තම නිවස මුද්‍රණාලයක් කරගත් මලල්ගොඩ කවියා

488

මලල්ගොඩ කවියා විසූ එම ස්ථානයේ ලිපිනය ‘කවිය’ පිළියන්දල විය, එහි පැවති මුද්‍රණාලය කවිය මුද්‍රණාලය යි. එහි මුද්‍රණය වූයේ කවිය පුවත්පත යි.

ඊළඟ කවිය කලාපය නිකුත් කිරීමට පිළියන්දල කවිය මුද්‍රණාලය සැරසෙයි. සංස්කාරක පී. මලල්ගොඩ මහතා කවි කිවිඳියන් එවූ සිය ගණන් කවි වැල් අතුරින් පළ කිරීමට කවි තෝරා ගනී. ඊළ`ග කලාප සඳහා වෙන් කරයි. වැඩ ගොඩකි. මෙම කුඩා මුද්‍රණාලය පැවතියේ සංස්කාරක මලල්ගොඩ කවියාගේ නිවසේ ම ය.

පී. මලල්ගොඩ මහතා සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ලේකම් ලෙසින් සම්මේලනයේ වාර්ෂික උළෙලදා ‘කාව්‍ය මංජරී’ නමින් සඟරාවක් සංස්කරණය කරන ලදී. පසුව 1975 වසරේ දී මාසිකව පලවන ‘කවිය’ පුවත්පත ආරම්භ කළේය. එහිදී කවි සම්මේලනයේ මූලික අරමුණු වූ ජාතික සටන් වලට හා අලූත් කවි කාරයන්ට, හොඳ කවිවලට තැනක් තනාදීම තාත්තාගේ වුවමනාව වූ බව ‘කවිය’ මුල් කලාපයෙන්ම පෙන්වයි.

ලො බ බැඳ දැයෙහි දියුණුව වෙත නව නැම්මේ
නි බ යව සතුරු සෙන් පලවා හැර පිම්මේ
ඔ බ රැකවරණයට පෙම්බර ලක් අම්මේ
සු බ මොහොතින් බැඳෙති කවියෝ එක බැම්මේ

යන් තම් හෝ ඇතොත් අබ මල් රොනක සැකක්
දැන් දුරු කළ යුතු ය සැළකර සිටිමු එකක්
මින් පසු නොදෙමු සිහිනෙන් වත් ඔබට දුකක්
අම් මේ, සිහළ කවින ගෙ නෑ වචන දෙකක්

වෙනදාට කවි සමුළු උළෙලවලදී හමු වූ කවියෝ නිතර අප නිවසේදීම දැකගත හැකි කාලයක් උදාවිණි. ඔවුනතුරින් මට මතක ඇති නම් කීපයක් මෙසේ සඳහන් කරමි.

ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා, මීදෙනියේ විමලානන්ද හිමි, දෙහිවල ලයනල් ප‍්‍රනාන්දු, මානෙල් පෙරේරා, හොලඹලෑවේ කුමාරසිරි බණ්ඩාරනායක, ටියුඩර් වීරරත්න, අබේරත්න දේවමුල්ල, ඊ. එම්. ජී. ඩයස්, විල්සන් කුරුප්පුආරච්චි, දයාරත්න රණේපුර, පණ්ඩිත පේ‍්‍රමදාස, බෝපිටියේ ආරියතිලක, ජෝන් රාජදාස, මාකඳුරේ ගුණවර්ධන, කඹුරුපිටියේ පා`ඩිප්පෙරුම, රජ්ගම බන්දුසේන, චූල ශ‍්‍රී මලවිගේ, ධනපාල නිශ්ශංක, කඩවැද්දුවේ පීටර් පෙරේරා, ආ.දෝ. චන්ද්‍රසේකර, සිරිමතී සේනාරත්න, රංජිත් සිරිවර්ධන, යූ. ඒ. ඇස්. පෙරේරා, බිංගිරියේ විජය කුමාර, බඹරකොටුවේ සුධර්ම සෙනවිරත්න, පණීභාරත, උපනන්ද බටුගෙදර, බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා, මදුරසිංහ ගුණතිලක, කලහේ කුමාරදාස ලියනගේ, ටියුඩර් පේ‍්‍රමචන්ද්‍ර, සේනක චන්ද්‍රසේන, කල්‍යාණි හේරත් මැණිකේ, දාරළුවේ ගුණරත්න, ගොළුවාමුල්ලේ විමලසේන, පත්තලගෙදර ගුණරත්න, කැස්බෑවේ කේ. විජයසිරි, ධර්ම ශ‍්‍රී රණවක, පෙඞ්රික් කුරුප්පුආරච්චි, ඇල්බට් ප‍්‍රනන්දු, හෙන්රි ධර්මසේන, රයිසන් දෙනියාය, සෝමා හපුගොඩ, දයාරත්න කුමාරසිංහ, ගම්මන චන්දානන්ද හිමි, සිරිලාල් කොඩිකාර, මඩපාත ඞී. එස්. ආටිගල, විමලේන්ද්‍ර වතුරේගම, කාලෝ ෆොන්සේකා, බැන්ටිස් රණවීර, වජිර පැල්පිට, කලල්ඇල්ලේ ලියනගේ ගුණවර්ධන, විමල් අභයසුන්දර, හොරණ ඞී. ඒ. කුමාරසිංහ, පියදාස සිරිවර්ධන, බටුවන්දර ගුණවර්ධන, උඩුගම්පොල සමරතුංග, පත්තලගෙදර ගුණරත්න, වල්ගම සෝමතිලක, නිකපේ විල්බට් පෙරේරා, ඩෝල්ටන් අල්විස්, පියසේන රතුවිතාන.

තම නිවස මුද්‍රණාලයක් කරගත් මලල්ගොඩ කවියා

කවිය පුවත්පත ආරම්භ කළ වසරේම රත්නපුරේ දී සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය පැවැත් විය. මෙහිදී සිදු කළ විශේෂ ඓතිහාසික කටයුත්ත වූයේ සමුළුව වෙනුවෙන් පිටු 100කින් යුත් ‘කවිය’ කලාපයක් නිකුත් කිරීමයි. අතින් අකුරු අමුණා ලෙටර් ප්‍රෙස් යන්ත‍්‍රවලින් මෙවැනි කටයුත්තක් 1975 වැනි යුගයක සිදුකිරීම විශ්වකර්ම වැඩක් විය. මුද්‍රණයටත් පෙර විශාල පිටපත් ප‍්‍රමාණයක් ඇණවුම් ලැබුණ මේ පුවත්පත නිකුත් කිරීම විශාල කටයුත්තක් විය. මුද්‍රණය කළ පිටු එකතු කොට පුවත් පත පිළියෙළ කිරීම මාගේ පාසල් මිතුරන් 15ක පමණ කණ්ඩායමක් විසින් දින දෙකක් තිස්සේ රෑ පහන් කොට ඉටු කරන ලදී. මේ මිතුරන්ගෙන් කීප දෙනෙක්ම දැනට ජීවතුන් අතර නොමැති බව සිහි පත් කරන්නේ කනගාටුවෙනි.

මෙහි එකම විශේෂත්වය පිටු 100 ක් පැවතීම පමණක්ම නොවේ. කවි කිවිඳියන්ගේ රචනා 380 කට අධික ප‍්‍රමාණයක් ඇතුළත්ව මුළු කවි 4000 කින් පමණ සමන්විත වීමයි. එ පමණක් ද නොවේ සියලූ කවි සඳැස් කවි වූ අතර වියරණ ආදී සියලූ රීතීන්ට අනුකූල වූ කවි වීමයි. කවිය පුවත්පත ඇසුරින් ගොඩනැගුණු මෙම ප‍්‍රබෝධය මත ප‍්‍රවීණ හා නවක කවි කිවිදියෝ කීපපොලක්ම සිය රචනා ඇතුළත් කවි පොත් මුද්‍රණද්වාරයෙන් නිකුත් කළ අතර මේවාට හැම අතින්ම සහය දීම එතුමා අතින් සිදුවිය. නවකයන් පමණක් නොව පසුව ප‍්‍රවීණ හා ජනප‍්‍රිය රචකයන් ගේ මුල් පද පේළි පල කළේ එතුමා ‘කවිය’ පත මගිනි. මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලැබූ ගරු මර්සලීනු ජයකොඩි පියතුමාගේ ‘මුතු’ කාව්‍ය සංග‍්‍රහය ද එතුමාගේ අත් පිටපත් තුළින් තෝරා
ගැනුනේ අපේ ගෙදරදී බව මතකයි.

1977 න් පසු 4 වැනි තට්ටුව ‘කවිය’ පුවත්පත අතර කිට්ටු සබදතා පැවති අතර ඔවුන් කීප විටක්ම ‘කවිය’ මුද්‍රණාලයට සීල් තැබීම හා කතුවරයා එහි කැදවා ගෙන යෑම ද සිදු කරන ලදී. එයින් ඇතැම් උසස් පොලිස් නිලධාරීන් හො`ද කාව්‍ය රසිකයන් බවට පත් වූ බව ද ප‍්‍රසිද්ධ කතාවකි.

එවන් අවස්ථා දෙකකදී නිර්දෝශීව ගෙදර ආ තාත්තා ඊළ`ග ‘කවිය’ කලාපයෙන් එම සිද්ධි ගැන පල කළ කවි සටහන් දෙකකි මේ.

එක් කවෙකින්ම මා ගෙන යන්නට කොකුලා
නික් මිණි රජ අණින් සී.අයි.ඩි.ය රැකලා
දැක් කද ගිය විදිය අගමැති තටු අකුලා
ඔක්කොම කිකිළියෝ මම වෙමි රජ කුකුළා

යම් පිරිසක් ඇද්ද රට පාලනය හිමි
දෙන්නට ඇතොත් නිසි ඒ ගෞරවය දෙමි
උන්ගේ වක ගමන් දුටු විට සිනහසෙමි
පන්නා කුහක පාලකයන් පෙරට යමි

විවිධ විශේෂ අවස්ථා පසු කරමින් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය සිය 50 වැනි ජන්ම දිනයට ළඟා වූවාය. ඒ වෙනුවෙන් සත් දිනෙක මහා උත්සවයක් සංවිධානය විය. කොළඹ ආනන්ද විදුහලේ දී පැවතී එය පුදුම උත්සවයකි දින 7 පුරාම අතුරු සිදුරු නැතිව පිරී පැවතී මේ උත්සවයේ කදිම උද්යෝගිමත් රසවතුන් පිරිසක් රැස්ව සිටි හැටි අමතක නොවේ. ආරම්භක අවස්ථා වේ ඇතු පිටින් සංදේශය රැගෙන ආවේ එකළ ගැටවරයකු වූ මහාචාර්ය ප‍්‍රනීත් අභයසුන්දරයි. වසරක් පාසා රටපුරා වාර්ෂිකව පැවැත්වුණු සම්මේලන ද මෙවන් උත්සවශ‍්‍රීයෙන් ඇලළුනු විශේෂ අවස්ථා විය. අම්පාර, මුල්කිරිගල, මැදවච්චිය, මහනුවර ඉන් කීපයකි.

කවි සම්මේලන ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ‘කොළඹ කවි යුගය’ නමින් මහා කවි පොතක් අපේ තාත්තා සංස්කරණය කළේය. ඉංග‍්‍රීසි සිංහල දෙබසින් සමන්විත වූ මම පුස්ථකය 1931-1981 සිංහල කවියේ හරස්කඩක් බව පසුව විචාරකයෝ පැවසූහ. සැබවින්ම මෙවන් ග‍්‍රන්ථයක් එවන් කලෙක දී පිළියෙළ කිරීම, පරිවර්තනය සඳහා වියතුන් එක් රැස් කර ගැනීම, ආදී කටයුතු හා නිවැරදි වේලාවට ඒවා නිමකර ගැනීම පමණක් නොව මුද්‍රණය කරවා ගැනීම, කවි වැල් සියය තෝරා ගැනීම පවා පුදුමසහගත වැඩ බව දැන් අපට හැෙඟ්. කොළඹ කවිය ඉහළම තලයේ පැවතී මෙ කල කවි සම්මේලන උළෙල ජාතික උත්සවයක් බඳු විය.

දිවිය පුරාම ජාතික ප‍්‍රශ්න හා පෑගෙන – අසරණ ජනතාවගේ පිලෙහි සිට කවි ලිවීමත් පල කිරීමත් එතුමාගේ ජීවන දර්ශනය විය. නව කවි පරපුර ජව සම්පන්න කිරීම සඳහා නිකුත් කළ ‘කවිය’ පුවත්පත අන් සියලූ වැඩ පසෙකට දමා ඉටු කිරීමට එතුමා උත්සුක වූ බව ගෙදර සිටම එතුමා දුටු අපට දැන් වැටහේ. එකල කවි පුරයක්ව අප නිවසේ මෙතරම් භාර දූර වැඩ අතරේ ද තාත්තලා, පණ්ඩිත, වටරැක, මානෙල් ජෝන් රාජදාස, මාකදුරේ ගුණවර්ධන, බිංගිරියේ මාමලා එක්ව නැගූ සිනා හ`ඩ දැනටත් සිහිපත් කළ හැකිය.

‘කවිය’ පුවත්පත පලකිරීමේ දී අපේ අම්මා ඇතුළු සියලූ දෙනාටම අයත් කොටස් පැවරී තිබුණි. අපේ අක්කා දුරු බැහැර දේශයක විසීමත්, මාගේ බාල නැගණියන් පාසල් ළමුන් වීමත් නිසාත් ඉන් වැඩි කොටසක් මාගේ නැගණිය දැනට වෛද්‍යවරියක වන භාග්‍යා කාදම්බරීටත් මා හටත් පැවරිනි. මෙය ඇතැම් අවස්ථාවලදී අකුරු අමුනා පත‍්‍රය මුද්‍රණය දක්වාම ඇතුලත් වැඩ කොටසකි. තාත්තාගේ උතුම් අභිලාෂයන් වෙනුවෙන් දරුවන් ලෙස අපට ද දායක වීමට ලැබීම සිහිවන හැම විටම ගෞරවය මුසු සතුටක් සිතට දැනේ.

මෙම සටහන මාගේ ආදරණීය පියාණන් වූ පී. මලල්ගොඩ කවියාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් තැබුවෙමි.

ජගත් රසාංජන මලල්ගොඩ

තම නිවස මුද්‍රණාලයක් කරගත් මලල්ගොඩ කවියා
advertistmentadvertistment
advertistmentadvertistment