තත්පර 30 ක් පියවි ඇසින් සූර්යග්‍රහණය දෙස බලා සිටියාට හානියක් නෑ – මහාචාර්ය චන්දන ජයරත්න

290

හිරු බැස යෑමට ඉතා ආසන්නයේ හිරු රශ්මිය ඉතා අඩු තත්ත්වයක් තුළ අද (25 දා) සිදුවන සූර්යග්‍රහණය දෙස පියවි ඇසින් තත්පර 30 ක කාලයක් බලා සිටියාට ඇස්වලට හානියක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අද සිදුවන සූර්යග්‍රහණයෙන් පසු නැවතත් සූර්යග්‍රහණයක් ලංකාවට දිස්වනුයේ වසර 5කට පසු 2027 අගෝස්තු 2 වැනිදා බව ද මහාචාර්ය ජයරත්න පවසයි.

මෙරට දකුණුදිග ප්‍රදේශවලට මෙම ග්‍රහණය හොඳින් දිස්නොවන නමුත් කොළඹ නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5.43 සිට නිරීක්‍ෂණය කළ හැකි අතර උපරිම ග්‍රහණ අවධිය ප.ව. 5.49 ට සිදුවන අතර එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 1.6% ක් පමණ සුළු ප්‍රමාණයක් ආවරණය කරයි. කොළඹට හිරු බැසයෑම පස්වරු ප.ව. 5.52 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 9 ක පමණ කාලයක් කොළඹ ප්‍රදේශයට දිස්වේ.

යාපනය නගරයට අර්ධ සූර්යග්‍රහණය ප.ව. 5.27 සිට නිරීක්‍ෂණය කළ හැකි අතර උපරිම අවස්ථාව ප.ව. 5.46 ට සිදුවේ. එම අවස්ථාවේදී සූර්යයා චන්ද්‍රයාගෙන් 8.8% ක් පමණ ප්‍රමාණයක් ආවරණය කරයි. ග්‍රහණ අවසානය ප.ව. 6.20 ට සිදුවන මුත් යාපනයට හිරු බැසයෑම ප.ව. 5.49 ට සිදුවන නිසා ග්‍රහණය ඉන්පසු නොපෙනේ. මෙම ග්‍රහණය විනාඩි 22 ක පමණ කාලයක් යාපනයට දිස්වේ.

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදුවේ. එවිට සඳෙහි සෙවණැල්ල පෘථිවි පෘෂ්ටය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි. සූර්යග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment