ණය නොගෙවා තෙල් ගෑස් බෙහෙත් ආදිය නොගෙනාව නම් රට අද ලිබියාවක් වෙලා!

265

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි

රට අර්බුදයෙන් ගොඩ ගන්න අනිවාර්යයෙන් නව ජනවරමක් අවශ්‍යයි
ජනතාව මත නැවත නැවත බර පටවමින් අර්බුදයෙන් ගොඩ එන්නයි පාලකයන් සැලසුම් කරන්නේ

– අනුර කුමාර දිසානායක (ජාජබ)

ගෑස් – තෙල් – විදුලිය ප්‍රශ්න නැතිවීමෙන් විපක්‍ෂය අනාථ වෙලා
– හරීන් ප්‍රනාන්දු (සජබ)

වක්‍ර බදු වැඩි කරනවා වෙනුවට සෘජු බදු වැඩි නොකළේ මිතුරන් සතුටු කරන්නයි
– රෝහිණී කවිරත්න (සජබ)

රසායනික පොහොර තහනම් කළ හිටපු ජනපති ආහාර අර්බුදයට වගකිව යුතුයි
– ඉරාන් වික්‍රමරත්න (සජබ)

ණය නොගෙවා ඉන්ධන, ඖෂධ, ගෑස්, පොහොර ඇතුළු අත්‍යවශ්‍යය ආහාර ආදිය ගෙන ඒමට කටයුතු කළ බැවින් මේ වන විට යන්තම් මෙහෙමවත් කන්න පුළුවන් වෙලා තිබෙනවා යැයි විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද අබේවර්ධන යාපා මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (02 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, වාර්ෂික වාර්තා, ඉදිරිපත් කිරීමෙන් පසුව, අතුරු අයවැය පිළිබඳ විවාදය තෙවැනි දිනයට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, පත්කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (සජබ) –

මේ රට බංකොළොත් වේවි කියලා අපේ මන්ත්‍රීවරු කිව්වා. නමුත් ගණන් ගත්තේ නෑ. විවිධ බයිලා කියලා නිකම් හිටියා. හිටපු මුදල් ඇමැතිවරු බොරු කිව්වා. ඒ බොරු කියපු මුදල් ඇමැතිලාව වන්දනා කරන මන්ත්‍රීවරුත් මේ සභාවේ ඉන්නවා. මේ රටේ උද්ධමනයයි පාලනය කරන්න ඕනේ. නැතුව අරගලය දමනය කරන්න එන්න එපා. නන්දලාල් වැනි රාජ්‍ය නිලධාරීන්ට බණින්න එන්න එපා. ඔහු මේකට වගකියන්න ඕනේ නෑ. උද්ධමනය දෙස බලපුහම අපි ලෝකේ උඩින්ම ඉන්නවා. අපි අප්‍රේල් මාසේ අඩුම උද්ධමනයක හිටියේ. කැවුම් කන්න පුළුවන් වුණා. අපිට ආහාර පිළිබඳ ගැටළුවක් තිබෙනවා. ලෝක ආහාර සංවිධානයත් ඒ ගැන කිව්වා. අද අපේ දරුවන්ට ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරගන්න බැරිවෙලා තිබෙනවා. බිත්තරයක් කන්න බෑ. මේ ආහාර අර්බුදයට වගකියන්න ඕන රසායනික පොහොර තහනම් කරපු හිටපු ජනාධිපතියි. මුදල් අච්චු ගහන ගමන් කිව්වා උද්ධමනය වැඩිවෙන්නෙ නෑ කියලා. ඒකට වගකියන්න ඕනේ නිවාඩ් කබ්රාල් ඇතුලු ඒ හිටපු නිලධාරීන්. හරි තීරණ අපි ගන්න ඕනේ වැරදි තීරණ අරන් තමයි මේ රට බංකොළොත් වුණේ. අද බලන්න ව්‍යාපාරවලට වෙලා තිබෙන දේ. මම කියනවා මුදල් ඇමැතිතුමාට බිය නැතුව තීරණ ගන්න.

විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා:

අපි මේ වන විට බරපතළම ආර්ථික අර්බුදයකයි ඉන්නේ. හිටපු ජනාධිපතිගේ නිවස වටලන කොට විවිධ පෝලිම් තිබුණා. ගෑස් නෑ. තෙල් නෑ. හිටපු අගමැතිතුමා අයිඑම්එෆ් යන්න තීන්දු කළා. එදා සමස්ත කැබිනට් මණ්ඩලයම අස්වුණා. මුදල් ඇමැතිකම මට භාර ගන්න කිව්වා. නමුත් මම බෑ කිව්වා. මොකද මම ආර්ථික විශේෂඥයෙක් නොවුනු නිසා. නමුත් කව්රුවත් භාර ගත්තේ නැති නිසා මම භාරගෙන කළ කටයුතු යම් තරමතට සාර්ථක වෙලා තිබෙනවා. අපි ණය ගෙවන එක ඉතා වැදගත්. නමුත් අපේ ප්‍රශ්න තිබියදී ණය ගෙවනවා නැත්නම් දරුවන්ට කන්න දෙනවාද කියන තීරණය ගන්න වුණා. ඒ නිසා අපි මහ බැංකුව හා මුදල් ඇමාත්‍යංශයේ නිලධාරීන් එක්ක කතා කළා. ජනාධිපති එක්ක කතා කළා. මූල්‍ය ක්ෂේත්‍රයේ සියලු විශේෂඥයෝ එක්ක කතා කළා. හිටපු මුදල් ඇමැති එක්ක කතා කළා. හර්ෂ සිල්වා මන්ත්‍රී එක්ක කතා කළා. අපට මුදල් තිබුනේ නෑ. ණය ගෙවන්න. අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා. අද වනවිට එය සාර්ථක වෙලා තිබෙනවා. මම ප්‍රශ්නවලින් පැනලා යන්නේ නෑ. ඒවාට මුහුණ දෙන්න සූදානම්. ණය බිලියන 203ක් තිබුනා ගෙවන්න. නමුත් මුදල් තිබුනේ නෑ. මිලියන 17ක් තියා ගෙන බිලියන 203ක් ගෙවන්නේ කොහොමද? බංකොළොත් වීම වෙලා ඉවරයි. කව්රුවත් ඇවිත් ඒක කළේ නෑ. ඒ නිසායි අපට තීන්දුවක් ගන්න වුණේ. වත්මන් ජනාධිපතිතුමා නොබියව තීන්දු අරන් තිබෙනවා. ඒ අනුව අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. මේක හොඳ අයවැයක්. මම සියලු දෙනාගෙම සහාය ඉල්ලනවා. මේ විදේශ ණය නොගෙවා අපි මොකද කරලා තිබෙන්නේ. තෙල්, බෙහෙත්, ගෑස්, පොහොර ඇතුළු අත්‍යවශය ආහාර ආදිය ගේන්න කටයුතු කළා. එහෙම නොවුනානම් මේ රට ලිබියාවක් වෙලා. ඒ නිසායි අපි ජනාධිපතිතුමාට ප්‍රශංසා කරන්න ඕනේ. එදා මුළු මුදල් ටිකම දැම්මා රුපියල පාලනය කරන්න. නමුත් පස්සේ එක පාරටම අතඇරියා. ඔන්න දැන් යන්තම් 350ට තියා ගෙන ඉන්නවා. ණය නොගෙවපු නිසා තමයි යන්තම් මෙහෙමවත් කන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අද ඩොලරය පාලනය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.

නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග

ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ගෙනා අතුරු පිළියමක් තමයි මේ ඉදිරිපත් කළේ. මෙමගින් ප්‍රාතිහාර්ය පාන්න බැහැ. විපක්ෂය රාජපක්ෂවරුන්ට හා පොහොට්ටුවට චෝදනා කළා. මේ අර්බුදය ඇති වුණේ වසර ගණනාවක සිටයි. 2016, 2017 හිටියේ අපි නොවෙයි ඔවුනුයි. විපක්ෂනායකතුමාට අවශය රටේ පෝලිම් පැවතීමයි. නිවාස අමාත්‍යාංශය යටතේ පසුගිය ආණ්ඩු කාලයේ අක්‍රමිකතා වී තියෙනවා. ජනාධිපති කරුණු දක්වා තියෙනවා. වීදුරු ගෙවල්වල සිට ගල්

ගහන්න ඕන නැහැ. යහපාලන කාලයේ පළාත් පාලන පනත වෙනස් කර මන්ත්‍රීවරුන් වැඩි කළා. අධික වියදමක් දරනවා. ඊළඟ මැතිවරණයට පෙර නැවත සංශෝධනය කර මන්ත්‍රී සංඛ්‍යාව අඩු කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක (ජාජබ)

අද කර්මාන්ත පද්ධතිය සේවා කර්මාන්ත සාමාන්‍ය ජීවිත කඩා වැටිලා. අපි අර්බුදයෙන් ගොඩඑන්න මාවතක් සකසා ගත යුතුයි. ආණ්ඩුව පෞද්ගලික අංශය, විදෙස් ගත ශ්‍රමිකයන් සියලු දෙනා වසර දෙකක් එකතු වුණොත් ප්‍රශ්නය විසදාගත හැකියි. එයට පිළිගත හැකි පාලනයක් අවශ්‍යයි.

මේ ජනපතිවරයා ජනතාව විසින් තෝරාගෙන නැහැ. ව්‍යවස්ථාවේ තියෙනවා ජනතාව විසින් තෝරා පත්කර ගත් ජනපතිවරයකුට ජාතික ආරක්ෂාව ලබාදිය යුතුයි කියලා. ජනපතිවරයාට ජනවරමක් නැහැ.

දැන් පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. රනිල් වික්‍රමසිංහට එරෙහි වූ ජනවරමට ජනපති රනිල් වීම පිළිගන්න බැහැ. ජනතාවගේ ජනවරමට ප්‍රතිපක්ෂ අයවැයක් මෙවර ඉදිරිපත් වී තිබෙන්නේ. රට අර්බුදයෙන් ගොඩගන්න අනිවාර්යයෙන් නව ජනවරමක් අවශ්‍යයි.

මේ ආණ්ඩුව බලය පවත්වාගෙන යෑම අරමුණු කරගත් කණ්ඩායමක්. නිසි ප්‍රතිපත්තියක් දැක්මක් නැහැ.

අයවැයට අනුව වියදම ආදායම වගේ දෙගුණයක්.

ගැඹුරු දැක්මක් නැති අවබෝධයක් නැති පාලකයන්ට රට පාලනය කරන්න බැහැ. ජනතාව මත නැවත නැවත බර පටවමින් අර්බුදයෙන් ගොඩ එන්නයි පාලකයන් සැලසුම් කරන්නේ.

මේ අර්බුදය ස්වභාවික තත්ත්වයක් නෙවෙයි. පාලකයන් විසින් ඇති කළ එකක්. එහි වැඩි පංගුවක් රනිල් වික්‍රමසිංහටත් අයිතියි. ශ්‍රී ලංකන් එක පාඩු ලබන තත්ත්වයට පත් කළේ කවුද? රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂ ඥාතීන් පත් කරගෙන ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කළා. දැන් කියනවා පාඩුයි කියලා. තෙල් සංස්ථාව මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරලා දැන් පාඩුයි කියනවා. වරායට ඇමැතිවරු සේවකයෝ පිරෙව්වා. දැන් කියනවා රාජ්‍ය සේවය බරයිලු. තමන්ගේ දිස්ත්‍රික්කවලින් පිරෙව්වා. ඡන්ද කාලේ ෆෝම් බෙදුවා. රාජ්‍ය සේවකයන් ගෙදර යවන්න කියන ජනපතිවරයා ජනපති කාර්යාලය පුරවනවා.

එදා රනිල් ආණ්ඩුව ඉලෙක්ටි්‍රක් වාහනවලට බද්දක් ගහලා කඩාකප්පල් කළා. ජනධිපතිගේ නිවසට හා වාහනවලට වූ හානිය හෙළි වුණා. ඉන් කෝටි 19 ක්ම ජනාධිපතිගේ වාහනයේ වටිනාකම. ජනතාවට ඉලෙක්ටි්‍රක් වාහන ගැන කියනවා.

තෙල් අර්බුදයකදී කළු කඩ ඇති වීම ස්වාභාවිකයි. එය ත්‍රීවිල් රියැදුරන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. යම් ප්‍රමාණයක් කළු කඩ කළා. ඔවුන්ට දෙන්නේ ලීටර් 5 යි. ඔවුන් පවුල් නඩත්තු කළ යුතුයි. අඩුම තරමින් කෝටා එක වැඩි කළ යුතුයි.

රාජ්‍ය සේවය ණය මුදල් ලබා ගන්නවා. වසර 30 කට පමණ ණය ගන්නවා. වැටුපට සරිලන ණය ගත්තට පොලිය වැඩි කිරීම නිසා අසරණතාවයට පත්වෙලා. වැඩි වාරිකයක් ගෙවන්න වෙලා. අයවැයෙන් ඔවුන් තවත් අසරණ වෙලා.

පත් කළ මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ)

රටේ සියලු ප්‍රශ්නවලට එකවර උත්තර සොයන්න අපි කැමැතියි. ඒත් එහෙම කරන්න බැහැ. උපයාගන්න ආදායම මුලින්ම වැඩි කරගත යුතුයි. පසුව එම ආදායම සරිලන ලෙස වැඩි කළ යුතුයි.

ඕනෑම රටක ආර්ථිකය පවතින්නේ ගනිත සාධක මත. හෙට වෙන්නේ මොනවාද කියා අපට කියන්න බැහැ. මෙය අපට වෙනස් කරන්න බැහැ. අතුරු අයවැය මගින් කරන්න පුළුවන් දේවල් කළ හැකි ආකාරය පමණක් ඉදිරිපත් කර තියෙනවා.

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න (සජබ)

රාජපක්ෂවරුන්ට පින්සිද්ධ වෙන්න අද ආහාර හිඟයක් ඇවිල්ලා. දරුවාට පෝෂණය නැහැ. මෙන්න රට පත් කරපු තත්ත්වය.

මේ අයවැයේ රටේ නිසි ප්‍රශ්න ගැන කිසිවක් කතාකර නෑ. වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීම නිසා භාණ්ඩ සියල්ලේම මිල ඉහළ යනවා. එය නවත්වන්න බැහැ. ජල, විදුලි බිල් පවා යළිත් වැඩි වෙනවා. වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු පැනවීමට තිබුණා. මිත්‍රයන් සතුටු කරන්න සෘජු බදු වැඩි කළේ නැහැ.

රාජපක්ෂ ප්‍රතිපත්ති තවමත් ක්‍රියාත්මක වීම නිසා අපි තාම එක තැන කැරකෙනවා. ණය පොලිය වැඩි කරලා. මේ නිසා රාජ්‍ය සේවකයා වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවා අසරණ වෙලා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි සුමිත් උඩුකුඹුර (ශ්‍රීලපොපෙ)

අද මේ අර්බුය ඇතිවීමට හේතු ගණනාවක් තියෙනවා. 1956 දී පුද්ගලික ආයතන රජයට පවරාගත්තා. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, අනෙක් ආණ්ඩුවල ප්‍රතිපත්ති හා නිලධාරීන්ගේ වැරදි තීරණත් මේ අර්බුදයට හේතු වෙනවා. ජවිපෙ 1971 දී 89 දී කළ විනාශයත් අර්බුදයට හේතු වුණා.

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ යුද්ධය අවසන් කර නිවැරදි මාවතකට ගෙන ගියා. පසුව පැමිණි ආණ්ඩුව ඒ මාවත වෙනස් කර වැරදි මාවතක ගියා. අපනයන ආර්ථිකයකට අපේ පූර්ණ දායකත්වය ලබා දෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ජයරත්න හේරත් (ශ්‍රීලපොපෙ)

අද ලංකාව බරපතළ ඛේදවාචකයට මුහුණ දුන් අවස්ථාවක්. 1977 න් පසු බලයට පත්වූ සියලු රජයන් ඊට වගකිව යුතුයි. දූෂණය හා නාස්තිය වැඩි කරලා සැලැස්මක් නැතිව පාලනය කිරීම නිසයි මේ තත්ත්වය ඇති වුණේ.

මැතිවරණවලදී පක්ෂ විවිධ පොරොන්දු දුන්නා. ඒවා ඉටුකරන්න යෑමේදී මේ ගැටලු තවත් වැඩි කළා.

මේ වෙලාවේ විසඳුම් සෙවීමට වගකීමෙන් කටයුතු කළ යුතුයි. ජනාධිපතිට සාධාරණ කාලයක් ලබාදෙමු. ජනපති පත් කළ විගසම විසඳුම් අපේක්ෂා කළ නොහැකියි. මේ අර්බුදය වෙස්වලා ගත් ආශීර්වාදයක් කරගෙන පක්ෂ විපක්ෂ භේදයක් නැතිව රට ගොඩනැඟීමට එක්වෙමු.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම (සජබ)

රට වැටුණු වෙලාවේ අපි සමගියෙන් සිටිමින් රට ගොඩනැඟීමට එක්වන බව ලොවට පෙන්විය යුතුයි. වසර දෙකහමාරක් තුළ රට වැටුණා. එය ගොඩනැගීමට වසර පහක්වත් යාවි කියා මතය වී තියෙනවා. එකත් ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගන්න විට තිබූ තත්ත්වයට පත් කිරීමයි.

ජනපතිවරයා හොරු ඇල්ලීමට සැලසුම් සකස් කර නැනත් රට ගොඩනැංවීමට සැලසුම් සකස් කරමින් සිටිනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ (ශ්‍රීලපොපෙ)

දැනට මාස කිහිපයක් තුළ මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සාර්ථක වීම නිසා ඉදිරියේදී රටට යම් සහන කාලයක් ලැබේවි.

දේශපාලන අස්ථාවරත්වයක් ඇති කර මූල්‍ය අරමුදල ලබාදෙන සහන ප්‍රමාද කිරීමට උත්සාහයක් පැවතුනා. 2023 වර්ෂයට අයවැය එන තෙක් අතුරු අයවැය තුළ බදු වැඩි කිරීම්, සංවර්ධනයට වෙන්කළ මුදල් දුප්පත් ජනතාවගේ ගැටලු විසඳන්න වෙන්කර තිබෙනවා.

රට දේශපාලනිකව ස්ථාවරව ඉදිරියට යා යුතුයි. මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමේදී තවත් කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. ඒවා සම්පූර්ණ කළොත් පමණයි ණය ලැබෙන්නේ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි රාජිත සේනාරත්න (සජබ)

මේ අර්බුදයේ වගකීම 225 ම නොවෙයි, වගකිවයුත්තොත් ඉන්නවා. අර්බුදය ඇති වුණේ අවුරුදු 74 ක කාලයක සිට නොවෙයි. ඉකුත් අවුරුදු දෙකාහමාර තුළ බව ජනපතිගේ කතාවෙන් පැහැදිලියි.

පුද්ගලික අංශය තමයි රටක එන්ජිම. පුද්ගලිකරණයට මහා බිල්ලෝ මවලා.

දේශපාලන පක්ෂ විවිධ පොරොන්දු දීලා ඒවා ඉටුකරන්න ගියාම ආර්ථිකයට බලපානවා. ණය ලබා

ගන්නවා. රජයේ ආයතන පිරෙව්වා. අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි ඡන්ද පොරොන්දු.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මධුර විතානගේ (ශ්‍රීලපොපෙ)

අතුරු අයවැයෙන් සම්පූර්ණ විසඳුම් නොලැබුණත් ඉදිරි වර්ෂවල ඉලක්ක සපුරා ගන්න මේ අයවැය හේතු වෙනවා.

ඒ කාලේ ප්‍රතිපත්ති හදලා නැතිව කටයුතු කළ ආණ්ඩුවල මැති ඇමැතිවරුන් අද පැවති ආණ්ඩු වැරදි කළ බව කියනවා. ප්‍රතිපත්ති වෙනස් වන කරුමය නැවැත්විය යුතුයි. දැඩි පාරිභෝගිකවාදයකට රට නතු වී අවසන්. මේ රටේ හදන්න පුළුවන් භාණ්ඩ රැසක්

ගෙන්වනවා. ඩොලර් මිලියන 611 ක භාණ්ඩ පසුගිය සති දෙකේදී ආනයනය කරලා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

වැට් බද්ද එදා අඩු කළාම විපක්ෂය බදු ආදායම අඩු කර ගත්තා කියලා දොස් කිව්වා. අද බද්ද වැඩි කළාම ජනතාව මත බදු බර පටවලා කියලා දොස් කියනවා. තවම අපි අතර පවතින්නේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රමයයි. නිදහසින් පසුව දැඩි පීඩනයකට ලක්වූ අවස්ථාවක මේ අයවැය ඉදිරිපත් වුණේ. එහි මහා ලොකු සහන බලාපොරොත්තු විය නොහැකියි.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි ගාමිණී වලේබොඩ (ශ්‍රීලපොපෙ)

සමස්ත ආදායමෙන් සියයට 95 ක්ම රේගුව සුරාබදු හා ආදායම් බදු දෙපාර්තමේන්තුව ලබා දෙනවා. බදු අයකිරීම් නිවැරදි කර ආදායම අයකර ගැනීම නිවැරදි කිරීමට අයවැයෙන් කිසිවක් ඉදිරිපත් කර නැහැ.

දැනට පනවා ඇති බදුවලින් නිසි ලෙස ආදායම් ඉලක්ක සපුරා ගැනීමටවත් නොහැකි වී තිබෙනවා. නිවැරදි ලෙස ආදායම් අයකිරීමේ ක්‍රමවේද සකස් කරන්න. එසේ නොහැකි වුවහොත් ජනතාවට අවශ්‍ය සහන එකක්වත් දෙන්න බැරි වේවි. ආණ්ඩුවට හිඟ බදු අයකර ගන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ. අයවිය යුතු බදු අයකර ගත්තොත් අලුතෙන් බදු පැනවීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ ගැන අයවැය නොසලකා හැරලා.

විදේශ විනිමය පනත සංශෝධනය කරලා විනිමය වංචා නැවැත්වීමට කටයුතු කරන්න.

පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රි කිත් නෙල්සන් (සජබ)

හාල් හා බිත්තර පිටරටින් ගෙන්වන්න ගැසට් එකක් ගහලා. යල කන්නය වී කැපෙන වෙලාව. මේ වී ටික රජය රුපියල් 150 කට මිලදී ගත යුතුයි.

වගා ණය කපාහරින බව කිව්වා. වගා ණයවල පොලිය වැඩි වෙලා. වැල් පොලී වෙලා. වගා ණය වගේම පොලියට සහනයක් ලබා දෙන්න.

පොළොන්නරුවේ වැඩිහිටි දීමනා පොරොත්තු ලේඛනයේ 5777 ක් ඉන්නවා. වකුගඩු දීමනාවටත් පොරොත්තු ලේඛනයේ ඉන්නවා. ඔවුන්ට වහාම සහන සලසන්න.

පත් කළ මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් (ශ්‍රීලපොපෙ)

රටේ ආර්ථික තත්ත්වයේ සැබෑව ජනතාවට කිව්වේ නෑ. සල්ලි ඕන තරම් තියෙනවා කිව්වා. ජනතාව ඇත්ත දැනගෙන හිටියේ නෑ. ගන්නා හෑම තීරණයක්ම ජනතාව සමග එක්ව ගත යුතුයි.

අපට වඩා අන්ත අමාරු වූ බංගලාදේශය මිලියන 50,000 ක සංචිතයක් තබා ගනිද්දී අපේ සංචිතය කියා ගන්නවත් බැහැ. අපි ගත්ත ආර්ථික උපායමාර්ග හරිද? නිලධාරීන් ගන්නා තීරණ හරිද. සංචිත වැටී ඇති ආකාරයෙන් ඔවුන්ගේ වැරදි තීන්දු පේනවා.

දැන් අපට හොඳ අවස්ථාවක් ලැබී තියෙනවා. අපේ රටේ සංචිතය චීනයේ ආකාරයට වැඩි කරගන්න පුළුවන් අවස්ථාවක්. එය උදාකර ගනීදැයි සැක පවතිනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි අනුරාධ ජයරත්න (ශ්‍රීලපොපෙ)

ඉලක්ක සහගත වැඩපිළිවෙළකට යන්න පුළුවන්නම් එය තමයි දැන් රට ඉල්ලන්නේ. සජිත් ප්‍රේමදාස මහතා අගමැතිකමට ආරාධනා කළාම මඟහැරියා. ජනාධිපති තෝරන විටත් ඉදිරිපත් නොවී මග හැරියා.

යැපුම් ආර්ථිකය නිෂ්පාදිත ආර්ථිකයකට ගෙන යා යුතුයි. ආනයනවලට අධික ලෙස ඩොලර් ගෙවනවා. ඩොලර් මිලියන 100ක් අල ලූණු ගෙන්වන්න වියදම් කරලා. රටේ ඉඩම් තිබෙනවා. ඒවා වගා කර මේ වියදම රඳවා නොගත්තොත් වැඩක් නැහැ.

ලංකාවේ විශ්වවිiාල හැදුවත් උසස් අධ්‍යාපනයට විශාල ලෙස ඩොලර් රටින් එළියට යනවා. අපි මේ තත්ත්වය හරියට අවබෝධ කරගෙන නිවැරදි තීරණ ගත යුතුයි.

පත්කළ මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි (අපේ ජනබල ප.)

අද අර්බුදය 1977න් පසුව රට පාලනය කරපු නායකයන් කිසිම සැලසුමක් නැතිව ක්‍රියාත්මක කළ වැඩ නිසා ඇති වූවක්. සිහින මාලිගාවල ඉඳලා රටට විසඳුම් නැහැ. විසඳුම් තියෙන්නේ අපි ළඟමයි. අපේ කැපවීම මතයි. විදුලිය නිෂ්පාදනයේදී ගල්අඟුරු හා තෙල්වලට අධික මිලක් යනවා. ඒ මත අපිට යන්න බැහැ. ජනන සැලැස්මක් තවම ඉදිරිපත් කර නැහැ. සුළං බලයෙන් හිරු එළියෙන් ඉතා අඩු මිලට විදුලිය නිපදවිය හැකියි. ඒ ගැන තවම නිසි අවධානයක් නැහැ.

මේ අයවැය ලේඛනයේ අමුතු දෙයක් නැහැ. තනි පුද්ගල කණ්ඩායමක් හදපු කිසිම පලක් නැති එකක්. දැන්වත් එකට එකතු වී නිවැරදි වැඩපිළිවෙළක් සකස් කරන්න කටයුතු කරන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

මේ අර්බුදයේදී ජනතාව ඉල්ලුවේ ගෑස්, තෙල් අත්‍යවශ්‍ය භාණ්ඩ විදුලිය දෙන්න කියලා.

ජාත්‍යන්තර අරමුදලෙන් මුදල් ලැබෙන විටත් විපක්‍ෂය විරුද්ධයි. විරුද්ධ වෙන කවුරුත් මුදල් හොයාගන්න විදිහක්වත් කියන්නේ නැහැ. මේ අසීරුතාවයෙන් ජනතාව බේරාගන්න අපි මේ ගමන යනවා.

ජනාධිපතියි අපියි මත දෙකක සිටියේ. වගකීම් භාරගන්න කියන විට සමහරු පැනලා ගියා. අභියෝග හමුවේ ජනපති ධුරය රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තා.

අපි ඇමැතිවරු වුණාට අපිට තනි තීරණ ගන්න බැහැ. කැබිනට් අනු කමිටු හා නිලධාරීන් තීරණ ගන්නේ. වැරදිකරුවන් හරියට හඳුනාගෙන දඬුවම් දිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) –

රනිල් වික්‍රමසිංහ හොරා කියපු අය ජනාධිපති කරපු අය අද හොඳ කියනවා. ඒ ගැන සතුටුයි.

නාගරික වතු නිවාසවල ජනතාවට වේලක් කන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ත්‍රීවීල් රථ රියැදුරන් දැඩි ලෙස අසරණ වෙලා. අයවැයේ දත්ත විජ්ජාවක් කරලා තියෙනවා. සත්‍ය දත්ත නොසලකා හැර ගණන් හිලව් අය වැයට දාලා.

2010 – 2015 හොරා කාපුවා නිසා තමයි ආර්ථිකය දෙදරන්න ගත්තේ. 2015න් පස්සේ ගත්ත ක්‍රියාමාර්ග නිසා ආර්ථිකය වැටීම අඩපණ වුණා. යළිත් 2019 දී ජනාධිපති ගත් උද්දච්ච තීරණ නිසා ආර්ථිකය කඩා වැටුණා.

ත්‍රීවීල් රථවලට සතියට අවම වශයෙන් තෙල් ලීටර් 25ක් වත් දෙන්න. කුලී වැඩ කරන වාහන හිමියන්ට සැලකිය යුතු තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න.

විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර –

භූ දේශපාලනය හරියට පාවිච්චි කළොත් අපට රට නිවැරදි දිශාවට ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතාට ඒ දැනුම තියෙනවා. හරියට පාලනය කළොත් ජනතාවගේ ප්‍රශ්න අඩුවෙනවා.

රජයේ සේවකයෙක් දින 365න් වැඩ කරන්නේ දින 195යි. එයත් නිසි පරිදි වෙන්නේ නැහැ. මේ ගැන නිවැරදි ලෙස සොයා බලන්න උපදෙස් දීලා තියෙනවා. බදු ෆයිල් අද තියෙන්නේ 8000යි. කොපමණ මගහැරිලාද. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි.

ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු –

ජනාධිපතිවරයෙක් ජනතාවට යම් බලාපොරොත්තුවක් දුන් අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

හරි තීන්දු ගද්දී සොබාදහමත් උදව් කරනවා. රට යළිත් ස්ථාවර කරන්න තනි පුද්ගලයෙන් අවදානමක් ගත්තා. මේ ආණ්ඩුව විකෘතියි කියලා කියන විපක්‍ෂය දන්නේ නැහැ ඩලස් ජනපති වී සජිත් අගමැති වුණාම විකෘති වෙනවා කියලා. ඇයි මේ තරම් කුහක ලෙස දකින්නේ. ජනාධිපති කිසිම වැඩකට ඇඟිලි ගහන්නේ නැහැ. විදුලිබල ඇමැතිට වැඩේ පැවරුවා. ඇඟිලි ගැහුවේ නැහැ. මගේ හිටපු නායකයා හැම දේටම ඇඟිලි ගහනවා. දැන් රටේ ගෑස් ප්‍රශ්නය, විදුලි ප්‍රශ්නය නැතිවෙලා. තෙල් ප්‍රශ්නය අඩුවෙලා විපක්‍ෂයම අනාථයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් (සජබ)

රට බංකොළොත් කිරීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස වගකිවයුතුයි. තේරීම් කාරක සභාවක් දාලා සොයන්න. අයි. එම්. එෆ්.එක බිල්ලෙක් ලෙස සමහරු දැක්කත් අපි එහෙම නැහැ. ඒක අපේ ස්ථාවරය වී තිබුණා. ඒත් පොදුජන පෙරමුණ උදේට කැමතියි රෑට අකමැතියි. මූල්‍ය අරමුදල එකඟ වුණා කිව්වහම අපටත් සතුටක් ආවා. නමුත් එමගින් සියල්ල සිදුවන්නේ නෑ. විසඳුමේ පූර්විකාවක් පමණයි ලැබුණේ. එතනින් එහාට විශාල අවශ්‍යතාවන් සිදු කරන්න තියෙනවා. හරියට කළේ නැත්නම් මීට වඩා අමාරු තත්ත්වයක් ඇති වෙනවා. අයිඑම්එෆ් එක කියන එක නොවෙයි ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරිපත් විය යුතුයි. ඒ අනුවයි සාකච්ඡා ක්‍රියාත්මක විය යුතුව තිබුණේ. අර්බුදය අපතේ යවන්න එපා. එය මතින් නැගිටින්න පුළුවන්. ඒ අවස්ථාව අප උදාකරගත යුතුයි.

පාර්ලිමේන්තුව යළි ලබන 06 දා පෙරවරු 9.30 ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment