තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාවට තරගාවලි ජය

160

නියමිත පන්දු වාර 50 අවසන් වීමට පන්දු 62ක් ඉතිරිව තිබියදී සියලු දෙනා ලකුණු 215කට දැවී ගිය ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය ක්‍රීඩකයෝ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ ජයග්‍රහණය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ඊයේ (12 වැනිදා) සමත් වූහ.

සත්කාරක ඉන්දීය කණ්ඩායමට ඒ සඳහා පන්දු වාර 43ක් සහ පන්දු දෙකක් වැය වී තිබුණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊඩ්න්

ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ආබාධයක් හේතුවෙන් මෙම තරගය සඳහා ක්‍රීඩා නොකළ අතර ඒ අනුව නුවනිඳු ප්‍රනාන්දු ආරම්භක පිතිකරුවා ලෙස කණ්ඩායමට එක් වූයේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ එක්දින ජාත්‍යන්තර තරග වරම් ලැබූ නුවනිඳු සිය ආගමනයට සාධාරණයක් ඉෂ්ට කරමින් පළමු තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූයේය.

අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියට පැමිණි නුවනිඳු පන්දු 63 කදී සිය අර්ධ ශතකය ලබාගත් අතර ඊට හතරේ පහර හයක් එක් කිරීමට මේ කුළුඳුල් පිතිකරුවා සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිඳු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය අතර ප්‍රනාන්දු දෙපළගේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 29 ක් වෙද්දී අවිශ්ක දැවී ගිය අතර නුවනිඳු සහ කුසල් ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙන එමින් පන්දු වාර 17 වන විට ලකුණු 102ක් ලබා සිටියේය.

කුසල් ගේ දැවී යෑමෙන් පසු ධනංජය සිල්වා ලකුණු 0 කටත්, නායක දසුන් ශානක ලකුණු 2කටත් දැවීයෑම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් සමග අවසන් පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට උත්සාහ කළ ද පන්දු වාර 39.4කදී සියලු දෙනා දැවී ගියහ.

ලකුණු 216ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර නායක රෝහිත් ශර්මා ලකුණු 17කටත් විරාත් කෝලි ලකුණු 4ටත් දැවී ගියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 191 දී දවා ගැනීමට සමත් වූහ. එහිදී ඔවුන්ට ජයග්‍රහනය සඳහා පන්දු 61කදී ලකුණු 25ක් අවශ්‍යව තිබුණි.

එහෙත් ලෝකේෂ් රාහුල් ඥානාන්විත ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු පන්දු 103කදී ලකුණු64ක් ලබා ගත්තේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දු වාර 39.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 215 යි. (අවිශ්ක ප්‍රනාන්දු 20, නුවනිඳු ප්‍රනාන්දු 50, කුසල් මෙන්ඩිස් 34, ධනංජය ද සිල්වා 00, චරිත් අසලංක 15, දසුන් ශානක 02, වනිඳු හසරංග 21, දුනිත් වෙල්ලාලගේ 32, චාමික කරුණාරත්න 17, කසුන් රාජිත (නොදැවී) 17, ළහිරු කුමාර 00, මොහොමඩ් සිරාජ් 3/30, කුල්දීප් යාදෙව් 3/51, උම්රාන් මලික් 2/48)

ඉන්දියාව පන්දු වාර 43.2ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219යි. (රෝහිත් ෂර්මා 17, ශුබ්මන් ගිල් 21, විරාට් කෝලි 04, ශ්‍රේයාස් අයියර් 28, ලෝකේෂ් රාහුල් නොදැවී 64, හර්දික් පාණ්ඩ්‍යා 36, අක්ශාර් පටෙල් 21, කුල්දීප් යාදෙව් නොදැවී 10

ළහිරු කුමාර 2- 64, කසුන් රාජිත 1-34, චාමික කරුණාරත්න 2-51,ධනංජය ද සිල්වා 1-9)

advertistmentadvertistment
advertistmentadvertistment