තනතුරු බුහුමන් හමුවේ ප‍්‍රතිපත්ති පාවා නොදුන් මාදුළුවාවේ සෝභිත යතිවරයාණෝ

169

කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපතිව වැඩ විසු ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් මෙම මස 08 වන දිනට සය වසරක් සම්පුර්ණ වේ. මෙම ලිපිය උන්වහන්සේට උපහාර වශයෙන් පළ වේ.

 ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂුව සිය ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීමට වෙහෙස දරන අතරම රට ජාතිය ආගම සුරක්ෂිත කර ගැනීම උදෙසා ද පෙරමුණ ගෙන කටයුතු කළ බවට ඉතිහාසයෙහි සාධක හමුවේ. එම ශ්‍රේෂ්ඨ සඟ පරපුරෙන් පැවත ආ ඓතිහාසික වගකීම මැනවින් අවබෝධ කොට ගෙන ඒ සඳහා අප‍්‍රමාණ කැපකිරීමක් කළ ශ්‍රේෂ්ඨ යතිවරයෙකු ලෙස මීට සය වසකට පෙර අපවත් වී වදාළ අපේ මාදුළුවාවේ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වාදිය හැකිය. 1942 මැයි මස 29 වන දින කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි හා පතිරගේ දොන් පීරිස් අප්පුහාමි යන දෙමාපියන්ට පුත්ව කොළඹ දිස්ත‍්‍රික්කයේ පාදුක්ක මාදුළුවාව ග‍්‍රාමයේදී උපත ලද උන්වහන්සේ මාදුළුවාව ග‍්‍රාමය මෙරට පමණක් නොව දේශ දේශාන්තරයන්හි ප‍්‍රචලිත කිරීමට තරම් භාග්‍යවන්ත වුහ. 1955 මැයි මස 06 වන දින ශ‍්‍රී ජයවර්ධනාරාමයේදී පැවිදි දිවියට පත් වූ උන්වහන්සේ පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇසුරින් සිය පැවිදි අධ්‍යාපනය හදාළහ. 1962 ජුනි 15 වන දින කෝට්ටේ රාජමහා විහාරීය සිරි මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලද උන්වහන්සේ 1963 වර්ෂයේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුහ. එහිදී ඉතිහාසය විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලැබූ උන්වහන්සේ එම අධ්‍යයන කාලය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශිෂ්‍ය සංගමය පිහිටුවීමෙහිලා මුලික වුහ. එමෙන්ම මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය ද දරමින් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මහඟු‍ මෙහෙවරක් ඉටු කළහ.

 මුලික උපාධියෙන් අනතුරුව අධ්‍යාපන සේවයට එක් වූ උන් වහන්සේ උඩුවේ නාලන්දාරාම පිරිවෙණෙහි ආචාර්යවරයෙකු ලෙස කලක් කටයුතු කළහ.අනතුරුව සිය ගුරු පරපුරෙහි කීර්තිමත් විද්‍යාස්ථානයක් වන කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙණෙහි පරිවේණාධිපති තනතුර කලක් හොබවා ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේණාධිපතින් වහන්සේ වශයෙන් විශ‍්‍රාම ගන්නා තෙක්ම සුවිශේෂී මෙහෙවරක් කළහ. ගුරු දේවයන් වහන්සේගේ ඇවෑමෙන් කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ විහාරස්ථානය අංග සම්පුර්ණ ලෙස නිමවා ප‍්‍රදේශයට වටිනා සේවයක් කරන ස්ථානයක් බවට පත් කළහ.

 අපේ සෝභිත මාහිමියන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේටම ආවේනික වුවකි. තමන් වහන්සේ අයත් කෝට්ටේ මහා සංඝ සභාව මගින් අවස්ථා ගණනාවකදී ලබා දීමට සුදානම් වූ සියලූ‍ නායක පදවි ඉතා ගෞරවයෙන් ප‍්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට විශිෂ්ට මෙහෙවරක් කළහ. බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පරාර්ථ චර්යාව අකුරටම ක‍්‍රියාත්මක කළ උන්වහන්සේ එනිසාම විවිධ තර්ජන ,දෝෂාරෝපණ ආදියට ද නිරන්තරයෙන්ම ලක් වුහ. ජාතික සංඝ සභාව, ජාතික විර පදනම, සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැුකීමේ සංවිධානය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය ඒවාට ලබා ගනිමින් ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිලය. කිසිදාක වරප‍්‍රසාද වෙනුවෙන් තමන් වහන්සේගේ ප‍්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත් ප‍්‍රිය කළහ. කිව යුතු දෙය කිව යුත්තාට නිසි ලෙස කීමත්, අව්‍යාජ නායකත්වයත්, වරප‍්‍රසාද වෙනුවෙන් අතරමගින් සටන් අත් නොහැරීමත්, ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියත්, සුවිශේෂී පෞරුෂත්වයත්, කුමන අවස්ථාවකදී වුව ද ශ‍්‍රමණ සාරුප්‍යයට හානි නොවන ලෙස ක‍්‍රියා කිරීමත් ඉහත කී ප‍්‍රසාදයට හේතු වුහ. නායක පදවි කිසිවක් නොවූවත් උන්වහන්සේ කෙරෙහි රටේ පැවතියේ මහානායක මාහිමියන් වහන්සේ නමකටත් වඩා ගෞරවනීය හැඟීමක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

 උන්වහන්සේ හැමදාමත් සිටියේ පාලකයාගේ හෝ ආණ්ඩුවේ පැත්තේ නොව මහජනයාගේ පැත්තේය. එබැවින් සමහරු උන්වහන්සේව ප‍්‍රිය කළහ. තවත් සමහරු උන්වහන්සේව අප‍්‍රිය කළහ. කලක් රාජ්‍ය මාධ්‍ය උන්වහන්සේට තහනම් විය. මේ කිසිවක් උන්වහන්සේගේ ප‍්‍රතිපත්ති හෝ සාධාරණ විවේචන නැවැත්වීමට අසමත් වුහ.

 දුගී දුප්පත් අසරණ ජනතාවට නිතර පිහිට වූ උන්වහන්සේ යුද සමයේ රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු වෙනුවෙන් මෙන්ම සුනාමි අවස්ථාවෙහිදී එම අසරණ වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි කිරීම ආදී පහසුකම් සපයා දීමෙන් ද ඉමහත් මෙහෙවරක් ඉටු කළහ.සිංහල ජාතියත්, බුදු දහමත් වෙනුවෙන් ඉටු විය යුතු සේවාවන් අකුරටම ඉටු කළ උන්වහන්සේ සියලූ‍ රටවාසීන්ගේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු තැන්හි ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව නිර්භයව පෙනී සිටියහ.

 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථ චර්යාව සිය ජිවිතයේ ප‍්‍රමුඛතම වගකීම හා යුතුකම කර ගත් උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වන දින අපවත් වීමෙන් අප රටට, සසුනට ඇති වූ අඩුව තවත් දශක කිහිපයකටවත් සම්පුර්ණ වේදෝයි සිතිය නොහැකිය. එහෙත් උන්වහන්සේ නිරතුරුව බලාපොරොත්තු වූ යුක්තිය සාධාරණය සැමට උරුම වන දේශයක් නිර්මාණය කිරීමට අප කැප වන්නෙමු නම් එය උන්වහන්සේට දක්වන උසස්ම ගෞරවය වනු ඇත.ඒ වෙනුවෙන් ගිහි පැවිදි අප කවුරුත් එකාවන්ව කැප වෙමු.අපේ මාදුළුවාවේ සෝභිත මාහිමියෝ නිවනින් සැනසෙත්වා.

 මහියංගණයේ පඤ්ඤානන්ද හිමි
 කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති හා කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති

advertistmentadvertistment
advertistmentadvertistment