තංගල්ලේ හොර අරක්කු වටලා ඕඅයිසීගේ උදහසට ලක්වූ සැරයන්ට මාරුවක්

569

තංගල්ල පොලිස් කොට්ඨාසයේ හොර අරක්කු වැටලීමේ වරදට පොලිස් ලොක්කෙකුගේ උදහසට ලක්වූ පොලිස් සැරයන්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල පොලිස් කොට්ඨාසයට ස්ථානමාරු කර තිබේ.

පොලිස්පතිවරයා වෙනුවට මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාවේ නියෝජ්‍ය පොලිස්පති එම්. එන්. සිසිර කුමාර මහතාගේ අත්සනින් යුතුව 2022.10.30 වන දින මෙම ස්ථානමාරු ලිපිය නිකුත් කර තිබේ.

තංගල්ල පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානයක සේවය කළ එම සැරයන්වරයා පසුගිය දිනක හොර අරක්කු වැටලීමක් සිදුකර තිබූ අතර ඊට එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැඩිව උරණ වී තිබිණි. එහිදී ස්ථානාධිපතිවරයා විසින් සැරයන්වරයාට බැණවදින හඬපටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මැදිහත්වීමෙන් පරික්‍ෂණයක් ද ක්‍රියාත්මක වෙමින් තිබියදී පොලිස් ලොක්කාගේ උදහසට ලක්වු සැරයන්වරයාට මෙලෙස ස්ථානමාරුවක් ලබා දී තිබේ.

අදාළ පොලිස් ලොක්කා තමන්ට දේශපාලන හයිය ඇති බව පවසමින් නාමල් රාජපක්‍ෂ මහතාගේ හා අගමැතිවරයාගේ නම් ද සඳහන් කරමින් සැරයන්වරයාට බැණවදින අයුරු එම හඬපටයේ තිබේ. කිසිම ආකාරයකින් අදාළ පොලිස් වසමේ හොර අරක්කු වැටලීම සිදු නොකරන ලෙසත් තමන් කියන ලෙස ඉන්න බැරිනම් කොහේ හරි තූත්තුකුඩියකට මාරුකර දමන බවත් තමන් සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් වී මිස මෙම ස්ථානයෙන් නොයන බවත් පොලිස් ලොක්කා එහිදී කියයි.

දේශපාලන හයිය භාවිතකරමින් පොලිස් ලොක්කෙකු සිදුකළ මෙම ස්ථානමාරුව පිළිබඳව තංගල්ල පොලිස් කොට්ඨාසයේ බොහෝ පොලිස් පොඩ්ඩෝ දැඩි නොසතුට පළ කරන අතර බොහෝ පොලිස් පොඩ්ඩන් පැවසුවේ රාජකාරිය කෙසේ නමුත් සාමාන්‍ය පරිදි ජාමෙ බේරගෙන රස්සාව කළානම් ඇති බවයි.

මත්තල දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment