ණය ගෙවන්න සහනයක් දෙන්න – ජනපති චීන විදේශ ඇමැතිගෙන් ඉල්ලයි – දැක්වූ සහයෝගයට පැසසුම්

415

කොවිඞ් වසංගතය හමුවේ රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප‍්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය ශ‍්‍රී ලංකාවට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී මහතාට සඳහන් කළේය.

ණය ගෙවන්න සහනයක් දෙන්න - ජනපති චීන විදේශ ඇමැතිගෙන් ඉල්ලයි - දැක්වූ සහයෝගයට පැසසුම්

ජනාධිපතිවරයා මේ බැව් සඳහන් කළේ චීනය සහ ශ‍්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපතිවරයා සහ චීන විදේශ ඇමැතිවරයා අතර ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

තවද නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ‍්‍රී ලංකාව විවෘත කර ඇති බවත් ඒ අනුව ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා චීන විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක‍්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යෑමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කළේය. කොවිඞ් වසංගතයට මුහුණදීමේදී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය. කොවිඞ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා ශ‍්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ චීන විදේශ ඇමැතිවරයා නැවත වතාවක් ශ‍්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත‍්‍රයකු ලෙස චීනයේ සහාය සෑම විටම ලබාදෙන බව පැවසීය. චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ චීන විදේශ ඇමැතිවරයා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

චීන තානාපති ෂී ෂෙන්හෝං, නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය චෙන් කොමින්, සහකාර විදේශ අමාත්‍ය වූ චෙංහොන්, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චොන්ග් මෝ ඕයු, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment