තඹලගමුවේ මාරක අනතුරේ පළාගිය සැකකරු ජීප් රථයත් සමග මාසයකට පසු මාට්ටු

1215

අනතුර සිදුකළ රථය හා මියගිය සකිල මල්ෂාන්

ලෑන්ඞ් රෝවර් ජීප් රථයකින් රිය අනතුරක් සිදුකොට යුද හමුදා සෙබළෙකු මහමඟ දී මරාදමා පළාගිය පුද්ගලයෙකු මාසයකට පසුව ජීප් රථයත් සමගම අත්අඩංගුවට ගැනීමට තඹලගමුව පොලිසිය සමත්විය.

මීරිගම ප‍්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු හා ඔහුට අයත් ජීප්රථය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මස 01දා නිවාඩු ලබා නිවසට පැමිණ අවශ්‍යතාවකට වෙළෙඳ සැලකට යෑම සඳහා ප‍්‍රධාන මාර්ගයේ යමින් සිටියදී රාත‍්‍රි 7.00 ට පමණ තඹලගමුව ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබිණි. කන්තලේ ගන්තගාව ප‍්‍රදේශයේ ඉඳිකැටිවැව හේවගේ සකිල මල්ෂාන් (22) යන අය මෙලෙස මිය ගොස් තිබිණි.

තඹලගමුවේ මාරක අනතුරේ පළාගිය සැකකරු ජීප් රථයත් සමග මාසයකට පසු මාට්ටු
සකිල මල්ෂාන්

අනතුර සිදුකර පළා ගිය රථය පිළිබඳව තඹලගමුව පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේ, තඹලගමුව සහකාර පොලිස් අධිකාරි අතුල කරුණාරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්තානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන ආනන්ද (57502), සුගත් (57454), පොලිස් කොස්තාපල් උදයංග (77666) යන නිලධාරීහු මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබිණී.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment