තර්ජනයෙන්, මර්දනයෙන්  රට පාලනය කරන්න බැහැ – ලක්‍ෂ ගණනින් ජනතාව කොළඹ වටලන දවස වැඩි ඈතක නෑ

114

අනුර කුමාර දිසානායක

බිය වැද්දීම්, තර්ජන සහ මර්දනයෙන් රට පාලනය කළ හැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් සිතන්නේ නම් එය වියරු සිහිනයක්ම පමණක් වනු ඇතැයි ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එවැනි හැඟීම් වලංගු වන්නේ මීට දශක ගණනාවකට එහා යුගයකට බවත් වර්තමානයට එය කිසි ලෙසකවත් වලංගු නැති බවත් පැවසූ හෙතෙම රට තුළ බිහිවෙමින් තිබෙන්නේ කුඩා ප්‍රහාරයන්ගෙන් සහ මර්දනයෙන් නතර කළ නොහැකි පුළුල් මහජන ව්‍යාපාරයක් බවත් එය දැන් හෝ වික්‍රමසිංහ ජනාධිපතිවරයා තේරුම් ගත යුතු බවත් කීවේය.

හමුදා සහ පොලිස් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂණ තවකාලිකව අවහිර කළ හැකි නමුත් ජන වරමක් නැති ආණ්ඩුව පන්නා දැමීම සඳහා ලක්ෂ ගණනින් වූ ජනතාව නැවත කොළඹ වටලන දිනය වැඩි ඈතක නැති බවත් ඔහු කීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මර්දනය හමුවේ හැකිලීමට තරම් වර්තමාන ජනතාව නිවට නියාලු නොමැති බවත් සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංවිධානයේ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය අනීතික, ව්‍යවස්ථා විරෝධී මැර ප්‍රහාරයක් බවට චෝදනා කළේය.

සාධාරණ ඉල්ලීම්, සාධාරණ අයිතීන් වෙනුවෙන් ජනතාව සිදුකරන උද්ඝෝෂණ මර්දනය කිරීමට රනිල් හා ගෝලබාලයින් ගන්නා සෑම උත්සාහයක්ම වැළැක්විය යුතු බවත් ඒ සඳහා දේශපාලන සංවිධානයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථානුකූල හා නීත්‍යනුකූල සියලු පියවර ගන්නා බවත් දිසානායක මහතා පැවසීය. ජනවරමක් නැති පාලකයන් පන්නා දැමීම සඳහා ජනතාව පෙරට ආ යුතු බවත් ඒ සඳහා ජනතාව පෙළගැස්වීම, සමගි කිරීම සහ සංවිධානය කිරීම වෙනුවෙන් ජවිපෙ නායකත්වය දී කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25 වැනිදා ) පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment