තරංග සහ අස්ගාර් ඒසියා ලයන්ස් දිනවති

406

උපුල් තරංගගේ සහ අස්ගාර් ඇෆ්ගන්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දියා මහරාජස් කණ්ඩායම හමුවේ ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට ඒසියා ලයන්ස් කණ්ඩායම පෙරේදා (24 වැනිදා) සමත්විය. එ් අනුව ලෙජන්ඩස් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වෙන්නට ආසියා ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබිණි.

තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ ඒසියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 193ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එ් අනුව ජයග‍්‍රහණය හඹා ගිය ඉන්දියා මහරාජස් ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 157කට සීමා කිරීමට ඒසියා ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

තරගාවලියේ වාර්තා කළ තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ උපුල් තරංග පන්දු 45කදී ලකුණු 72ක් ඒසියානු ඉනිමට එක් කළේය. හයේ පහර 4කින් වර්ණවත් වූ එම ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය. තරංග මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පත්වී සිටී.

මොහොමඞ් යූසුෆ් පන්දු 24කදී ලකුණු 26ක් ලබා ගත් අතර ඊට හයේ පහර 1ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වෙද්දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමගින් පන්දු 50කදී ලකුණු 78ක සම්බන්ධතාවක් එක් කිරීමටද ඔහු සමත්විය.

ඒසියානු ඉනිම ලකුණු 193 දක්වා රැගෙන ආ අස්ගාර් ඇෆ්ගන් පන්දු 28කදී නොදැවී ලකුණු 69ක් රැස් කළේය. ඊට හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

ස්ටුවර්ට් බිනිගේ පන්දුවක් හමුවේ උඩපන්දුවක් ලබා දෙමින් ටී. එම්. ඩිල්ශාන් ආසියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු නොලබා දැවී ගිය අතර රොමේෂ් කලුවිතාරණ ලකුණු 13කට දවා ගැනීමට ආවිශ්කාර් සල්වී සමත්විය.

ඉන්දියා මහරාජස් ඉනිමේ ලකුණු 14කට කඩුලු 2ක් බිඳ දැමීමට නුවන් කුලසේකර සමත්විය. මොහොමඞ් රෆීක් ලකුණු 32කට කඩුලු 2ක් සහ අස්ගාර් ඇෆ්ගන් ලකුණු 23කට කඩුලු 2ක් බිඳ දැමීය.

ඉන්දියා මහරාජස් වෙනුවෙන් පන්දු 25කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 35ක් වාර්තා කිරීමට වසීම් ජෆර් සමත්වූ අතර මන්පි‍්‍රට් ගෝනි පන්දු 21කදී නොදැවී ලකුණු 35ක් රැස් කළේය. ස්ටුවර්ට් බිනි ලකුණු 25කට සහ යූසුෆ් පතාන් ලකුණු 21කට දැවී ගියේය.

ලකුණු සාරාංශය

ඒසියා ලයන්ස් පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 193යි (උපුල් තරංග 72, අස්ගාර් ඇෆ්ගන් (නොදැවී) 69, මොහොමෙඞ් යූසුෆ් 26, රොමේෂ් කලුවිතාරණ 13, අමිත් බණ්ඩාරි 41/2, ආවිශ්කර් සල්වී 25/1, ස්ටුවර්ට් බිනී 30/1)

ඉන්දියා මහරාජස් පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 157යි (වසීම් ජෆර් 35, යූසුෆ් පතාන් 21, ස්ටුවර්ට් 25, මන්පී‍්‍රට් ගෝනි (නොදැවී) 35, නුවන් කුලසේකර 14/2, මොහොමඞ් රෆීක් 32/2, අස්ගාර් ඇෆ්ගන් 23/2, ෂොයිබ් අක්තාර් 11/1, දිල්හාර ප‍්‍රනාන්දු 51/1)

advertistmentadvertistment
advertistmentadvertistment