තමන් සතු විශාලතම මිසයිලය අත්හදා බැලූ බව  උතුරු කොරියාව පිළිගනී

507

තමන් සතුව ඇති භාවිතය තහනම් කරන ලද විශාලතම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය (ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්) පෙරේදා (24දා) දිනයේ සාර්ථක අයුරින් අත්හදා බැලූ බව උතුරු කොරියාව විසින් ඊයේ (25දා) නිල වශයෙන් නිවේදනය කළේය. උතුරු කොරියාව විසින් තමන් සතුව පවතින අදාළ බැලිස්ටික් මිසයිලය 2017 වසරෙන් පසු අත්හදා බලා ඇත්තේ ප‍්‍රථම වරටය.

ඇමරිකා එක්සත් ජනපදය වෙත පවා යැවිය හැකි දිගු දුරක් ගමන් කරන නගර විනාශ කිරීමට සමත් මෙම බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීම උතුරු කොරියාවට තහනම් කර ඇති අතර එම තහනම නොතකා එම මිසයිලය අත්හදා බැලීම සම්බන්ධයෙන් එරටට එරෙහිව තහංචි පැනවීමට ද ලෝක බලවතුන් විසින් පියවර ගෙන තිබිණි. පෙරේදා අත්හදා බලා ඇති ‘හ්වාසෝන්ග් -17 අයි සී බී එම්’ බැලිස්ටික් මිසයිලය මෙයට පෙර එරට විසින් අත්හදා බලා ඇති එම වර්ගයේ බැලිස්ටික් මිසයිලයන්ට වඩා වැඩි උසකින් ගමන් කර ඇති අතර වැඩි දුරක් ගොස් ඇති බව අනාවරණය වී තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් මෙම මිසයිලය දියත් කිරීමේ අවස්ථාව පුද්ගලිකව අධීක්ෂණය කර එම කටයුතුවලට මගපෙන්වා ඇති බවත් ඔහු එසේ කර ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව උතුරු කොරියාවේ න්‍යෂ්ටික විරෝධය පළ කිරීමට බව එරට රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ. මේ අතර අත්හදාබැලීම තහනම් කර ඇති බැලිස්ටික් මිසයිලය එම තහනම නොතකමින් දියත් කිරීම සම්බන්ධයෙන් එම ක‍්‍රියාවලියට අනුබල දුන් උතුරු කොරියානු ව්‍යාපෘතියකට හා රුසියානු ව්‍යාපෘති දෙකකට මෙන්ම උතුරු කොරියානු හා රුසියානු පුද්ගලයන් දෙදෙනකුට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් පියවර ගෙන තිබේ.

මේ යටතේ රුසියානු ව්‍යාපෘතීන් වන ‘ආර්ඩිස් කණ්ඩායම’ හා ‘පීඑෆ්කේ’ යන ව්‍යාපෘතීන්ට හා උතුරු කොරියාවේ විදේශ කටයුතු කාර්යාංශයේ ස්වභාවික විද්‍යාවන් පිළිබඳ දෙවැනි ඇකඩමිය යන ආයතනවලට හා රුසියානු ජාතික ඉගොර් ඇලෙක්සැන්ඩ්‍රෝවිච් මිචුරින්ට හා උතුරු කොරියානු ජාතික රි සුන්ග් චොල් හට එරෙහිව මෙසේ සම්බාධක පනවා ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment