තරගාවලි පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව අද වෙලින්ටන් පිටියට

141

තරග දෙකකින් යුතු නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1 ක් වශයෙන් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ වෙලින්ටන් පිටියට අද (17 වැනිදා) පියනඟනු ඇත.

තරගාවලියේ පළමු තරගය ලෙස ක්‍රයිස්චර්ච් හි හැඩ්ලි ඕවල් පිටියේ පැවති තරගයේ අවසන් පන්දුවේදී එක ලකුණක තියුණු ජයක් ලබා ගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම 1-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණට පැමිණ ඇත. නවසීලන්ත කණ්ඩායම අවසන් වරට එරට දී පැවති ටෙස්ට් තරගාවලි 11 න් එකක් හෝ පරාජයට පත්වී නොමැති අතර අවසන් ටෙස්ට් තරගාවලි තුනම ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. පළමු වරට පැවැති ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වූ නවසීලන්තය එම ශූරයන් ලෙස සහභාගි වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙන්ම 2021-2023 ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ලීග් වටයේ අවසන් තරගය ලෙසද ශ්‍රී ලංකා නවසීලන්ත මෙම තරගය සැලකේ. එම අවසන් මහා තරගය සඳහා ඔස්ටේ්‍රලියාව සහ ඉන්දියාව මේ වන විටත් සුදුසුකම් ලබා තිබෙන අතර ලබන ජුනි මස පැවැත්වෙන එම තරගයෙන් ජයග්‍රාහකයකු තීරණය වීමෙන් පසුව නවසීලන්තයේ ලෝක ශූර පට්ටම හිටපු ලෝක ශූරයන් ලෙස වෙනස් වනු ඇත.

අද ආරම්භ වන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමට වඩා එක් වෙනස්කමක් හෝ දෙකක් සමග ක්‍රීඩා කිරීමට නියමිත බව එරටින් ලැබෙන ආරංචි මාර්ගවල දැක්වේ. තම සුපුරුදු දක්ෂතා අතර නොසිටින සහ පළමු තරගයේ දී පිතිහරඹයෙන් සහ කඩුලු රැකීමේදී දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවට කඩුලු රකින ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක අද තරගයට එක් වනු ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට දස්කම් දැක්වූ නිශාන් මධුශ්ක ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ද පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් වූයේය. නිශාන් මධුශ්ක අද තරගයේ දී මංගල ටෙස්ට් වරම් ලැබීමට සමත් වුවහොත් ඔහුගේ සුපුරුදු පිතිකරණ ස්ථානය වන ආරම්භක පිතිකරු භූමිකාවෙන් බැහැරව අංක 6 හෝ අංක 7 ස්ථානවල පන්දුවට පහර දීමට ඔහුට සිදුවනු ඇති බවද වාර්තා වේ.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ මෙසේ අදහස් දැක්වීය. “දික්වැල්ල ක්‍රීඩා නොකළොත් අනිවාර්යයෙන්ම අතිරේක කඩුලු රකින්නෙක් විදියට ඉන්නේ නිශාන් මදුශ්ක. මං හිතන්නේ ඔහුට චාන්ස් එකක් හම්බවෙයි සෙල්ලම් කරන්න. හැබැයි මං හිතන්නේ නෑ ටොප් ඕඩර් එකේ ගහන්න පුළුවන් වෙයි කියලා. ඔහු ක්‍රීඩා කළොත් අනිවාර්යයෙන්ම නොම්බර 7 ස්ථානයේ තමයි ඔහුට සෙල්ලම් කරන්න වෙන්නේ. ඒ වගේම අපි වේග පන්දු යවන්නන් හතර දෙනෙක් එක්ක තරගයට යන්න ඔලුවේ තියාගෙන ඉන්නේ. හෙට (17 වැනිදා) සමහර විට කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. හෙට දවසේ කාලගුණය බලල තමයි අපි තීරණය කරන්නේ අවසන් 11 දෙනා කවුරුන් ද යැයි දිමුත් කරුණාරත්න ඊයේ ප්‍රකාශ කළේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment