ණය ප්‍රශස්තකරණයට මුදල් කාරක සභාවේ බහුතර අනුමැතිය

138

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය ඊයේ (30 දා) පැවැති රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී සාමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය, රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් ඊයේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම අනුමැතිය හිමිවිය.

පෙරේදා (29) පැවැති රැස්වීමේ පළමු අර්ධයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්විණි. රැස්වීමේ දෙවැනි භාගයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ සාකච්ඡා පැවැත්විණි.

පැවැත්වූ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දීම සිදුවිය.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මීට එක්ව සිටියහ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment