තම නිවස තුළ තරුණ තරුණියන් 600ක් මරා වළ දැමූ ඉතිහාසයේ බිහිසුණුම කාන්තාව එළිසබෙත් බාතෝරිය

771

මේ වර්ෂ 1600යේ පළමුවැනි දශකයේ එක්තරා දිනයකි. හංගේරියාවේ එක්තරා මහා මන්දිරයකට අයත් භූමි භාගයකට සුවිශාල අශ්ව කරත්තයක් ඇතුල් වෙමින් තිබිණි. එය පිරී තිබුණේ ප්‍රීතියෙන් සහ විමතියෙන් පිරුනු මුහුණු වලින් යුත් යෞවන යෞවනියන්ගෙනි. නුදුරින් පෙනෙන දැවැන්ත ප්‍රාසාදයේ සේවය පිණිස ඉතාමත් ඈත ප්‍රත්‍යන්ත වලින් බඳවා ගත් මෙම පිරිසට නොසිතූ විරූ තරම් ඉහළ වැටුපක්ද, තවත් නොයෙකුත් වරප්‍රසාද ද හිමිවන බවට ඔවුන්ව කැඳවාගෙන ආ මන්දිරයේ නියෝජිතයෝ ප්‍රතිඥා දී තිබුණහ.

ඉහළ මාලයක කවුළුවක් අසල සිටි මන්දිරයේ අධිපතිනිය වූ එලිසබෙත් බාතරී සිටුවරිය මුහුණට නැගී ආ තෘප්තිමත් මදහසකින් යුතුව මේ දෙස බලා සිටියේ තමන්ගේ උත්සාහය සාර්ථක වීම ගැන උපන් සංතෝෂය නිසා යයි කෙනෙකුට සිතිය හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම ඇයගේ දෙඇසින් පිළිබිඹුව තිබුණේ සාගතයකට මුහුණ දුන් බඩගිනිකාරියකට රස මසවුලෙන් පිරුණ උණුසුම් අහර බඳුනක් දැකීම නිසා ඇති වන ආකාරයේ කෑදර මනෝභාවයකි.

ඒ මොහොතේ සිට වැඩි කාලයක් ගත වූයේ නැත.

දෙවන දිනයේ රාත්‍රිය උදාවෙත්ම ඉන් එක් තරුණියක් නිරුවත් කරනු ලැබ සිටුවරිය ඉදිරියේ වූ කණුවක ගැට ගසනු ලැබුවාය. ඇයගේ නිරුවත් සිරුර දෙස මඳ වේලාවක් තොල කට ලෙවකමින් බලා සිටි සිටුවරිය, එක්වරම ඉදිරියට පැන තරුණියගේ පියයුරක් සපා කනු ලැබුවේ ඉන් කොටසක් සිය මුවෙන් කඩා ගනිමිනි. එම ලේ වැකි උණුසුම් මාංශය හප කර ගිල දැමූ ඇය රුධිරයෙන් නැහැවී විලාප නගමින් සිටි තරුණියගේ අනික් පියවුර ද සපා කෑවේ එයින් කොටසක් ද මුව තුළට එන පරිද්දෙනි. යුවතියගේ ළැමදින් ගලා ආ රුධිර ධාරා එම කුටිය ලේ විලක් බවට පත් කරද්දී මුවට ගත් මාංශය තලු මරමින් අසුනක වාඩිගත් බාතරී සිටුවරිය වධක ස්ත්‍රියට තව අණක් නිකුත් කළාය. ඒ අනුව තරුණියගේ මුව උඩට සිටිනසේ හිසෙන් අල්ලා ගත් ඇය අසල වූ උඳුනක් මත බුබුළු දමමින් පැසුණු ලෝ දිය බඳුනක් ගෙන අසරණ තරුණියගේ මුවට ඇල කළාය. සිය අසීමිත වේදනාව පහ කර ගැනීම පිණිස විලාපයක් හෝ නගාගත නොහැකි වූ තරුණිය, මනුෂ්‍යත්වය ඉක්මවූ වේගයකින් තත්පර කිහිපයක් තිස්සේ අතපය ගසා දමා සදහටම නිශ්චල වූවාය.

රුධිරයෙන් පෙගුණු දෙතොලෙහි තෘප්තිමත් මන්දස්මිතයක් නගාගත් සිටුවරිය ඉවතට පියමං කරනු ලැබුවේ එකී තරුණිය මෙලොව හැර ගිය බව නිශ්චිතවම දැන ගැනීමෙන් අනතුරුවය. තරුණියගේ මළ සිරුර ඉවතට රැගෙන ගිය බාතරී මැඳුරේ වධකයෝ, මීට පෙර එවැනි ඉරණමකට මුහුණ දුන් තවත් බොහෝ දෙනෙකු අතරේ සැතපෙනු පිණිස ඇයව ද එම මළ සිරුරු අසලින්ම වළ දමනු ලැබූහ.

ඒ ආකාරයට පෙර කී අශ්ව රථයෙන් රැගෙන ආ සියලු තරුණ තරුණියන්ට සිදු වූයේ සිටුවරියගේ අතිශයින් බිහිසුණු විකෘති වූ මානසිකත්වයට තෘප්තියක් ලබාදෙන අයුරින් මන්දිරය තුළ විවිධාකාර වධ වේදනාවන්ට ලක්ව මිය පරලොව යෑමටය.

ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ කෲරතම ගැහැනිය සේ සැලකෙන එලිසබත් බාතරී සිටුවරිය පිළිබඳ බිහිසුණු වෘතාන්තය අපට ආරම්භ කරන්නට සිදු වන්නේ ඒ ආකාරයෙනි. මන්ද යත් මෙවැනි සිද්ධියකින්ම ඇයගේ චරිතාපදානය ගැන වටහා ගන්නට ඔබට ඉඩ හරිනවා විනා, භාෂාවේ වදන් වලින් ඇයගේ කෲරත්වය පිළිබඳව නිර්වචනය කළ නොහැකි තරමටම මැය ඉතා බිහිසුණු ගැහැනියක වූ බැවිනි.

ඔබට ඇය පිළිබඳව තවදුරටත් වටහා ගැනීමට අවශ්‍ය නම් මෙය කියවූ පසු එක්වරම සිහියට නැගෙන සිනමා නිර්මාණයක් තිබේ. ඒ අසූවේ දශකයේ මැද භාගයේදී මාලිගාවත්ත රූබි සිනමා හලෙහි තිරගත වූ, කවුන්ටෙස් ඩ්‍රැකියුලා නම් චිත්‍රපටයයි. එය මෙම එලිසබත් බාතරිගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද්දකි. මේ හැරුණු කල ඇය පිළිබඳව සම්පූර්ණ විස්තර ඇතුළත් පැයකට ආසන්න ඉතා හොඳ වාර්තා චිත්‍රපටයක් ද අන්තර් ජාලයට පිවිසීමෙන් ඔබට දැක ගත හැකිය.

(මෙය අවශ්‍ය නම් බ්ලර්බ් එක සඳහා ගත හැකිය)

තම නිවස තුළ තරුණ තරුණියන් 600ක් මරා වළ දැමූ ඉතිහාසයේ බිහිසුණුම කාන්තාව එළිසබෙත් බාතෝරිය

ලෝක ඉතිහාසයේ භයානකම ගැහැනිය ලෙස විරුදාවලිය ලත් බාතරි සිටුවරිය, ලොව භයානකම මිනිසා ලෙස සැලකෙන රුමේනියාවේ ඩ්‍රැකියුලා ආධිපාදවරයාගේ ඥාතිවරියක වීමද මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කරුණක. නමුත් සංසන්දනාත්මකව බැලූ කල බාතරි සිටුවරියගේ කෲරකම් ඉදිරියේ ඩ්‍රැකියුලාගේ භීෂණය කෝම්පිට්ටු සෙල්ලමක් වැනි යැයි ඇය පිළිබඳව පසු කලෙක සෙවුම් බැලුම්වල යෙදුණු ගවේෂකයෝ පැවසූහ.

කෲරකම් අතින් මෙන්ම වංශවත් භාවයෙන් ද ධනයෙන් සහ බලයෙන්ද ඉහළම මට්ටමේ පවුලක උපත ලැබූ ඇය එවකට පෝලන්තයේ කිරුළ දැරූ රජතුමාගේ ලේලියක වීමද, ඇයගේ දුෂ්ටකම්වලට එරෙහිව කිසිවකුත් නැගී නොසිටීමට හේතුවක් විය.

1560 අගෝස්තු මාසයේ 7 වැනිදා හංගේරියාවේ උපත ලද ඇය වයස අවුරුදු එකොළහ වන විටද හොඳින් වැඩුණු අඟපසඟකින් යුතු දැරියක වූවාය. නඩාෂි නම් තරුණයෙකු සමඟ ළා බාල වියේදීම විවාහ ගිවිස ගත් ඇය තමාට අවුරුදු පහළොව සපිරුණු 1575 දී ඔහු සමඟ විවාහ දිවියට ඇතුළත් වූවාය.

මෙම විවාහය ඔවුන්ගේ ධනවත් රදළ පසුබිමට අත්‍යන්තයෙන්ම ගැලපෙන පරිදි අතිඋත්කර්ෂවත් එකක් වූ අතර, ඒ සඳහා අමුත්තන් 4500 ක් පමණ සහභාගී වි ඇත. මෙම විවාහයට ප්‍රථම ඇය වෙනත් පුරුෂයකු හා ඇති කරගත් සම්බන්ධතාවයකින් දරුවෙකු බිහිකර තිබෙන බවද ඇය පිළිබඳව කියවෙන අප්‍රකට තොරතුරුවල සඳහන් තවත් කථාවකි. එම දරුවා ගැන කිසිදු තොරතුරක් ඉතිහාස වාර්තාවල සඳහන් නොවේ. නමුත් මෙම විවාහයෙන් වසර දහයකට පසු එනම් 1585 දී ඇය සිය ප්‍රථම දරුවා බිහිකළ බව වාර්තා වේ. ඉන් අනතුරුව ගෙවී ගිය වසර කිහිපය තුළ පිට පිටම වාගේ ඇයට තවත් දරුවන් තිදෙනෙකු ලැබුණු අතර, ඉන් දෙදෙනෙකු මියගොස් ඇත. ඇයට ලැබුණු දරුවන් අතරින් ජීවතුන් අතර සිටියේ දියණියක සහ පුතකු පමණි.

පාරම්පරිකව හිමි වූ වගාබිම් අක්කර දහස් ගණනක් ඇයට අයිතිව තිබූ අතර, ඉන් වැඩි ප්‍රමාණයක පාලන කටයුතු වල අධිකාරී බලය ඈ තමා සතුව තබා ගත්තාය. කීකරු ස්වාමිපුරුෂයෙකු වූ නඩාෂිද ප්‍රශ්න කිරීමකින් තොරවම තම උපරිම සහයෝගය ඇයට ලබා දුන් අතර, තීරණ ගැනීමේ අයිතිය ඇය ළඟම තබා ගැනීමටද ඉඩ දී තිබිණි.

හදිසි අසනීප තත්ත්වයක් හේතු කොට ගෙන නඩාෂි 1604 දී මියගිය අතර, එතැන් සිට සියලු වතුපිටි පාලනය කිරීමේ තනි අයිතිය සිටුවරිය මත පැවරිණි. මේවායේ වැඩ කටයුතු සඳහා සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් යොදවා සිටි අතර, ඇය විසින් ඔවුන් පාලනය කරනු ලැබුවේ හිත්පිත් නැති ආකාරයෙනි. බොහෝ අවස්ථාවල ඔවුන් අතින් සිදු වූ ඉතා සුළු වැරදි වලට පවා ඇය විසින් බරපතළ දඬුවම් ලබා දෙනු ලැබිණි. මේ නිසා සේවකයන් සහ පරිපාලනය අතර දිනෙන් දින ගැටුම් වර්ධනය වූ අතර ඒ නිසාම ඇයගේ කෲරත්වය වඩ වඩාත් ඔවුන් කෙරෙහි යොමු වෙන්නට විය. කොහොමටත් දරුණු කාන්තාවක වූ ඇයගේ කෲරකම් වඩ වඩාත් ඉස්මතු වීම උදෙසා අනපේක්ෂිත ලෙස වැන්දඹුවක් වීමද හේතුවක් වී තිබිණි.

මූලික වශයෙන් ළාබාල තරුණයන් ඇයගේ කෲරකම් වලට වැඩිපුර ගොදුරු වූ අතර ඔවුන් විවිධ වධහිංසා වලට ලක්කර වේදනා විදිනු බලා ඇය මහත් සතුටක් ලැබුවාය.

කාලයත් සමඟ සිදුවූ භයානකම තත්ත්වය නම් තරුණ තරුණියන්ට වධ හිංසා කිරීම සඳහා ඇයට හේතුවක් අවශ්‍ය නොවීමය. ඔවුනට වධ දීමට ඇයට අවශ්‍ය වූයේ සිය විකෘති මානසිකත්වය තෘප්තිමත් කර ගැනීම සඳහාය. ඒ හේතුකොට සිය මන්දිරය තුළ ඇය විසින් වධකාගාරයක්ද නිර්මාණය කරවනු ලැබුවාය. එහි සේවය පිණිස වධකයන් මෙන්ම වධක කාන්තාවන්ද යොදවා ගනු ලැබිණි.

මෙම වධහිංසා සඳහා ඇය විසින් ගනු ලැබුවේ අවුරුදු 15-20 අතරේ තරුණයන් වූ අතර පණ පිටින් සිටියදීම ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් පුළුස්සා දැමීමට ඇය පෙළඹී සිටියාය. එමෙන්ම නිරුවත් කොට අත් පා බඳිනු ලැබූ තරුණයන්ගේ සිරුරු වල මී පැණි ආලේප කොට කුහුඹු ගුල් අසල තැබීමත්, ඔවුන් වෙත බඹරුන් මුදා හැරීමත් ඇය ඉතා ප්‍රිය කළ විනෝදාංශයක් වූ බව පසුව අත්අඩංගුවට ගත් ඇයගේ වධකයන් පවසා තිබිණ.

එසේම තවත් එක් සේවිකාවක් පවසා තිබුණේ තරුණයන්ගේ තොල් දැළි පිහිවලින් කපා දමන ලෙස සිටුවරිය තමාට අණ කළ බවය.

මීට අමතරව නිරුවත් කරන ලද ලාබාල තරුණයන් අත් පා බැඳ හිම මතට ඇද දමනු ලැබීමත්, මිය යනතුරු අඳුරු කාමර තුළ දමා නිරාහාරව තැබීමත් වැනි සාමාන්‍ය වධ හිංසා ඇයව තෘප්තිමත් කිරීමට සමත් නොවූ බව ද වධකයන් විසින් පවසා තිබිණි. මේ නිසා පණ පිටින් සිටියදීම ඔවුන්ගේ අත් පා ගැලවීම, විවිධ ඉන්ද්‍රියන් තියුණු ආයුධ වලින් කපා පිටතට ගැනීම ආදියෙන්ද, ඒ අවස්ථාවල ඔවුන් නැගූ මර ලතෝනියෙන්ද ඇය මහත් කෲර සතුටක් ලැබුවාය.

පසු දිනක පාපොච්චාරණයේ යෙදුණු සේවිකාවක් පැවසූ පරිදි ඇය තරුණියන්ගේ පියයුරු සපා කෑමෙන් නොනැවතී මිනී මස් අනුභවයටද හුරුවී සිටි බව පැවසේ.

මේ අතර සිටු මැඳුරේ භීෂණය පිළිබඳව ප්‍රදේශය පුරා කට කතා පැතිර යන්නට පටන් ගත් අතර එහි සේවය සඳහා තරුණ තරුණියන් සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් වූයේය. අප මෙහි ආරම්භයේදී සඳහන් කළ ආකාරයට අශ්ව රථ යවා පිට පළාත්වලින් තරුණ තරුණයන් රැගෙන එන්නට ඇයට සිදුවූයේ එහෙයිනි. එසේම ඇය සංචාරයක නිරත වන්නේ නම් ඒ ප්‍රදේශයේ තරුණ තරුණයන් සඟවා තබන්නටද දෙමව්පියෝ කටයුතු යෙදූහ.

ඇය පිළිබඳ තත්ත්වය මෙසේ ප්‍රචාරය වී තිබුණද ඇය වැනි රජ පවුලකට සම්බන්ධ බලවන්තියකට එරෙහිව නැගී සිටින්නට සමත් කිසිවෙකු එරට තුළ සිටියේ නැත.

ඇයට එරෙහිව ප්‍රථම වරට පහර දීමේ චෝදනාවක් එල්ල වී තිබෙන්නේ 1604 දීය. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු නෛතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කෙරුණේ නැත. එසේ වුවද එවකට හංගේරියාවේ ආරක්ෂක අංශවල සිටි තරුණ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව නොනවත්වා සිය දැඩි අවධානය යොමු කරන ලදුව ඊට වසර හයකට පසු 1610 දී බාතරී සිටුවරියට එරෙහිව ප්‍රථම වරට ඝාතන චෝදනාවක් ගොනු කළහ. ඒ සමඟම ඇය පිළිබඳව වූ සොයා බැලීම්ද වඩාත් තිව්‍ර කෙරිණි.

මේ ආකාරයට ඉතා සියුම් ලෙස ප්‍රබල සාක්ෂි ගණනාවක් එක් රැස් කර ගත් ආරක්ෂක අංශ අවසානයේ පුරා විසි වසරක් තිස්සේ මෙම දැවැන්ත මන්දිරය තුළ පැවැති ම්ලේච්ඡ භීෂණයට තිත තබන්නට සමත් වූහ.

අත්අඩංගුවට ගන්නා ලද සේවක සේවිකාවන්ගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කළ පරීක්ෂා කිරීම් වලදී සිටු මැඳුර පිටුපස භූමි භාගයේ වළ දමා තිබූ මළ සිරුරු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි විය. එක් සේවකයෙකු පවසා තිබුණේ මළ සිරුරු 200 ක පමණ ප්‍රමාණයක් මන්දිරයෙන් එළියට රැගෙන යෑමට තමා හවුල් වූ බවය. තවත් සේවිකාවක් පැවසූ පරිදි ඇය සිටුවරියගේ ඝාතන 50 කට පමණ අත්උදව්කාරියක් වී තිබේ. මෙම පරීක්ෂණවලදී බාතරී සිටුවරිය විසින් පවත්වාගෙන ගිය තමා විසින් ඝාතනය කළ පිරිසේ නම් 600 කට අධික ලැයිස්තුවක්ද පරීක්ෂකයන්ට හමුවී තිබේ. සිටුවරිය විසින් මෙතරම් ජීවිත ප්‍රමාණයක් විනාශ කර තිබියදී පවා ඇයට විරුද්ධව චෝදනා එල්ල කරන්නට හැකි වූයේ ඝාතන 80 ක් වෙනුවෙනි. ඇයට විරුද්ධව ප්‍රබල සාක්ෂි 300 කට අධික ප්‍රමාණයක් එක්රැස් කර ගන්නා ලද නමුත් නඩු විභාගය අවසානයේ මරණ දණ්ඩනය හිමි වූයේ එක් සේවකයෙකුට සහ සේවිකාවන් සිව් දෙනෙකුට පමණි. සිටුවරියට ලැබුණ එකම දඬුවම වූයේ ඇගේම මන්දිරයේ හුදෙකලා කොට තැබීමය.

මේ ආකාරයට ලෝක ඉතිහාසයේ තමා විසින්ම පවත්වාගෙන ගිය වධකාගාරයක සිය ගණනක් තරුණ තරුණියන් මරුට බිළිකළ එළිසබෙත් බාතරී තමාට වයස අවරුදු 54 ක් වෙද්දී, එනම් 1614 වසරේ එක් දිනක තම නාන කාමරය තුළදීම දිවි නසා ගත්තාය.

දැන් මේ මොහොත වන විට මිනීමරු එළිසබෙත් බාතරී සිටුවරියගේ මන්දිරයද රුමේනියාවේ ඩ්‍රැකියුලා සිටු මැඳුර මෙන් සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් බවට පත්ව තිබේ.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment