තණතීරුව අනුව 314ක් හඹා යන්න පුළුවන් කියලා දැන ගත්තා – තරගයේ වීරයා චරිත් අසලංක

537

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පෙරේදා තරගය පැවැති තණතීරුවේ ස්වභාවය අනුව එම තරගය ජයග්‍රහණය කිරීමට හැකි බව ලකුණු හඹා යෑමට පෙරම තමන් දැන සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක ප්‍රකාශ කළේය.

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 83ක් ලබා එම තරගයේ වීරයා බවට පත් වූ චරිත් අසලංක තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ බව කීය.

ඇෆ්ගනිස්තානය එම තරගයේදී රැස් කළ ලකුණු 313 ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගොස් ජය ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට තුළදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ලද ජයග්‍රහණය බවටද වාර්තා අතරට එක් විය.

තරගය අතරතුරදී චරිත් අසලංක පාදයේ ආබාධයකට පවා ලක් වූ අතර ඉනිමේ අවසාන භාගයේදී ඔහු නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමග එක්ව නොදැවුණු ලකුණු 65ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

“ඇත්තටම මට ආබාධය ආවේ අද

ගොඩක් අව්වත් තිබුණා. පන්දු වාර 50 ක් ගොඩක් ෆීල්ඩ් එකේ දිව්වා. බැට් කරද්දීත් දසුන් අයියයි මායි හැමෝම ගොඩක් දෙකේ ඒවා ගත්තා. වෙල්ලාල ආවම මම දන්නවා එයා පොටෙන්ෂයල් ප්ලේයර් කෙනෙක් හොඳට ගහනවා කියලා. ඉතිං එයාට කිව්වා මට ඕවර් 43,44 වෙන කොට මට ගොඩක් අමාරුයි. ඉතිං මං කිව්වා ලයින් එකට විතරක් ගහලා දුවමු. ඔයා පුළුවන් තරම් ගැප් එකෙන් හතරේ ඒවා ටිකක් ගහලා දෙන්න කියලා. ඒ විදියටම වැඩේ කළා. දසුන් අයියා ඊට ඉස්සෙල්ලා හොඳ සම්බන්ධතාවයක් පැවැත්වූවා. ඒක තමයි ජයග්‍රහණය අඩිතාලම වුණේ.

පළමු තරගය පරාජය ගැන ද අසලංක එහිදී අදහස් දැක්වීය.

පළමු තරගයේදී බෝලේ දෝලනය වුණා. ඔයාලා දකින්න ඇති ඒ පිච් එකේ තණකොල ගතිය ටිකක් වැඩියි අද හැබැයි තණකොළ තිබුණේම නෑ. අපි කළින්ම දැන ගත්තා. ඉතිං අපි දසුන් එක්ක කතා කරලා කිව්වා ගහන්න පුළුවන් කියලා. අපිට හොඳ ෆ්ලැට් පිච් එකක් තියෙන්නේ. නිකන් ඕවර්ස් 50 බැට් කරමු කියලා. ඒ විදියට හොඳ කොන්ටි්‍රබි්‍රෂන් ටික හොඳට ආවා. පැතුම් කුසල් චන්දි අයියා දසුන් අයියා මම වෙල්ලාලගේ කට්ටිය එකතුවෙලා තරගය ජය ගත්තා.

පන්දු 72ක් තුළ හතරේ පහර පහක් සහ හයේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 83 ක් ලබාගත් එම ඉනිම තමාගේ හොඳම ජාත්‍යන්තර ඉනිම බවද අසලංක එහිදී සඳහන් කළේය.

අනිවාර්යයෙන්ම අද ඉනිම තමයි මං හිතන්නේ මගේ දැනට ජාත්‍යන්තර ඉනිමවලින් හොඳම එක. දුනිත් එතන ලොකු දෙයක් කළා ඔයාලා දකින්න ඇති. ලකුණු 33 ක් ඒ වෙලාවේ බෝල අඩු ගාණකට ගහනවා කියන්නේ හරි අමාරු වැඩක්. ලොකු ප්‍රෙෂර් එකක්. අනිත් එක ගොඩක් අත්දැකීම් තියෙන බෝලර්ස්ලා ඉන්නවා. මොකද ඒගොලලො ලීග් ක්‍රිකට් ගහනවා ලෝකෙ වැටේම. ඉතිං හැමෝම ඒක දන්නවා. නමුත් දුනිත් ක්‍රීඩා කළේ හොඳ එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක් විදියට. හොඳ මොරාල් එකක් තියෙනවා. මං හිතනවා දුනිත්ට හොඳ අනාගතයක් තියෙයි කියලා.

අපි කළින්ම හඳුනාගත්තා රශීඩ් ඛාන් තමයි අද දවසේ හොඳටම පන්දු යවන්නේ කියලා. ඉතිං මම එන එන අයට දසුන් අයියයි මායි දුනිත්ට කිව්වෙත් රශීඩ් ඛාන්ට විකට් නොදී ඒ ඕවරස් ටික වහමු. ඊට පස්සේ අනිත් අයට ලේසියෙන්ම ලකුණු ගහන්න පුළුවන් කියලා. අන්තිමට හොඳ පන්දුවලට අවුට් වුණා කරන්න දෙයක් නෑ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ද මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් දැක්වීය.

පළවැනි තරගය පන්දු වාර 50 ගැහුවා නම් හොඳින්ම ජයග්‍රහණය කරන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. දෙවැනි තරගයත් අවාසනාවන්ත ලෙස වැස්සට ගියා. ඉතිං අපි මොකද වරල්ඩ් කප් එකේ පොයින්ට්ස් ඉතා වැදගත් ඉතිං මේ තරගය ජයග්‍රහණය කරන මානසිකත්වයෙන් තමයි ආවේ. නමුත් මම හිතන්නේ අපි හොඳට පන්දු යැව්වේ නෑ. අපි ඊට වැඩිය හොඳ කණ්ඩායමක් පන්දු යැවීම අතින් බැලුවොතින්. ඉතිං මම හිතනවා ක්‍රෙඩිට් එක දෙන්න ඕන බැට්ස්මන්ලට. ඉතිං චරිත් ඒ වගේම කුසල් දුනිත් චන්දිමාල් ඒ කට්ටිය දායකත්වය දුන්නා. මං හිතන්නේ හොඳ තරගයක්.

අයිසීසී ලෝක කුසලාන දින තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායමට තවමත් අවස්ථාව තිබෙන බවද ශ්‍රී ලංකා නායකයා එහිදී පැවසීය.

මම හිතන්නේ අපි මැච් දෙකක් දිනන්න ඕන. අපි බලාපොරොත්ත වෙනවා ඒ තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව තරග 2 ක් දිනලා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන්න.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment