ණය ගෙවීම් කළමනාකරණය නොකළොත් රාජ්‍ය බැංකු අර්බුදයක ණය අඩු කරගන්න විදුලි බිලත් වැඩි කරන්න වෙනවා – රනිල් කියයි

303

රටේ ණය ගෙවීමේ හැකියාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මේ වසර අවසාන වන විට රාජ්‍ය බැංකු ඉතා බරපතළ අර්බුදයකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) පැවසීය.

රාජ්‍ය ආයතනවලින් බැංකුවලට ගෙවිය යුතු ණය මුදල් නිසි ලෙස නොගෙවීම නිසා මෙම අර්බුදය ඇති වීමට ඉඩකඩ පවතින බව ද වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක දී පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩලය ගැන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශ අනුව 2020-21 වර්ෂවල රුපියල් බිලියන 79ක පාඩුවක් ලබන බව ප්‍රකාශ වුණා. සමහර අය කියනවා පාඩුව මීට වඩා විශාල ලෙස වැඩියි කියලා. මේ අවුරුද්දට රුපියල් බිලියන 100ක පාඩුවක් ලැබෙන තත්ත්වයක් ද ප්‍රකාශ කරනවා. ඒ වගේම එක විදුලි ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 17ක් බවත් එය නිපදවීම සඳහා රුපියල් 53ක වියදමක් දරන බවත් ප්‍රකාශ කළා.

තෙල් සංස්ථාව දිහා බලනව නම් 2021 අලාභය රුපියල් බිලියන 83යි. දැන් තියෙන තත්ත්වය අනුව ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ එක දවසකට රුපියල් බිලියන 1 ක පාඩුවක් ලබනවා කියලා. විදුලි බිල වැඩි කරයින් පස්සෙත් රුපියල් මිලියන 327ක පාඩුවක් ලබනවා කියනවා. ඒ කියන්නේ වසර අවසන් වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් ඇති වෙනවා කියන එකයි.

මේ ආයතනවලට ණය දී තිබෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකු දෙකෙන්. මේ බැංකු දෙකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණයත් දරාගන්න සිදුවෙනවා. සමහර විදේශ ණයත් සහතික කරලා තියෙනවා. මීට අමතරව තවත් රාජ්‍ය ආයතන ණය තියෙනවා. මේ ණය සියල්ල සමග තවත් ණය දෙන්න ගතහොත් බැංකුවල පැවැත්ම ගැන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මීට අමතරව වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර නැවැත්වීම නිසා ඒ බැංකු දෙකට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඊට අමතරව මේ බැංකු දෙකත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් රුපියල් ටි්‍රලියනයක ණය ලංකා ආණ්ඩුවට දීල තියනවා. එහෙමනම් ණය අඩු කර ගන්න තෙල් සංස්ථාවේ සහ විදුලි බිල වැඩි කරන්න වෙනවා. මේ ණය දරාගන්න වෙන්නේ මහජනතාවටයි. ඒ නිසා ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇතිකර ගත යුතුයි. මේ කලක් තිස්සේ ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. ඒක ලිහනවද කපනවද යන්න තීරණයක් ගත යුතු නමුත් ඒ කෙසේ කළත් රට අමාරු තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment