තඩි ශානාට මැනිං මාකට්ටුවේදී වෙඩි තිබ්බේ වෙනින් කවුරුත් නෙවෙයි පාතාලයමයි?

944

● කෙසෙල්වත්තේ ඩිනුකට ශානා අභියෝග කරලා

● කෙසෙල්වත්තේ පාතාලය සම්බන්ධ බවට මුල ඉඳලම සැක තිබිලා

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ උදෑසන පැවති කලබලකාරී තත්ත්වය කෙමෙන් පහව යමින් තිබුණේය. ඒ වන විට දහවල් 1.30 පසුවී තිබිණි. තම දරුවන් දෙදෙනා පාසලෙන් නිවස කරා රැගෙන යෑමේ අදහසින් සමන්ත ප්‍රදීප් මැනිං වෙළෙඳ සංකීර්ණයේ රැඳී සිටියේය. අහිංසක දරු දෙදෙනකුට සෙනෙහෙබර පියකු අහිමි වීමේ කාලකණ්ණි හෝරාව එළැඹෙමින් තිබුණේය. මේ පිළිබඳව හාංකවිසියක් නොදත් සමන්ත ප්‍රදීප් තම දරු පැටවුන් දෙදෙනා ගැන සිතමින් තම වෙළෙඳසල ඉදිරිපිට රැඳී සිටියේ ඔවුන් හැකි ඉක්මනින් නිවස කරා රැගෙන යන අරමුණෙන් යුතුවය.

එහෙත් මාරයා ඊට පෙර ක්‍රියාත්මක වුණේය. කාටත් හොර රහසේ පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත ඒ වන විට අවතීර්ණ වී සිටි පාතාල අළුගෝසුවන් කණ්ඩායමක් සමන්ත ප්‍රදීප්ගේ වෙළෙඳසල අසලට පැමිණ සිටියහ. එක්වරම මෝටර් රථයෙන් බැසගත් පාතාල අළුගෝසුවකු කිසිම කලබලයකින් තොරව සමන්ත ප්‍රදීප්ගේ වෙළෙඳසල අසලට ආවේය.

අළුගෝසුවා අත ටී.56 ගිනිඅවියකි. සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් සිතා ගැනීමට වෙලාවක් ඉතිරිව තිබුණේ නැත.

ටී56 අවියෙන් පිටවූ හිත්පිත් නැති වෙඩි උණ්ඩ සමන්ත ප්‍රදීප්ගේ සිරුර විනිවිද ගියේය. සද්ධන්ත දේහධාරි තරුණයකු වූ සමන්ත ප්‍රදීප් මැනිං වෙළෙඳ සංකීර්ණයේ සිමෙන්ති පොළොව සිප ගත්තේ අවසන් ප්‍රාණ වායුවත් මුදාහරිමින්ය. ‘දුවපියව්…. දුවපියව් මෙන්න පාතාලෙන් වෙඩි තියනවා… වෙළෙඳ සංකීර්ණයේ සිටි පිරිස් දැඩි ලෙස භීතියට පත්ව හිස් ලූලූ අත දිවයන්නට වූහ. තම ඉලක්කය සපුරාගත් පාතාල අළුගෝසුවා කිසිදු කලබලයකින් තොරව මෝටර්රථයේ නැඟී පලා ගියේය. සති තුනක් වැනි කෙටි කාලසීමාවක් තුළ පාතාලය විසින් ඩැහැගත් 8 වැනි මිනිස් බිල්ල වූයේ සමන්ත ප්‍රදීප්ය.

තඩි ශානාට මැනිං මාකට්ටුවේදී වෙඩි තිබ්බේ වෙනින් කවුරුත් නෙවෙයි පාතාලයමයි?

42 හැවිරිදි වියේ පසුවූ සමන්ත ප්‍රදීප්ගේ මුල් පදිංචිය කොටහේන හෙට්ටියාවත්තේය. කෙසෙල්වත්තේ ඩිනුක නමැති පාතාල මැරයාගෙන් දිිගින් දිගටම එල්ල වූ මරණීය තර්ජන නිසාම සමන්ත සිය පදිංචිය වෙනස් කළේය.

පුංචිකාලේ සිට හැදී වැඩුණු හෙට්ටියාවත්තේ පදිංචිය මාරුකළ ඔහු ජා-ඇල මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට එන්නේ තමන්ගේ පමණක් නොව අඹු දරුවන්ගේද ආරක්‍ෂාව ගැන සිතමින්ය. එහෙත් සිදුවූයේ සමන්ත සිහිනයකින්වත් නොසිතූ නොපැතූ ඛේදවාචකයකට මුහුණ දීමටය. පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ පලතුරු අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වූයේ සමන්තය. දන්නා කාලයේ සිට පලතුරු වෙළෙඳාම සිය වෘත්තිය කරගෙන සිටි සමන්ත කිසිවකුටත් හිරිහැරයක් නොකර තමන්ගේ පාඩුවේ සිටි තරුණයෙකි.

සද්ධන්ත දේහයකට සහ විශාල උදරයකට හිමිකම් කියූ නිසාම සමන්ත ප්‍රදීප් ‘බඩ ශානා’ ලෙස බොහෝ දෙනෙකු හැඳින් වූවේය. මහා පරිමාණයෙන් අඹ වෙළෙඳාම කළ නිසාම ‘අඹ ශානා’ යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්විය. කෙසෙල්වත්තේ ඩිනුක නමැති පාතාල මැරයා කොළඹ පාතාලයේ අංක එකේ මිනීමරුවකු විය. මිනිස් ඝාතන, මහා පරිමාණ හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු මෙකී නොකී අපරාධවල නිරත වෙමින් මහා ධනවතකු බවට පත්ව සිටි ඩිනුක කෙසෙල්වත්තට පමණක් නොව මුළු රටටම මහා පිළිලයක්ව සිටියේය. කිත්සිරි රාජපක්‍ෂ නමැති ව්‍යාපාරිකයා පිටකොටුවේදී වෙඩි තබා ඝාතනය කළේ කෙසෙල්වත්තේ ඩිනුකගේ පාතාල කල්ලිය විසින්ය. පලතුරු වෙළෙඳසලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මේ ඝාතනයට හේතුවී තිබිණි.

පිටකොටුවේ ව්‍යාපාරිකයන්ගෙන් ඩිනුක දෛනිකව කප්පම් ලබා ගත්තේය. එසේ කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්ට එක්කෝ සිදුවුණේ ව්‍යාපාරය අතහැර යෑමටය නැත්නම් සිය ජීවිතවලින් ඊට වන්දි ගෙවීමටය.

මහ පොළොව නුහුලන මිනිස් ඝාතන කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වෙමින් මෙරට පාතාලය පෝෂණය කළ කෙසෙල්වත්තේ ඩිනුකට ආරක්‍ෂක අංශවලින් ජීවිත තර්ජන එල්ලවුණේය.

තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් ඔහු ඩුබායි රාජ්‍යයට පලා යන්නේ මීට වසර හත අටකට උඩදීය. ඩුබායි රාජ්‍යයේ සිට කෙසෙල්වත්තේ පාතාලය මෙහෙයවීමේ කාර්යයට අතගැසූ ඩිනුක වෙනදාටත් වඩා බිහිසුණු ආකාරයට එය ක්‍රියාත්මක කරගෙන යන්නට සමත් වුණේය.

ඩිනුකගේ කුඩු ව්‍යාපාරයේ මහ මොළකර වූයේ දනුකය. කුඩු ව්‍යාපාරය හරහා ඩිනුක රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූවේ දනුක එය ඉතාම සාර්ථකව කරගෙන ගිය නිසාය. එහෙත් දනුක කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඩිනුකගේ ව්‍යාපාරයට මරු පහරක් ඉල්ල කරමින්ය. දීර්ඝ නඩු විභාගයකින් පසු දනුකට මරණ දඬුවම හිමි විය. එහෙත් නීතිය කණපිට පෙරළමින් මුදල් බලය පාවිච්චි කළ ඩිනුක නිදොස්කොට නිදහස් කර ගැනීමට සමත් වුණේය. නිදහස ලැබීමෙන් පසු දනුක ඉන්දියාවට පිටත් කර යැවූ ඩිනුක එහි සිට සිය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමේ කාර්ය ඔහුට පැවරුවේය.

කෙසෙල්වත්තේ ඩිනුක නමැති පාතාල මැරයාගේ අකටයුතුකම් තර්ජන ගර්ජනවලට බියවූ ජනතාව ඔහුට විරුද්ධව වචනයක් හෝ පිට නොකළහ. ඒ තරමටම භීෂණයක් ඩිනුක ඇතුළු පාතාල මැරයන් විසින් කොළඹ නගරය පුරා පතුරුවාගෙන සිටියහ.

එහෙත් සමන්ත ප්‍රදීප් කෙසෙල්වත්තේ ඩිනුකගේ තර්ජන ගර්ජන හමුවේ නොසැලී සිටි තරුණයකු විය. සමන්ත ප්‍රදීප් සහ ඩිනුක අතර කාලයක් තිස්සේ දැඩි වෛරයක් පැවතිණි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ ආරවුල පැවති බවට විවිධ කටකතා පැතිර ගොස් තිබුණද එය ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් තිබුණේ නැත.

2018 වර්ෂය වන විට කෙසෙල්වත්තේ ඩිනුක සිටියේ ඩුබායි රාජ්‍යයේය. ඩිනුකගේ කොළඹ පාතාලයේ සියලු ක්‍රියාකාරකම් ඒ වන විට පාලනය කරමින් සිටියේ ඔහුගේ මවගේ සොහොයුරු වන කුඩුරජා විසින්ය. මේ ක්‍රියාකාරකම් සඳහාද මෑණියන්ගෙන් ලැබුණේද නොමඳ සහායකි. කප්පම් ලබා ගැනීම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් සමන්ත ප්‍රදීප් සහ ඩිනුක ගැටුම උත්සන්න වන්නට පටන්
ගන්නේ ඔය අතරතුරදීය. පිටකොටුවේ පිහිටි සමන්ත ප්‍රදීප්ට අයත් පලතුරු වෙළෙඳසලකින් ඩිනුක දෛනිකව කප්පම් මුදල් ඉල්ලා සිටියේය. එහෙත් සමන්ත ඩිනුකට කප්පම් ලබාදීමට එක හෙළාම විරුද්ධ වුණේය.

දිනක් ඩිනුකගේ කුඩු පාතාලයේ මැරයකු සමන්ත සොයා ආවේය. මැරයා අත ජංගම දුරකථනයකි. ඇයි උඹ මාව හොයාගෙන ආවේ. මැරයා ඩිනුකගේ ගෝලයකු බව එකවරම හඳුනාගත් සමන්ත ඔහුගෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් විමසුවේය. ඩිනුක අයියා ෆෝන් එකේ ඉන්නවා. මේ ෆෝන් එක අරන් කතාකරපං මැරයා සමන්ත ප්‍රදීප්ට කීවේ තරමක නියෝගාත්මක ස්වරයකින්ය. සමන්තගේ කේන්තිය ඉහවහ ගියේය.

‘කෝ දීපං ඕකට මං දෙකක් කතා කරන්න…

මැරයා අත තිබූ ජංගම දුරකථනය උදුරාගත් සමන්ත ඩිනුකට කතාකළේය.

‘සමන්ත උඹ දඟලනවා වැඩියි. උඹ දන්නවානේ මේ ඩිනුක කියන්නේ කව්ද කියලා.’

ඩිනුක තර්ජනාත්මක ස්වරයෙන් කීවේය.

තඩි ශානාට මැනිං මාකට්ටුවේදී වෙඩි තිබ්බේ වෙනින් කවුරුත් නෙවෙයි පාතාලයමයි?

‘උඹ කව්ද කියලා මං හොඳට දන්නවා. ඒත් එකක් මතක තියාගනින් මං කවදාවත් උඹට කප්පම් දෙන්නේ නැහැ. උඹේ අම්මටයි අර රාජා කියන මාමටයි ඒක කියපං…

ඩිනුකගේ තර්ජන ගර්ජන හමුවේ නොසැලී සිටි සමන්ත ප්‍රදීප් දුරකථනය ඔස්සේ ඔහුට බැණවැදුණේය. මං මේ අන්තිම වතාවට උඹට කියන්නේ. ජීවිතේ ගැන තියෙන ආසාව අතඇරගනින්. බලපං තව දවස් දෙක තුනිකන් උඹට මොකද වෙන්නේ කියලා… සමන්තට මරණ තර්ජන එල්ල කළ ඩිනුක දුරකථනය විසන්ධි කළේය.

අණක් ගුණක් නොමැති ඩිනුක නමැති පාතාල මැරයා සමග ආරවුල් ඇතිකර ගැනීම ගැන ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම කිට්ටුවන්ත මිතුරන් සිටියේ දැඩි භීතියෙන් යුතුවය. එහෙත් සමන්ත මේ තර්ජනවලට බියවුණේ නැත.

‘උඹ පරිස්සම් වෙයන් ඩිනුක කියන්නේ කිසිම චාරයක් ඇති එකෙක් නෙවෙයි’. සමන්තගේ සමීප මිතුරන් ඔහුට අනතුරුඇඟෙව්වේය. ඕක මට මොනවා කරන්නද ඕනම දේකට මාත් ඔට්ටුයි. බලමු මොකාටද මූ එන්නේ කියලා. ඩිනුකගේ තර්ජනය එල්ල වී සතියක් ගතවුණේ නැත. දෛනික ව්‍යාපාර කටයුතු සිදුකළ සමන්ත තවත් කීප දෙනෙකු සමග කොටහේන හෙට්ටියාවත්තේ පිහිටි සිය නිවස වෙත ආවේය.

ඒ වන විට වටින් ගොඩින් අඳුර වැටෙමින් තිබුණේය. සමන්ත තම ඥාති සොහොයුරකු සහ තවත් කීපදෙනෙකු සමග නිවස ඉදිරිපිට අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටියේය. ගතවූයේ නිමේෂයකි. කොහේදෝ සිට ඉගිල ආ යතුරුපැදියක් එකවරම සමන්තගේ නිවස ඉදිරිපිට නතර කළේය. සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් සිතා ගැනීමට වේලාවක් තිබුණේ නැත.

යතුරුපැදියෙන් බැසගත් පාතාල මැරයකු සමන්ත ප්‍රදීප් ඉලක්ක කර වෙඩි වරුෂාවක් එල්ල කළේය. තත්පර ගණනකදී සිය ප්‍රහාරය දියත් කළ පාතාල මැරයා යතුරුපැදියේ නැඟී අතුරුදන් වුණේය. ප්‍රහාරයෙන් දිවි ගලවාගන්නට සමන්ත ප්‍රදීප් සමත් වුණේය. එහෙත් ඒ වන විට සමන්තගේ ඥාතිසොහොයුරකු වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා වේදනාවෙන් කෑ ගසමින් සිටියේය. සමන්ත සිය ඥාතිසොහොයුරා කඩිනමින් ජාතික රෝහලට රැගෙන යෑමට කටයුතු කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවුණේ නැත. මේ ප්‍රහාරය කෙසෙල්වත්තේ ඩිනුක විසින් මෙහෙයවූ බව සමන්ත ප්‍රදීප් හොඳාකාරවම දැන සිටියේය. යකෝ දැන්වත් තේරුම් ගනින් අපට ඔය ඩිනුකය එක්ක හැප්පෙන්න බැහැ. කොහොමහරි මාරුවෙලා ජීවිතේ බේරගමු.

සමන්තගේ මිතුරන් ඔහුට ඇවිටිලි කරන්නට වූහ. ඒ වනවිට තමන්ට එල්ලවී තිබෙන තර්ජනය කොතරම් බරපතළදැයි සමන්ත තේරුම් ගෙන සිටියේය. කොටහේන හෙට්ටියාවත්තේ පදිංචිය අතහැර දැමූ සමන්ත තම දරු පවුලද සමග ජා-ඇල මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචියට ආවේය. පිටකොටුවේ ව්‍යාපාර පසෙක තැබූ සමන්ත පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පලතුරු කඩයක් පවත්වාගෙන යන්නට පටන් ගත්තේය. කාලය කෙමෙන් ගෙවී ගියේය. මීට වසරකට පමණ උඩදී දිනක සමන්තට සතුටුදායක ආරංචියක් කණ වැකුණේය.

ඒ ඩුබායි රාජ්‍යයේ අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි කෙසෙල්වත්තේ ඩිනුක හදිසි හෘදයාබාධයකින් මියගිය බවය. මේ ආරංචියෙන් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය සමන්ත කොටහේන හෙට්ටියාවත්තේ මහගෙදර ආවේය. ඒයි උඹලා දන්නවාද වෙලා තියෙන දේ. අර ඩිනුක කියන කාලකණ්ණියා කරපු අපරාධවලට ඌට මිහිපිටම පලදීලා. අපි මේ ප්‍රීතිය සමරන්න ඕනේ… සමන්ත හෙට්ටියාවත්තේ සිය සගයන් සමග එක්වී රතිඤ්ඤා පත්තුකරමින් ඩිනුක මියයෑමේ සතුට භුක්තිවිඳින්නට වූහ. ඉන් නොනැවතුණු සමන්ත ඩිනුක වෙනුවෙන් බලුකපුටු දානයක්ද ලබාදීමට කටයුතු කළේ කාලයක් තිස්සේ තම යටි සිතේ සිරකගෙන සිටි වෛරය පිටකර ගැනීම සඳහාය.

සමන්තගේ මේ සියලු ක්‍රියාකාරකම් දෙස ඩිනුකගේ සගයන් බොහොම උපේක්‍ෂාවෙන් යුතුව බලා සිටියහ. විශේෂයෙන්ම ඩිනුකගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා වන කුඩුරජා සමන්ත කෙරෙහි දැඩි වෛරයකින් පසුවුණේය. ඩිනුක නොමැති කෙසෙල්වත්ත පාතාලයේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමට කුඩුරජා ඇතුළු පාතාල මැරයන්ට අවශ්‍ය විය. පාතාල ආධිපත්‍යය නැවත ගොඩනඟා ගැනීමට නම් නිරායුධ මිනිසුන් භීතියට පත් කළ යුතුය. ඒ සඳහා මිනී මැරිය යුතුය. තමන්ට එරෙහිවන්නන් කපා කොටා පහරදී හිංසා කළ යුතුය. රජා සහ ඉන්දියාවේ සැඟවී සිටින දනුක කෙසෙල්වත්ත පාතාලයේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමේ මෙහෙයුම්වලට අතගසා සිටින බව පොලිස් විමර්ශනවලින් පවා තහවුරුවී තිබෙයි. විමර්ශන පොලිස් කණ්ඩායම් සැක පහළ කරන්නේ ඩිනුක මියයෑමෙන් පසු ඒ වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වමින් රතිඤ්ඤා දල්වමින් බලුකපුටු දාන දුන් සමන්ත ප්‍රදීප් කෙසෙල්වත්ත පාතාල කල්ලියේ ගොදුරක් බවට පත්වූ බවයි. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට කඩාවැදී සමන්ත ප්‍රදීප් ඝාතනය කර පලාගිය අපරාධකරුවන් පිළිබඳ සියලු තොරතුරු මේ වන විට පොලිසිය සොයාගෙන හමාරය. මැරයන් පැමිණි මෝටර්රථය කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගත්තේය. ඒ මෝටර්රථය වාහන කුලී පදනම මත ලබාදෙන ආයතනයකින් ලබාගත් එකකි.

කෙසේ වෙතත් රටේ අනාරක්‍ෂිත තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙමින් තිබෙන බව කිව යුතුය. ගෙවීගිය සති තුනක කාලය තුළදී පාතාල මැරයන් විසින් නිරායුධ පුද්ගලයන් 8 දෙනකු මහ දවල් ඝාතනය කර තිබිණි. පිටකොටුව බැස්ටියන් මාවතේ කොළඹ පොලිස් මූලස්ථානය පෙනි පෙනී තිබෙන ස්ථානයක ටී56 අවිවලින් නිරායුධ පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කරන තත්ත්වයට පාතාලය පත්ව සිටියි.

මේ තත්ත්වය මොනතරම් බරපතළද. අහිංසක මිනිසකුට නිදහසේ ආරක්‍ෂා සහිතව මහමග ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදාකර හමාරය. කුලියට මිනීමරන මහා අපරාධ සිදුකරන පාතාල මැරයන් කිසි දිනක නීතිගරුක පුරවැසියන් බවට පත්වන්නේ නැත. අවිගත් මේ කාලකණ්ණින්ට පිළිතුරු දිය යුත්තේද අවියෙන්මය. පසුගිය කාල සීමාවේ පාතාල මැරයන්ට මේ මරණ බිය හොඳින් දැනී තිබිණි. පාතාලය කොයි තරම් භීතියට පත්ව සිටියේද යත් වසර කීපයක් පුරාම පාතාල මිනීමැරුම් වාර්තා නොවුණු තරම්ය.

පාතාල ලෝකයේ කෙළිකාරයන් වූ මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක, ගොනාකෝවිලේ රොහා ඇතුළු මැරයන් සෑහෙන පිරිසක් පාතාල මර්දන මෙහෙයුම්වලදී ජීවිතක්‍ෂයට පත්වූහ. එදා එසේ වුවද වර්තමාන තත්ත්වය ඉඳුරාම වෙනස් වෙමින් පවතියි. පාතාලය හිස එසවීමට කරුණු කාරණා කීපයක් බලපා ඇත. ආණ්ඩු මාරුවත් සමගම පාතාල මැරයන්ට රක්‍ෂණ සහතිකයක් ලැබී තිබෙයි. වර්තමාන රජය මානව හිමිකම් මහ ඉහළින් ආරක්‍ෂා කරන බව පාතාලමැරයන් අපට වඩා හොඳින් දැන සිටියි.

ඝාතනයට ලක්වන අහිංසක මිනිසුන් වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාත්මක නොවන බව මේ පාතාල මැරයන් අවබෝධ කරගෙන හමාරය. කොයිතරම් මිනී මැරුවත් මහා අපරාධවල නිරතවූවන් තමන්ට කිසිම ජීවිත තර්ජනයක් නොමැති බව මේ පාතාල මැරයන් හොඳින් තේරුම් ගෙන සිටියි. ඉවක් බවක් නොමැතිව මහ දවල් නිරායුධ මිනිසුන් මේ ආකාරයට පාතාලය විසින් විනාශ කිරීම නැවත ඇරැඹෙන්නට ප්‍රධාන හේතුවක් බවට එය පත්ව හමාරය.

එමෙන්ම මේ වනවිට පොලිසියේ පිටකොන්ද බිඳ දමා හමාරය. රාජකාරි කිරීමට ගොස් අනතුරේ වැටුණු නිලධාරීන්ට කිසිදු පිළිසරණක් නොමැති බව සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම තේරුම් ගෙන හමාරය. ඒ නිසාම කිසිදු නිලධාරියෙක් තම රාජකාරියට පරිබාහිරව නීතියේ රාමුවට පිටින් කිසිවක් කිරීමට ඉදිරිපත් වන්නේ නැත. පොලිසිය මේ ආකාරයට ඇස් කන් පියාගෙන නිද්‍රා සුවයෙන් සිටින බව පාතාල මැරයන් හොඳාකාරවම දැන සිටිති. පාතාලය හිටි හැටියේම සක්‍රිය වීමට මෙය තවත් හේතුවක් බවට පත්ව තිබෙයි.

එමෙන්ම පොලිසියට අද මහජන ආරක්‍ෂාව සැලසීම පාතාල මර්දනය, පැමිණිලි විභාග කිරීමට වේලාවක් නැත. පොලිසියට අද දැවැන්ත රාජකාරි කීපයක් භාරදී තිබෙයි. ඉන් ප්‍රධානම තැන ගන්නේ මේ රට ගොඩනඟා ස්වයංපෝෂිත කර ලෝකයේ සතුටින්ම සිටින ජනතාවක් ජීවත්වන රටක් බවට පත් කිරීමට මහා දායකත්වයක් දුන් දේශපාලනඥයන් ආරක්‍ෂා කිරීම පොලිසියේ ප්‍රධානම රාජකාරියක් බවට පත්ව හමාරය.

ඊට අමතරව ජනඅරගලය ද මේ උතුම් දේශපාලනඥයන් දුක් මහන්සියෙන් උපයාගත් දේපොළ විනාශ කළ සැකකරුවන් සෙවීමේ දැවැන්ත මෙහෙයුම් සඳහා පොලිසියේ බහුතරයක් යොදවා සිටියි.

පාතාල මර්දන මෙහෙයුම් සඳහාම පිහිටුවා තිබෙන කොළඹ, පෑලියගොඩ මිරිහාන, කළුතර අපරාධ කොට්ඨාසවල නිලධාරීන් සියලු රාජකාරි පසෙක තබා අපේ උතුම් දේශපාලනඥයන්ට සිදුවූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් සෙවීමේ රාජකාරි සඳහා පූර්ණ කාලය කැපකර සිටිති.

එමෙන්ම තෙල් පෝලීම්වල රාජකාරි කිරීමට උද්ඝෝෂණ පාලනය කිරීම කොළඹ නගරය තුළ වෙසෙන අපේ රටේ උතුම් දේශපාලඥයන් ආරක්‍ෂා කිරීම උන්ට අනතුරකින් තොරව රිසිසේ ගමන්බිමන් යෑමට වාතාවරණයක් සකස් කරදීම වැනි කාර්යභාරයන් පොලිසිය සිදුකළ යුතුය.

කොටින්ම පොලිසිය මේ වන විට ‘බයිට්‘ එකක් බවට පත්වී හමාරය.

සාමාන්‍ය ජනයා මෙන් නොව පාතාල මැරයෝ මේ පොලිසියේ ක්‍රියාකාරකම් මෙන්ම දේශපාලන හැසිරීම් හොඳින් අධ්‍යයනය කරමින් සිටිති. කිසිම භියකින් සැකයකින් තොරව පාතාලය මිනී මරන්න පටන්ගෙන ඇත්තේ මේ නිසාය. මේ තත්ත්වය තවදුරටත් පැවතියහොත් අපට නිදහසේ ආරක්‍ෂා සහිතව පාරේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවනු නියතය. පාතාලය හුරතල් නොකර එය මට්ටු කිරීම වර්තමාන රජයේ මෙන්ම පොලිසියේ ද වගකීම වන්නේය. එසේ නොවුණහොත් ඉදිරියේදී සමන්ත ප්‍රදීප්ලා වැනි තවත් අහිංසක නිරායුධ මිනිසුන් සිය ගණනකට ජීවිත අහිමි වනු ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment