නොහැකි පීඩනයක් එල්ල වී තිබෙනවා. එකී ජනතාව රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙසේද?

පිළිතුර – අයි. එම්. එෆ්. අපට බලහත්කාරයෙන් වැඩසටහනක් දෙන්නේ නැහැ. අපි තමයි අපට ගැළපෙන ලෙස එය ක්‍රියාත්මක කළ යුතු වන්නේ. අපේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිගත නැති තැනකට ඇවිත් ඇති බවට සහතිකයක් දීම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කර තිබෙන්නේ. ඔවුන් අපට මඟපෙන්වීමක් කර තිබෙනවා.

මේ ප්‍රතිසංස්කරණ කරන අතරතුර දුප්පත් සහ පහළ ආදායම් ලබන ජනතාවට වැඩි තැනක් දෙන්න කියලා ඔවුන් අපට පෙන්වා දී තිබෙනවා. ඒ අනුව එයට අවශ්‍ය වැඩසටහන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා අපි මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඇත්තටම අප රටේ රජයේ ප්‍රතිලාභ ලබන සියයට 30 කට වඩා වැඩි ප්‍රමාණයක් ඊට නුසුදුසු අයයි. ඒ අනුව සැබැවින්ම ප්‍රතිලාභ ලැබිය යුතු පිරිසකට ප්‍රතිලාභ නොලැබී ගොස් තිබෙනවා. එම නිසා අප කළ දැන්වීමට අනුව අපට ඉල්ලුම් පත්‍ර ලක්ෂ 37 ක් ලැබී තිබෙනවා. ඒවා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා සංගණනය කරගෙන යමින් තිබෙනවා. එහිදී සුදුසු නුසුදුසු අය තෝරා ගන්න හැකි වේවි. ඒ තුළින් යමක් කමක් ඇති අය රජයේ ප්‍රතිලාභ ගන්නවා වෙනුවට ඇත්තටම ප්‍රතිලාභ හිමිවිය යුතු අය වෙත ප්‍රතිලාභ හිමි වේවි. මේ කටයුත්ත සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තර අවධානය යොමු කර තිබෙනවා. පහළ තීරුවල සිටින ජනතාවට මේ හරහා රැකවරණයක් දීමට හැකියාව ලැබෙනවා. අප රජය අනිවාර්යෙන්ම ඒ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා.

ප්‍රශ්නය – හොඳයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමු අදියර යටතේ අප රටට ලබා දෙන්නේ ඩොලර් මිලියන 330 ක ප්‍රමාණයක්. අප ඊළඟ අදියරට යන්න නම් ඔවුන්ගේ කොන්දේසි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වැනි කාරණා අප ඉටු කළ යුතුයි. මෙතැනදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේදී රජයට ගැටලු රැසකට මැදි වෙන්න සිදුවන බව ඉතා පැහැදිලියි.

පිළිතුර – ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී එය කරන්නේ කෙසේද යන්න වන වැඩසටහන අප අප්‍රේල් මාසය අගදී දෙන්න ඕන. මොකද අපට හැමදාම ද්වීපාර්ශ්වීය ණය නොගෙවා ඉන්න බැහැනේ. ඒ නිසා එම කටයුත්ත ඒ කාලසීමාව තුළ කර ගන්න හැකි වේවි.

ඒ වගේම මේ අවුරුද්දේ අපට නීති රීති කිහිපයක් ගෙනෙන්න තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියන්ට අනුකූල දූෂණ විරෝධී පනත ගෙනෙන්න ඕන. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ගෙනෙන්න ඕන. විනිවිදභාවයකින් යුතුව රජයේ ගනුදෙනු කිරීම සඳහා එවැනි පනතක් අත්‍යවශ්‍යයි. ඊළඟට මහ බැංකුව ස්වාධීන කිරීමට අදාළ පනත මේ වනවිට පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. ඊට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණය හමුවට ගොස් තිබෙනවා. අධිකරණ තීන්දුව කුමක්ද යන්න අප බලාගෙන ඉන්නවා. ඔබ විමසන කාරණයට උත්තරයක් දෙනවා නම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේදී ගැටලු රැසකට මුහුණ දෙන්න වේවි. නමුත් පාඩු ලබන රාජ්‍ය ආයතන රටට, ජනතාවට බරක්. එවැනි ආයතන තවදුරටත් පවත්වාගෙන යෑම අර්බුදය තව තවත් උත්සන්න වීමත්, රජය වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට නොයන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. රජයත් එවැනි කටයුතුවලට ගිය පසු ලාභ ඉපැයීම කෙසේ වෙතත් ඒ තුළින් සිදුවන්නේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමයි. එය ඉතා පැහැදිලිනේ. ඉතිහාසය කුමක් වුවත් වර්තමානයට ගැළපෙන ලෙස රට සකස් කිරීම රජයක වගකීමයි. තවදුරටත් රාජ්‍ය ආයතනවලට ජනතාවගේ බදු මුදල් වැය කරන්න බැහැ.

ප්‍රශ්නය – නමුත් රාජ්‍ය ඇමැතිතුමා ගැටලුව තිබෙන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ගෙන ඇති තීරණයයි. එය ඔබගේ අදහස සමග ගැළපෙන්නේ නැහැ නේද?

පිළිතුර – මෙහෙමයි. අපට දැන් ණය ගෙවන්න හැකියාවක් නැහැ. අපට වාර්ෂිකව බිලියන හතරකට වඩා වැඩි ප්‍රමාණයක් ණය වශයෙන් ගෙවන්න තිබෙනවා. මේ නිසා අපට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයක් කර ඒ තැනට යන්න වෙනවා. වෙන විකල්ප අපට නැහැ. පාඩු ලබන රාජ්‍ය ආයතනත්, ඉපැයිය යුතු ලාභවලට වඩා පහළ ලාභ ලබන ආයතනත් ක්‍රියාත්මක වෙද්දි එහි බර එන්නේ රටේ ජනතාවට. මොකද අවසානයේ වැඩි බර දරන්නනේ මහා භාණ්ඩාගාරයයි. මේ නිසා පුද්ගලික අංශය විසින් මෙහෙයවන ආර්ථිකයක් රටේ ගොඩනැඟිය යුතුයි. ඇත්තටම එවිට එහි වාසිය යන්නේ රටේ ජනතාවටයි. අප මීට පස්සේ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නැහැ.

ප්‍රශ්නය – රටට ගෙවන්න තියෙන ණය කන්දරාව දිහා බැලුවහම සියලු රාජ්‍ය ආයතන විකුණා දමන්න සිදුවේවි කියලා ජනතාවට ප්‍රශ්නයක් මතු වෙනවා.

පිළිතුර – අපේ ප්‍රතිපත්තිය තමයි රජය රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ නැහැ කියන කාරණය.

ප්‍රශ්නය – රාජ්‍ය වියදම් දිහා බැලූ කල ඩොලර් බිලියන 2.9 ක් කියන්නේ එතරම් ලොකු මුදලක් නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ මේ මුදල කොතෙක් දුරට ප්‍රමාණවත්ද ප්‍රශ්න විසඳීම සඳහා.

පිළිතුර – මේ කටයුත්ත ඩොලර් බිලියන 3 කට ලඝු කරන්න බැහැ. මේ හරහා අපට ප්‍රාග්ධන වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනවා. ඊළඟට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අප දිහා ධනාත්මකව බලනවා. ඒ තුළින් ආයෝජකයන්ට හිතකර පරිසරයක් ගොඩනැඟෙනවා. එසේම පොලී අනුපාතයන් ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගනීවි. එසේම උද්ධමනය අඩු වේවි. මේ සියල්ලත් සමග ආනයන සීමා ලිහිල් කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ සහනය තුළ රට සාමාන්‍ය ආකාරයට ගෙන යා හැකි පරිවර්තනයක් වේවි. ඒ තත්ත්වයක් මත මෙම අයි. එම්. එෆ්. සහනය ඩොලර් මිලියන 3 කට ලඝු කරන්න නොහැකියි.

ප්‍රශ්නය – රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න ආණ්ඩුව මේ කරගෙන යන්නේ ණය ගැනීමයි. ණය ලබා ගැනීම හැර රට දියුණු කිරීමට ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද?

පිළිතුර – අප ආයෝජන මත තමයි එය කරන්න සිදු වන්නේ. අප ආයෝජන දිරිමත් කළ යුතුයි. ඒ සඳහා අප සතුව වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම අපනයන, සංචාරක ක්ෂේත්‍රය දියුණු කර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වැඩියෙන් ලබා ගැනීමට කටයුතු කරනවා. ඒ සඳහා වැඩ කටයුතු සිදු කෙරෙනවා. එය කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. එහෙම වුණොත් එහි බර යන්නේ රටේ ජනතාවට.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපාදන ලැබූ පසු වෙනත් මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ආයතන තුළින් අපට ඩොලර් බිලියන 7 ක් දක්වා යෑමේ අවස්ථාව තිබෙනවා. මේ තුළින් රට සාමාන්‍යකරණයට ගෙන යෑමට හැකි වෙනවා. එක දවසින් දෙකින් කරන්න බැහැ. නමුත් එය අපට කඩිනමින් කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබ ජාත්‍යන්තර වෙළෙඳාම ගැන කතා කළා. මෙතැනදී තිබෙන ප්‍රශ්නය තමයි අප රටේ ඇති තීරු බදු ක්‍රමයේ පවතින සංකීර්ණ තත්ත්වය. එය සංකීර්ණ වන්න වන්න ඒ තුළින් පාර කැපෙන්නේ දූෂණයන්ට බව පිළිගත යුතු කාරණයක්. අපේ මේ තීරු බදු ක්‍රමය ලිහිල් කරන්න කටයුතු නොකරන්නේ ඇයි?

පිළිතුර – අනිවාර්යයෙන්ම සරල තීරු බදු ක්‍රමයක් ඉදිරියේදී සැකසෙනවා. ඒ වගේම නිවැරදි තීරු බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් සහ නිවැරදිව බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් සැකසෙනවා. අප කොපමණ බදු ප්‍රතිශතයක් වැඩි කළත් එහි ප්‍රතිඵලයක් නැතිකම දැනට තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා එවැනි අඩුපාඩු අනිවාර්යයෙන්ම ඉදිරියේදී නිවැරදි වේවි.

ප්‍රශ්නය – ඔබ මීට කලින් උද්ධමනය අඩු වෙතැයි සඳහන් කළා. හැබැයි ආණ්ඩුව රුපියල් මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් සිදු කර ඇති බව වාර්තා වනවා. මුදල් අච්චු ගැසීම සහ උද්ධමනය අතර ඇත්තේ සෘජු සම්බන්ධයක්. එවැනි තත්ත්වයක් තුළ උද්ධමනය අඩු කරන්නේ කොහොමද?

පිළිතුර – ඇත්තටම අපට මනි ප්‍රින්ටින් (මුදල් අච්චු ගැසීම) කරන්න වුණේ අපේ වියදම් හා ආදායම් ගළපා ගන්න නොහැකි වීමයි. රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට පඩි ගෙවන්න මුදල් නැහැ. මේ වෙද්දි උද්ධමනය අඩු වෙද්දි පොලී අනුපාතයන් ඉහළ මට්ටමක තබාගෙන තිබෙන්නේ ඒ නිසයි. ඒ නිසා මුදල් ප්‍රවාහයට මුදල් එකතු වීමේ ප්‍රවණතාවක් නැහැ. නමුත් ඉදිරියේදී ආදායම් වියදම් කළමනාකරණය කරන්න අවශ්‍ය මූල්‍ය ප්‍රවාහය හදාගත් පසු මේ අවශ්‍යතාවය එන්නේ නැහැ. ඒත් එක්කම මහ බැංකු පනත ක්‍රියාත්මක කළ පසු මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න බැහැ. මේක කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවට කතා දෙකක් නැහැ.

ප්‍රශ්නය – ඇමැතිතුමා අප රටට අයි. එම්. එෆ්. යන්න වුණා කියන එකේ අනිත් තේරුම රට තුළ බරපතළ ආර්ථික අපරාධයක් සිදු වී ඇති කාරණයයි. නිදහසින් පසු ආර්ථික අපරාධය කළේ කවුද?

පිළිතුර – අප අවධානය යොමු කරන්න ඕන අද සහ අනාගතය ගැනයි. මෙය කළමනාකරණය කළ පසු ආපසු බැලුවට කමක් නැහැ. ආර්ථිකය හොඳ වූ පසු ඔබ කියන කාරණය ගැන විමර්ශන කළ හැකියි. කවුරු හරි එහෙම හිතාමතා කර තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ හැකියි.

ප්‍රශ්නය – ඔබත් පසුගිය රජයේ තනතුරු දැරූ දේශපාලනඥයෙක්. ඒ නිසා ප්‍රශ්නය හිතා මතා මඟහැරියා වගේ.

පිළිතුර – මඟ හැරියා නෙමෙයි. අප ඉතිහාසයේ වුණා කියලා හොය හොය හිටිය නම් අදටත් තෙල් පෝලිම් ටික එහෙමමයි. ලයිට් කැපෙන එක, ගෑස් නැති එක පොහොර නැති එක එහෙමමයි. ඒවා බල බල හිටිය නම් ඩොලරය අද හාරසිය ගණනකට නැගලා. අප මේ වෙලාවේ ප්‍රමුඛතාවය දෙන්නේ ඉදිරි කටයුතු වෙනුවෙන්. දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීම තුළ අප රට අලුත් මඟකට ගෙන යාවි.

ප්‍රශ්නය – අයි. එම්. එෆ්. එක මීට කලින් ණය ස්ථාවරත්වය ගැන අපට අනතුරු ඇඟවූවා. මෙවැනි වැදගත් අනතුරු ඇඟවීම් නොසලකා හැරියේ කවුද?

පිළිතුර – අපි ඒ ගැන බලමු. අපට තව පොඩි කාලයක් දෙන්න මේක ස්ථාවර කර ගන්න. ස්ථාවර ආර්ථිකයක් තියෙනවා කියලා අපිට තවම උදම් අනන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවාට කලින් රට ස්ථාවර කරන්න අපිට පුළුවන් වේවි.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment