තරග හතරක් දිනා කෝටි අටක් ගෙනාවේය

888

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් දෙලක්ෂ තිස්දහස (230,000) ක මුදලක් හිමිවීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් අටකෝටි තිස්පන් ලක්ෂයකට (8,35,00000)කට ආසන්න වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියේදී මූලික වටයේ තරඟ තුනෙන් දෙකක් ජයග්‍රහණය කළ අතර සුපිරි 12 වටයේදී තරග පහකට ක්‍රීඩා කර තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගාවලියේ ශූරතාව දිනාගත් එංගලන්ත කණ්ඩායමට ඇමරිකන් ඩොලර් මිලියන 1.6ක තෑගි මුදල් පිරිනැමේ.

ඔවුන් හමුවේ පරාජයට පත්ව අනු ශූරතාවය දිනාගත් පකිස්ථාන කණ්ඩායමට ඩොලර් ලක්ෂ 8ක මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත.

අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ ඉන්දියාවට සහ නවසීලන්තයට ඩොලර් ලක්ෂ 4ක් බැගින් හිමිවේ.

සුපිරි 12 වටයෙන් ඉවතට ගිය අනෙක් කණ්ඩායම් 8ට ඩොලර් 70,000ක මුදලක් සහ ඔවුන් ජයග්‍රහණය කළ තරගයකට ඩොලර් 40,000 බැගින් ලබාදේ.

මූලික වටයෙන් ඉවතට යෑම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්, නැමීබියා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්කොට්ලන්තයට ද ඩොලර් 40,000 ක් බැගින් සහ එහිදී ජය ගත් එක් තරගයක් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනැමේ.

ඒ අනුව ශ්‍රී ලංකාව මූලික වටයේ ජයගත් තරග දෙකට ඩොලර් 80000ක්, සුපිරි 12 වටයේ ජය ගත් තරග දෙකට ඩොලර් 80000ක් සහ එම වටයෙන් ඉවතට යෑම වෙනුවෙන් ඩොලර් 70,000 ක මුදලක් ඇතුළුව ඩොලර් 230,000ක මුදලකට උරුමකම් කියයි.

සමස්ත තෑගි මුදල් ලෙස තරගාවලියට එක් වූ කණ්ඩායම් 16 සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.6 ක මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment