තනි අලියෙක් (A Lonely Tusker)

2459

යුද ජයග්‍රහණය උදෙසා දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂට අවසානයේදී සිදුවූයේ කුමක්ද? කෝපාග්නියෙන් දැවෙන සහෝදර ජනතාව වෙතින් පණ බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර තුළ සැඟවීමටය. ගෝල්ෆේස් පිට්ටනියේ තිබූ ‘ගෝඨා ගෝ ගම’ට පොහොට්ටු මැරයන් විසින් පහරදෙනු ලැබීමෙන් පසු මේ රටට ආණ්ඩුවක් නැති විය. පොලු මුගුරු අතින් රැගෙන
මහ මගට බට පාදඩයෝ පොදු දේපළ සහ ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තබන්නටත් කඩ කොල්ල කන්නටත් පටන් ගත්හ. මේ කිසිදු තැනක යුද හමුදාව හෝ පොලිසිය සිටියේ නැත. එසේ මහ පාරෙන් අතුරුදන් වූ යුද හමුදාව සහ පොලිසිය අදටත් ආගිය අතක් නැත. දැනටත් මහ පාරේ සිටින්නේ ඉතා අහඹු ලෙස දැකගත හැකි ට්‍රැෆික් රාළහාමි කෙනෙක් පමණි. අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් මිනිසුන්ගෙන් කුණුහරුප අසමින් පෙරලා මිනිසුන්ට කුණුහරුපෙන් බනිමින් ට්‍රැෆික් රාළහාමි ගත කරන ජීවිතය ඉතාම ශෝකජනක ජීවිතයකි. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහ පාරේදී ගුටි කෑමෙන් පසු පොලිසියේ ධුරාවලිය දෙකයි පනහට බැස්සේය. දේශබන්දු තෙන්නකෝන් ගුටි කෑවේ නිකන්ම නොවේ. ගෝල්ෆේස් ගුටි කෙළියේදී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයී යැයි ඔහුට ලොකු චෝදනාවක් තිබේ. තවමත් රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් සහ බරපතළ ගෑස් හිඟයක් පවතී. පැය 3 කරන්ට් කැපිල්ල පැය 5 ක් දක්වා දීර්ඝ වී ඇත. රුපියල් 500 ට තිබූ පරිප්පු කිලෝව අද වනවිට රුපියල් 600 කි. මෙයට තුන් මාසයකට පෙර රුපියල් 800 ක් ව තිබූ කිරි පිටි කිලෝව අද රුපියල් 2800 කි.

පසුගිය සතිය පුරාම හයිවේ එකට ඇතුල්වන වාහනවලින් මුදල් අය කිරීම සඳහා ටිකට් කවුන්ටරවල සේවකයන් සිටියේ නැත. මැයි
9 වන සඳුදා රට ගිනි තබා ස්වල්ප වේලාවක් තුළදී පාදඩ මැරයෝ හයිවේවල පාලනය සියතට ගත් බැවින් ඒවායේ ටිකට් කවුන්ටරවල සිටි නීත්‍යනුකූල සේවකයෝ දිවි බේරා ගැනීම සඳහා පලා ගියහ. එදා සිට ඉකුත් සති අන්තය දක්වාම මේ රටේ ආණ්ඩුවක් තිබුණේ නැත. සිවිල් ජන බලය ඉතා දරුණුය. සිවිල් ජන බලය තුළ බූරුවෝද කොටළුවෝද සිටිති. මේ තිරිසනුන් පස්සා කකුල් වලින් පයින් ගහන විට පහර කන එකාගේ ඇට කටු බිඳී යයි. එහෙත් ගහන එකා බූරුවකු හෝ කොටලුවකු නිසා ඌට විරුද්ධව නෛතික ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැක. රනිල් වික්‍රමසිංහ හය වෙනි වරටත් මේ රටේ අගමැති වන්නේ මෙවැනි දුර්දාන්ත සමයකදීය. සමහරවිට ලංකා ඉතිහාසයේ ලොකුම දුර්දාන්ත සමයේදී රට භාරගත් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසයට එක්වනවා ඇත. රනිල් අගමැති වූ සැණින් ඇමරිකන් තානාපතිනිය ඔහුට සහාය පළ කරමින් නිවේදනයක් නිකුත් කළාය. ඇමරිකන් තානාපතිනිය යනු ඇමරිකාවේ නියෝජිතයාය. ඇය රනිල් ට සහාය දෙනවා යැයි කියන්නේ ඇමරිකාව රනිල් ට සහාය දෙන බවය. එම නිවේදනයෙන් ස්වල්ප වේලාවකට පසු සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ තමන් හෝ සජබ රනිල්ට කිසිදු සහායක් නොදෙන බවය. සමහරවිට රංජිත් මද්දුමබණ්ඩාර මේ විහිළුව කරන්නට ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමට අනුව විය යුතුය.

රනිල්ට අගමැතිකම භාර දීමට පෙර එම තනතුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය සමගි ජන බලවේගයෙන් ඉල්ලා සිටියේය. එවිට සජිත් කිව්වේ ජනාධිපති අස්වෙනවා නම් අගමැතිකම භාරගන්නා බවය. එහෙත් අන්තිමේදී අගමැති තනතුරේ රනිල් දිවුරුම් දෙන විට එම තනතුර භාර ගැනීමට කැමති බව කියමින් සජිත් ජනාධිපතිට ලිපියක් යැවීය. මේ වනවිට අගමැති කෝච්චිය පිටත් වී අවසන්ය. එය කොටුවේ දුම්රිය පළෙන් පිටත් වී මහනුවරත් පසුකරගෙන ඉදිරියට යමින් තිබිණ. අගමැති පත් කිරීම ජනාධිපතිගේ අභිමතයයි. ඒ අගමැති පාර්ලිමේන්තුව තුළදී බහුතරය පෙන්වීම වෙනම කාරණයකි. අපගේ අවංක හිත මිතුරා වූ තිස්ස අත්තනායක යන හැම පැත්තක්ම අවසන් මොහොතේදී පරාජයට පත්වීම ඔහුගේ වරදක් නොවේ. එය ක්‍රමයේ වරදය.

ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ රටකට ඉතා ප්‍රයෝජනවත් ධනවාදියෙකි. ඉන්දියාව, ජපානය, ඇමරිකාව ඇතුළු අතේ සල්ලි තියෙන රටවල් ඔහු සමග කිට්ටුවෙන් ගනුදෙනු කරයි. පාර්ලිමේන්තුව තුළදී තවමත් තනි අලියෙක් වන නමුදු ජාත්‍යන්තරයේදී රනිල් ශක්තිමත් ඇත් හමුදාවක සාමාජිකයෙකි. මේ වෙලාවේදී මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාව වන්නේ බඩට කෑමත්, කරන්ට් එකත් පෙට්‍රල් සහ ඩීසල් ටිකත් ගෑස් සිලින්ඩරයත්ය. මේවා නැතිව ආලපාළු වී සිටින මේ රටේ ජනතාවගේ චිත්ත ධෛර්යය හයිවේ එකේ යන ලොරියකට යටවුණු Cavendish කෙහෙල් ගෙඩියක් මෙන් සමතලා වී ගොස් තිබේ. අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛත්වය දිය යුත්තේ මධ්‍යම හයිවේ එකේ ඉතිරි ටික නිම කිරීමට හෝ කොළඹ හදන ගොඩනැඟිලිවලට සිමෙන්ති ගෙනත් දීමට නොව මේ රටේ ජන සමාජය පෙලන මූලික අවශ්‍යතා සම්පූර්ණ කර දීමටය. මේ වනවිට කළු කඩේ ඩොලර් එකක් රුපියල් 400 කි. බැංකුවේ මිල රුපියල් 365 කි. මේ ආර්ථිකයට එකවර ඩොලර් බිලියන 5 ක් පොම්ප කිරීමට ජාත්‍යන්තරය පොලඹවා ගැනීමට හැකිනම් ඩොලරය රුපියල් 250 ට බැස්සවිය හැකිය. මේ මොහොතේදී විපක්ෂයේ ලොකුම ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරය කෙසේ පෙන්වන්නේ ද යන්නය. බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ
බලාගන්නවා ඇත. විපක්ෂයේ යුතුකම වන්නේ මිස් වුණු අගමැති කෝච්චිය ගැන කල්පනා කරමින් සිටීම නොව හැකි ආකාරයෙන් රට ගොඩගැනීමට උදව් කිරීමය. පාර්ලිමේන්තු බහුතරය මගින් ජනතාවගේ බඩ නොපිරේ. ජනතාවගේ බඩ පිරෙන්නේ රටට ඩොලර් ඇවිත් මිනිසුන් අතට සල්ලි ආවොත් පමණි. රට නැවතත් සංවිධානය වූ පසු වහාම මැතිවරණයකට යෑම ආණ්ඩුවේ වගකීමය. රනිල් වික්‍රමසිංහට මෙවර ලැබුණු අගමැතිකම ඉතාම වාසිදායක අගමැතිකමකි. ඒ සඳහා මැතිවරණයකට යෑමට ඔහුට වුවමනා වූයේ නැත. ඒ නිසා මේ අගමැතිකම තුළ ඡන්ද පොරොන්දු ද නැත. රටට යහපත් යමක් කිරීමට මේ තනි අලියාට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. එය කර ගැනීමට බැරි වුණොත් ගෝල්ෆේස් කට්ටිය පැමිණ මේ තනි අලියාගේ හොඬවැල කපාගෙන යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment