ණය මෙන් තුන්ගුණයක ආදායමක් ලැබෙනවා – තෙල් – ගෑස් නිධිවලින් ගොඩ යන්න ගම්මන්පිලගෙන් ප්ලෑන් එකක්

417

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පතෙන් රටේ සමස්ත ණය ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවැති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට සියයට 50ක් ලබා දුන්න ද ඩොලර් බිලියන 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තුවට දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් දැනුවත් කරමින් ඇමැතිවරයා මේ බව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එක`ගතාවය හිමිවිය.

ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජ තෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සඳහා වන මෙම කෙටුම්පත රජයේ ප‍්‍රමුඛතම කාර්යක් සේ සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මන්නාරම් ද්‍රෝණියේ ඇති ගෑස්වලින් පමණක් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක‍්‍රියා කළ හැකි බවත් එහි ඇති තෙල්වලින් පමණක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143ක් ක‍්‍රියාත්මක කළ හැකි බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

අප අසල්වාසී රට වන ඉන්දියාව 1940 දශකයේ සිට ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළ ද ශ‍්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇති බවත් මේ සම්බන්ධ විෂය ප‍්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවැති දීර්ඝ සාකච්ඡුාවලින් අනතුරුව ඒ සඳහා විවිධ හේතු බලපා ඇති බව හඳුනාගත් බවත් ඇමැතිවරයා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ තෙල් ගවේශනය සඳහා පසුගිය කාලයේ ලෝකයේ දැවැන්ත සමාගම් නොපැමිණ ඇති බවත් ඊට විවිධ හේතු සාධක බලපා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

”මීට පෙර මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සිටි නිලධාරීන්ට විෂය සම්බන්ධව තිබූ අවබෝධය අඩු නිසා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම හරහා විෂය සම්බන්ධ ප‍්‍රවීණයන්ට මෙම කාර්ය භාර දීමට අපි කටයුතු කළා. එසේම බලපත‍්‍ර නිකුත් කිරීම වැනි නියාමන බලය සම්පූර්ණයෙන්ම ඇමැතිවරයා වෙත කේන්ද්‍රගතව පැවැති බැවින් අමාත්‍යවරයා වෙනස් වීම වැනි අවස්ථාවදී සියලූ කටයුතු අඩාල වීම ඉතිහාසයේ සිදුව තිබුණා. මේනිසා ඇමැතිවරයා සතුව තිබූ සියලූ බලතල මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පැවරීමට අප තීරණය කළා. ඒ වගේම පැවැති සාම්ප‍්‍රදායික සිතියම වෙනුවට නවීන සිතියමක් තෙල් සහ ගෑස් ගවේශන කටයුතු සඳහා සකස් කළා’ යැයි ද ඇමැතිවරයා පැවසීය.

එසේම ඩොලර් බිලියන ගණනක් මෙම කර්මාන්තයට ආයෝජනය කළ යුතු බැවින් මෙම විශාල ආයෝජන ආරක්ෂා කිරීමට අදාළ ශක්තිමත් නීති රාමුවක් හඳුන්වා දීමත්, ඇමැතිවරයාට උපදෙස් ලබා දීමට විශේෂ කමිටුවක් පත් කිරීමත් මෙම පනත හරහා සිදුවන බවත් ඇමැතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් ලෝකයේ සම්මතය අනුව තෙල් හා ගෑස් ගවේශනයේදී රටක් ළිං 7ක් කැණීමේදී එකක් සාර්ථක වීම සිදුවන බවත් නෝවේ රජයට පළමු සාර්ථක වීම සඳහා ළිං 31ක් කැණීමට සිදු වූ බවත් ශ‍්‍රී ලංකාවේ කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 ක්ම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඔහු පැවසීය.

එසේම මෙම කටයුතු සඳහා ලොව පුරා විහිදී සිටින මෙම විෂය සම්බන්ධ ලාංකේය විශේෂඥයන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා පැවසීය.

කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි, නලින් බණ්ඩාර, මුදිතා ප‍්‍රිශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.ආර්. ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment