ණය යුගය නිමවා නව යුගයක සිහින දැකීම

145

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අරමුදලේ ණය පහසුකම ලබාගැනීමට හැකිවීම පිළිබඳව විවිධ දේශපාලන ප්‍රතිචාර දැකගත හැකිය. කුමක් වුවත් ආර්ථික වශයෙන් දැඩි ප්‍රපාතයක හිරවී සිටි බංකොලොත් රටක් ලෙස ද ප්‍රකාශයට පත්වූ ලංකාවට ඒ ණය ප්‍රදානය හිමිවීම අඩුවෙන් තක්සේරු කළ යුතු නැත. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාන්විතයේ වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ද සඳහන් කළ යුතුය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කරන ලද දුෂ්කර ක්‍රියාවද සුළු පටු නැත. ණයක් ගැනීම ඕනෑම ගොනෙකුට කළ හැකි යැයි කිසිවෙක් පවසා නැතත් හිඟමනට වැටී තිබෙන රටකට ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකින් ණයක් ලබාගැනීම යනු කණ කැස්බෑවකු විය සිදුරකින් අහස දැකීම බඳු සිදුවීමක් ලෙස හැඳින්වීම ද නිවැරදිය. ශ්‍රී ලංකාවට ලැබෙන සම්පූර්ණ ණය මුදල ඩොලර් බිලියන 2.9කි. ලංකාවේ ණය බර සමග සසඳනවිට ඒ මුදල සොච්චමකි. එහෙත් එය මේ රට ආර්ථික වළෙන් ගොඩගැනීමට සෑහෙන අත්වැලක් බව ද පෙනේ. ඒ සඳහා නිසි රිසි ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ද සිදුවිය යුතු බව ආර්ථික විශේෂඥයෝ ද කියති.

කෙසේ වුවද ලංකාවට ලැබුණු මේ ණය මුදල ගැන උද්දාමයට පත්ව කිරිබත් කන අය මෙන්ම කාගෙන් හෝ ලැබෙන මුදලකින් ගත් රතිඤ්ඤා පත්තු කිරීම හෝ දේශපාලන සංදර්ශනවලට සිල්ලර ප්‍රතිචාර බව ද සබුද්ධික පුරවැසියෝ පසක් කර ගනිති. අප දන්නා තරමින් මේ වනවිට බහුතර ජනතාවක් පසු වන්නේ දහසක් ගැටලු මැදය. සමහරුන්ට වේල් තුනෙන් එකක් හෝ දෙකක් අත්හැර දැමීමට ද සිදුව තිබේ. ඒ හැම දෙයක්ම කලින් කල මේ රට පාලනය කළ නායකයන්ගේ හා පක්‍ෂවල අදූරදර්ශී හා නොමනා දේශපාලන හා ආර්ථික ක්‍රියාකාරකම්වල අනිටු ඵල නොව නියත ඵල බව ද පෙන්වා දිය යුතුය. මේ රටට සිදුවී තිබෙන ආර්ථික විනාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය, මහින්ද මෙන්ම මහා භාණ්ඩාගාර ලේකම්වරයාව සිටි ඇස්. ආර්. ආටිගල ඇතුළු 39 දෙනෙකුට විරුද්ධව ගොනු කරන ලද පෙත්සමක් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් තිබේ. එහෙත් ඒ ආර්ථික ඝාතනයෙහි චූදිතයන් තවත් බොහෝ දෙනෙක් සිටින බවද සඳහන් කළ යුතුය. එහෙත් අපට තිබෙන ප්‍රශ්නය වන්නේ රට කෑ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, පමණක් නොව ඔවුන්ගේ හෙංචයියන් ද සඳළුතලවල සිටිත් දී මේ රටේ ඉතා අහිංසක ජනතාවක් ඒවාට වන්දි ගෙවමින් කඹුරමින් සිටීම ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 22 වැනිදා මෙම ජාත්‍යන්තර ණය ප්‍රදානය සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා සියලු දෙනාගේ ම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් ද කළේය. ජනාධිපතිවරයා විපක්‍ෂයේ සහාය ඉල්ලද්දී ආණ්ඩුවේ ම ඇතැම් අමැතිවරයෙක් විපක්‍ෂ නායක සජිත්ගේ සමත්කම් අසමත්කම් ගැන විවේචනයක් ද කරනු ඇසුණි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ සමස්ත ප්‍රකාශය තුළ ගැබ් වූයේ තවදුරටත් අතීතය ගැන වමාරමින් එකිනෙකාට දොස් නැඟීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. එහෙත් ජනාධිපතිවරයාට ප්‍රශස්ති ගැයීමේ බොළඳ දේශපාලන ප්‍රතිචාර නොඅඩුව සිදුවන බව නම් දැකගත හැකිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමේ අදහස රාජපක්‍ෂ කඳවුරේ නූතන බලධාරියා වන බැසිල්ගේ බව පොහොට්ටුවේ අය දැන් කියති. එහෙත් එය මේ රටේ ජනතාව දැන සිටියේ ඒ දවස්වලම ය. ජනතාව යනු දේශපාලන කෙවිටකින් මෙහෙය විය හැකි ගව රංචුවකැයි සිතන දේශපාලන තකතීරුවෝ පොහොට්ටුවේ පමණක් නොව, ඉන් පිටත ද සිටිති. එහෙත් වර්තමාන දේශපාලනය පමණක් නොව, මේ බොහෝ නායකකාරකාදීන් පිළිබඳව සිය අන්තර්ඥානයෙන් වටහා ගත් බහුතර ජනතාවක් අද මේ රටේ සිටින බව පමණක් අපි සිහිපත් කරමු.

ණය යුගය නිමවා නව යුගයක සිහින දැකීම

ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ ද ඒ බහුතර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටත් දේශපාලන වාද විවාදවලට වඩා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමටත් බව ඔහුගේ ප්‍රකාශවලින් තහවුරු වෙයි. ඔහු රටට පවසන්නේ තමන් වැටුණත් රට වැටීමට ඉඩ නොදෙන බවය. තමන්ගේ අදිටන රාජපක්‍ෂ පුතුන් වැල්පාලමෙන් එගොඩ කිරීම නොව, ලක් මාතාව එයින් එතෙර කිරීම බව ද ඔහු තිරසාරව පවසයි. එය සත්‍යයක් ද යන්න අපට දැන මැන ගැනීමට හැකි වන්නේ ඔහුගේ ක්‍රියාවලින් හා දේශපාලන ප්‍රතිචාරවලින් පමණි. ඒ සඳහා දේශපාලන භේදවලින් හා බලකාමී අරමුණුවලින් තොරව විපක්‍ෂයේ අවංක සහයෝගය ලබාදිය යුතු යැයි කෙරෙන යෝජනාව අපට ද ස්ථිර කළ හැකිය. මෙම විස්තීරණ ණය ප්‍රදානය අර්ථවත් ජයග්‍රහණයක් වන්නේ ද එහි නිෂේධනීය කරුණු ඉවත්කර සාධනීය දේවල් සමග ඉදිරියට යෑමෙන් බවට විපක්‍ෂවලින් දැක්වෙන අදහස ද නිවැරදිය.

ජාත්‍යන්තර අරමුදල වෙතට 16 වතාවක් ගිය අපට 17 වැනි වරටත් ඒ ඉදිරිපිට දණින් වැටීමට සිදුවූයේ නිකම්ම නොවේ. අපේ බොහෝ නායකයන්ට මෙන්ම ඔවුන්ගේ දේශපාලන වහලුන්ට ද වුවමනා රට නොව තම බඩ වඩා ගන්නා ක්‍රමවේද පමණි. හැමදාම සිදුවූයේ ද එයමය. ජනාධිපති රනිල් පැවසූ පරිදිම මෙරටේ දූෂිත වංචනික ක්‍රියාකාරකම්, ගසාකෑම් නොතිබුණි නම් මහවැලි ව්‍යාපාරය වැනි ව්‍යාපෘති එකක් නොව සීයක් කිරීමට ද හැකි වනු ඇත. ආසන්න දසක දෙක තුනක කාලය පිළිබඳ විමසා බැලුවත් මෙරටේ සිදුවී ඇත්තේ රටට වැඩදායී සංවර්ධනයක් නොවන බව ඉතා පැහැදිලිව පෙනේ. ලෝකයට ණය වෙමින් සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘතිවල තත්ත්වය කුමක්ද? අධිවේගී මාර්ග යනු දූෂිතම ක්‍රියාදාමයක් බව හෙළිවී තිබේ. ඇත්තට ම ඈත ගම්වල ජනතාවට හදිසි රෝගියකු රැගෙන යෑමට නොහැකි අබලන් පාරවල්, පාලම් කොපමණ තිබේ ද? සමහර දේශපාලනඥයන් විසින් එබඳු ගම්වල තැබූ මුල්ගල් අදත් දැක ගත හැකිය. ඒවා මෙරටේ ජනතාවගේ මුදල්ය. දැඩි විවේචන සිදුවන ගුවන්තොටුපළවල්, වරායවල් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා පිට්ටනි හා නෙළුම් කුලුන ගැන ද සිදුවූ විශ්ලේෂණ එකතු කළොත් ඒවා එම කුලුනට ද වඩා උසින් දැකගත හැකි වනු සිකුරුය. මේවාට ආණ්ඩුවල සුවිශේෂ අවධානය යොමුවීමත් ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමැතිවරුන් අතර තිබෙන පොරයත් රට වෙනුවෙන් තිබෙන ආදරයක් නොව තමන්ට හිමිවන කුට්ටිය හා වෙනත් ප්‍රතිලාභ නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සම්බන්ධයෙන් ජනතාව අතර තිබෙන කතාවලට අමතරව විගණකාධිපති වාර්තාවලින් ද හෙළිවී තිබෙන තොරතුරුවලින් කියැවෙන්නේ ඒ විදේශ ණය ආධාර අලජ්ජී ලෙස ගසා කෑ ආකාරය යි. සැකෙවින් කිවහොත් බොහෝ මහා පරිමාණ ව්‍යාපෘති පසුපසම දූෂණයක් තිබේ. ඒ දූෂිත න්‍යාය ප්‍රාදේශීය සභාව ඇතුළු අනෙක් තැන්වලට ද පැතිර තිබෙන වසංගතයකි. එහෙත් ඒ දූෂිත හා වංචනික මෙහෙයුම්වලට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ජනාධිපති රනිල් වුවද ඉඳුරා දන්නා කරුණකි. එහෙත් තවමත් මෙරටේ රජයන්නේ මූග්ධ දේශපාලන වහලුන්ගේ අමන හැසිරීම් නොවේ ද?

ජනාධිපති රනිල් සඳහන් කළේ ඩී. ඇස්. සේනානායක වැනි අගමැතිවරයෙක් රටේ ආර්ථිකය සංවර්ධනය කළත් ඔහුගේ 71 වැනි ජන්ම දිනය සැමරීමට සිදුවූයේ බංකොලොත් රටක බවය. එදා ජපානයට පමණක් දෙවැනි වූ රට අද බින්දුවට වැටී තිබීම ගැනය. 1977 සිට මෙරටේ ආර්ථිකය දේශපාලනය භාරව සිටි ආණ්ඩුවල රනිල් ද ප්‍රමුඛ චරිතයකි. එසේම රාජපක්‍ෂ කඳවුර සමග එක්වූ විවිධ පක්‍ෂද ඒ ආණ්ඩුවල දැක ගතහැකි විය. දෙමළ හා මුස්ලිම් නායකයෝ ද අදත් දේශපාලනයේ සක්‍රීය වී සිටිති. ජවිපෙද 2004 දී ඇමැතිකම් ලබාගෙන ඇත. එහෙත් අද ජනතාවගේ හිස මතට කඩා වැටී තිබෙන රාජ්‍ය ආයතන විනාශය පිළිබඳ කිසිවෙක් හෝ ගත් පියවරක් ගැන අපි නොදනිමු. පක්‍ෂවල හා ඇමැතිවරුන්ගේ අභිමතය පරිදි ඒවාට බඳවා ගත් පිරිස් කොපමණ සිටිත් ද ඇමැතිවරයාගේ ප්‍රදේශයේ ලැයිස්තුවට රැකියා ලැබුණි. ඛනිජ තෙල්, විදුලිය වැනි ආයතනවල පාඩුවට වගකිවයුත්තේ මේ ඇමත්තෝත් ඒවායේ රජවී සිටි ඔවුන්ගේම ඉත්තෝත් නොවෙත් ද?

ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සමගාමීව දූෂණය මැඬලීමේ නීති සම්පාදනය කරන බවය. ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර මුදල් කළමනාකාර පනත් කෙටුම්පතක් සම්මත කරන බවය. මහා පරිමාණයෙන් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ බවය. ඇත්ත වශයෙන්ම මේ ආයතන අදටත් ජනතාවට බර පටවමින් නිදහසේ පෙම් කෙළින නායකයන් ගෙන් සමන්විතය. ඒවායේ මහ පුටු පාලකයන්ගේ නෑදෑයන්ට ය. එපමණක් නොව බැංකුවල සභාපති ධුරවලට පත්වන්නේ ද නායකයන්ගේ නෑයන්, පක්‍ෂවල හිතවතුන් විනා වෘත්තිකයන් නොවන බව ද රට ම දනිති. එපමණක් නොව රාජ්‍ය මාධ්‍ය ආයතනවල ද රජයන්නේ ඒ දේශපාලන පත්වීම් ක්‍රමයම ය.

මේ අනුව ජනාධිපතිවරයාට අපේක්‍ෂා කරන පරිදි ලක් මව වැල්පාලමෙන් එගොඩ කිරීමට නම් මේ දේශපාලන අපචාර පත්වීම් ක්‍රමය ඉඳුරා නැවැත්විය යුතුමය. පනස් හයේ දී ආරම්භ කළ ජනසතු ක්‍රමය මහජනයා වෙනුවෙන් තැබූ පියවරක් වුවද ඉහත කී ඥාති සංග්‍රහය නිසා ඒ සියල්ල අසාර්ථක වූ බව ද මෙහි දී සිහිපත් කළ යුතුම ය. අද ජනාධිපතිවරයා යෝජනා කරන ආණ්ඩුවේ ව්‍යාපාර මැදිහත්වීම් වෙනුවට විවෘත ආර්ථිකය වුවද මානුෂික මුහුණුවරකින් සිදුවිය යුත්තකි. මේ වනවිට ද ලාභ ලබන ආයතන විකිණීම පිළිබඳ විවේචන ඇසෙයි. වඩාත් සරලව කිවහොත් ලාභ ලබන ආයතන හිතවත්කම් අනුව විකිණීමක් කිසිසේත්ම සිදුවිය යුතු නැත.

ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී නෝක්කාඩුවක් ලෙස සඳහන් කළේ මෙයට පෙර සිව් වතාවක්ම විපක්‍ෂයේ සහාය ඉල්ලා සිටියත් එය නොලැබුණු බවය. විපක්‍ෂ නායකවරයා මෙවරත් ඍජුව ම සඳහන් කළේ සියලුම සාධනීය යෝජනාවලට තම සහාය ලැබෙන බවය. ආචාර්ය හර්ෂ පැවසුවේත් විපක්‍ෂයට එකඟ විය හැකි යෝජනා එහි තිබෙන බවය. එසේම මෙහිදී විපක්‍ෂය ජනාධිපතිවරයාගේ අභිප්‍රාය දැක්වෙන ලිපිය ගැන ද ප්‍රශ්න කළේය. විපක්‍ෂයෙන් යම් තොරතුරක් සැඟවීමට ආණ්ඩුවට වුවමනාදැයි අපි නොදනිමු. කුමක් වුවත් මෙම ගිවිසුම සම්බන්ධ කොන්දේසි, එහි යෝජනා ආදිය විවෘතව සාකච්ඡා කර විපක්‍ෂයේ සහාය ලබාගත හැකි බව ද අපගේ අදහස යි. එහෙත් ආණ්ඩුවේ ම සමහර දේශපාලන වාචාලයන් විසින් සිදුකරනු ලබන දේශපාලන අවලාද ඉවසා ගනිමින් නිවටයන් ලෙස සහාය පළ කිරීමට විපක්‍ෂයේ කිසිවෙක් එකඟ නොවන බවද ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා පසක් කර ගත යුතුවේ.

අද පවතින දේශපාලන සන්දර්භය අනුව ආණ්ඩු පාර්ශ්වයට තිබෙන ජන ප්‍රසාදය පිරිහී තිබේ. ආණ්ඩුවේ ඇතැම් ආයතන ප්‍රධානීන් තවමත් කල්පනා කරන්නේ විපක්‍ෂවලට දෙස් දෙවොල් තැබීමටත් මේ විනාශයේ වගකීම ජවිපෙ ඇතුළු පොහොට්ටුවෙන් ඉවත්වූ අයටත් පැවරීමට ය. පළාත් පාලන ඡන්දය ගැන ආණ්ඩු පාර්ශ්වයට උත්තර නැති වුවත් ඔවුන් තවම සිටින්නේ 88-89 භීෂණ සමයේ ජවිපෙ ක්‍රියාකාරකම් විවේචනය කරන තැනකය. ඒවා මේ රටේ ජනතාව දනිති. එසේම අනිත් පක්‍ෂවල දේශපාලන මැරකම් ඡන්ද මංකොල්ල ආදිය ගැන ද ජනතාව දනිති. නායකයන්ගේ තරම පමණක් නොව දේශපාලන හෙංචයියලාගේ අමන ගති හා වහල් මනස
ගැන ද ජනතාව දනිති. විද්‍යුත් මාධ්‍ය සංවාද මෙන්ම මුද්‍රිත මාධ්‍යවල ද ඒ හරසුන් මතවල දුර්ගන්ධය විනා අලුත් සංවාද ඉතා අඩුය.

දැන් අප අවධානය යොමු වන්නේ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මෙන්ම හිමිකම් පිළිබඳව දැක්වෙන ප්‍රතිචාර කෙරෙහිය. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයට එරෙහි ආණ්ඩුවේ මෙහෙයීම් ගැන සමාජ දේශපාලන අංශවලින් ඉදිරිපත් වී තිබෙන විවේචන ගැනය. අයි.එම්.එෆ්. බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණේ ද රටක මැතිවරණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත් වීමක් නොමැති බවත් එය ඒ රටේ ජනතාව සතු දෙයක් බවත්ය. ජනාධිපතිවරයා මේ පිළිබඳ සඳහනක් නොකර එය ලිස්සා හැර දැමූ ආකාරය ද පැහැදිලිය. එහෙත් රාජ්‍ය නායකයා ලෙස මෙන්ම ඒ ක්‍රියාවලියේ චූදිතයකු බවට ද පත්ව සිටින ජනාධිපති රනිල් ඒ ගැන යමක් සඳහන් නො කිරීම ප්‍රහේලිකාවකි. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැති නිසා ලංකාවට අයි.එම්.එෆ්. ණය නොලැබෙන බව සමහරුන් කළ ප්‍රකාශයක් ගැන ජනාධිපතිට මතක් විය. ඔහු දේශපාලන කණ්ඩායම්, වෘත්තිය සංවිධාන හා ඇතැම් ජනමාධ්‍ය පවා එම ක්‍රියාව කඩාකප්පල් කළ බවට චෝදනාවක් ද කර ඇත.

ඒවා බරපතළ චෝදනාවන්ය. කුමක් වුවත් යළිත් වරක් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිදුව තිබේ. ස්වාධීන යැයි කියන මැතිවරණ කොමිසමට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් ද නැත. ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා තවමත් තමන්ට එල්ල වන තර්ජන, ගර්ජන පමණක් නොව සකල විධ පලා බෙදීම් ද කරබාගෙන සිටින සරණාගතයකුගේ තත්ත්වයට ඇද දමා තිබේ.

මේ අතර එම මැතිවරණය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාරද ආන්දෝලනාත්මකය. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය දිනක විපක්‍ෂ නායක කාර්යාලයේ දී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබමින් මේ වනවිට ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට කරන බලපෑම් පිළිබඳව විරෝධය පළ කර ඇත. එම නිවේදනයේ සඳහන් වූයේ අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හෑල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය හෙළා දකින බවය. මෙබඳු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව විපක්‍ෂයේ සහාය ඉල්ලීම ද ගැටලු සහගතය. ස.ජ.බ, ජා.ජ.බ, නිදහස් ජනතා සන්ධානය මෙන්ම මුස්ලිම් හා දෙමළ පක්‍ෂ ද මෙසේ ඒකාබද්ධ විරෝධතාවක් ප්‍රකාශ කිරීම සරල ප්‍රතිචාරයක් නොවන බවද කිව යුතුය.

ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය යනු ගෞරවණීය ආයතන පමණක් නොව ජනතාවගේ අචල විශ්වාසය ද දිනා ගතයුතු ඒවාය. මෙයින් අධිකරණය සුවිශේෂය. කිසිවෙක් එහි පැවැත්ම ක්‍රියාකාරකම් විවේචනය නොකරති. එය ජනතාවගේ අතිශය ගෞරවනීය ආයතනය ද වේ. එහෙත් වරප්‍රසාද ලෙළවමින් ගරු අධිකරණයට දෙන සංඥාව කුමක්ද? යුක්තියේ දෙවඟනගේ දෑස විවර කර ඒ අසිපත උදුරා ගැනීමට ව්‍යවස්ථාදායකයට මෙන්ම විධායකයට අවශ්‍ය වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනමට අභියෝගයක් බව දැනටමත් නීති ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණිකයන්ගේ ද අදහස වී තිබේ. මෙයට පෙර ජයවර්ධන හා මහින්ද යුගවල සිදුවූ මෙබඳුම අශිෂ්ට දේශපාලන ප්‍රතිචාර ගැන ද නිර්දය විවේචන තිබේ. ජනාධිපති රනිල් ඒ අතීත දේශපාලන දුර්ගන්ධය යළිත් කැඳවීමට සූදානම් වන්නෙහිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රශ්න කිරීමට තරම් මහජන මන්ත්‍රීවරුන් උද්ධච්ච වන්නේ නම් ‘කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්’ යනුවෙන් විශාරද නන්දා මාලිනිත් මහාචාර්ය සුනිල් ආරියරත්නත් නැඟූ ප්‍රශ්නය නඟනු හැර අපට ද කළ හැකි වෙනත් දෙයක් නැත. එසේම සියත රූපවාහිනී නාලිකාව ද මේ වනවිට ඒ වරප්‍රසාද කෙවිටෙන් කෙරෙන තර්ජනය අභියසය. මාධ්‍ය නිදහස පිළිබඳ සවිඥානකව ලියන කියන කවරකු වුවද එබඳු හිසට උඩින් ලෙළදෙන අසිපතක පීඩනයට ලක්විය යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා මානව හිමිකම් යනු පාලකයන්ගේ අතපල්ලෙන් වැටෙන දෙයක් නොව විශ්ව සාධාරණ හිමිකම් බව පමණක් අපි ලියා තබමු. පාලකයන්ගේ මනසින් හිතා ලියන මෙන්ම වචන හසුරුවන අය ද එදත් වූහ. අදත් වෙති. එහෙත් ඒ හැම යුගයක ම මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය හෘද සාක්‍ෂියකි. එකඟව ක්‍රියා කළ අභිමානවත් සගයෝ අපට වූහ. අදත් සිටිති. එනිසා මාධ්‍ය දඩයම් කෙරෙහි ආණ්ඩුවක් යොමුවීම යනු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වළ දැමීමේ පළමු පියවර බවද සඳහන් කළ යුතුය. මෙරටේ විශිෂ්ට මාධ්‍ය සාම්ප්‍රදායක උරුමය ද ඇති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වටිනාකම් ගැන දන්නා නායකයකු වන ජනාධිපති රනිල් එබඳු අගතියකට වැටෙනු ඇතැයි අපි නො සිතමු.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment