තරුණයන්ට ආවේශ වෙන වැලන්ටයින් බිල්ලෝ

372

“ආදරය ඇත්තේ කොතැනද, එතැන ජීවිතය පවතී” යනුවෙන් මහත්මා ගාන්ධිතුමා පවසා තිබුණ ද ආදරය පිළිබඳ වටහා ගැනීමට නොහැකි නිසා ජීවිතය පවත්වා ගැනීමට නොහැකි වූ තරුණ තරුණියන් පිළිබඳ ඛේදනීය පුවත් සමාජය තුළ විටින් විට අහන්නට දකින්නට ලැබේ. මිහිතලයේ ජීවය පවත්වා ගෙන යන සත්ව සිව්පාවුන්ට ද ආදරය අවශ්‍ය වේ.

පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය නොහොත් ආදරවන්තයන්ගේ දිනය ලොව පුරා පෙම්වතුන් විසින් උත්සවශ්‍රීයෙන් සමරන දිනයක් බවට පත් වී ඇත. ආදරය යනු අතුපතර විහිදුණු මහා වෘක්ෂයකි. එම වෘක්ෂය පෝෂණය වී සාරවත් ආදර වෘක්ෂයක් වන්නේ ඉවසීම, කරුණාව, ගරුකිරීම, අවබෝධය, කැපවීම, දරා ගැනීම, ආරක්ෂා කිරීම නමැති පොහොරවලින් ය. එහි සෙවණ ලද පෙම්වතුන් විසින්ම ආදර වෘක්ෂය විනාශ කරනු දක්නට ලැබේ.

ඔබ දැනටමත් වැලන්ටයින් බිල්ලෙක් ආවේශ වූ තරුණයෙක් නම් ඔබ සැබෑ ආදරවන්තයෙක් නොවනු ඇත. වාචාර්ථයෙන් “බිල්ලා” යනු බිලි ගනු ලබන තැනැත්තා යි. වැලන්ටයින් බිල්ලෙක් යනු ආදරය මුවාවෙන් ගැහැණු දරුවන්ව ගොදුරු කර ගන්නා තරුණයන් ය. එපමණක් නොව ආදරය මුවාවෙන් අපරාධ සිදු කරන සියල්ලෝම වැලන්ටයින් බිල්ලෝ වෙති. ආදරය ප්‍රස්තුතව රැවටීම් සිදු කරන සියල්ලෝ ද අයත් වන්නේ වැලන්ටයින් බිල්ලෝ ඝණයට යි.

ආදරවන්තයන් වැලන්ටයින් දිනය සැමරීමේ දිගු ඉතිහාසය සොයා යන විට ද වැලන්ටයින් බිල්ලෙක් හමු වේ. එනම් වැලන්ටයින් පූජකවරයාව ඝාතනය කළ ක්ලෝඩියස් රජතුමා යි. පුරාණ රෝම දේව කථා අනුව “ජුනා” යනු ආදරයේ හා විවාහයේ දෙවඟන යි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා “ජුනා” දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පවත්වා ඇත. මේ උත්සව සමයේ තිබූ තවත් අපූරු චාරිත්‍රයක් ලෙස රෝම යුවතියන් තම නම ලියූ තුණ්ඩුවක් භාජනයකට දමා ඉන්පසු ඒ භාජනයට අත දමා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ උත්සව සමය ගත කර ඇත. මෙසේ අහම්බෙන් එකතු වුණු බොහෝ පෙම්වතුන් ස්ථීරව විවාහ වී ඇත. “ජුනා” දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වූයේ ඒ විදිහට යැයි ඉතිහාසය පවසන අතර රෝම පුරාණයට අනුව මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවති බව කියැවේ. ඉන්පසු උදා වූ කාලයේ යුද උම්මන්තකයෙක් වූ දෙවෙනි ක්ලෝඩියස් රජුට උවමනා වී තිබුණේ රෝම හමුදාවක් හදා රටවල් යටත් කර ගැනීම යි. ක්ලොඩියස්ගේ බල තණ්හාවට තරුණයන් හමුදාවට බැf ඳන්නට නොපැමිණි අතර ඔවුන් ඒ වන විට තමන්ගේ පවුලට, බිරියට පෙම්වතියට තදින් ඇලුම් කරමින් සිට ඇත. ඒ නිසා රජු කසාද බැඳීම තහනම් කර නියෝගයක් නිකුත් කර ඇත. නමුත් එයට එරෙහි වූ වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන්ට අනුශාසනා කර තරුණ තරුණියන්ව රහසින් විවාහ කළ නිසා කිපුණු ක්ලෝඩියස් රජතුමා විසින් වැලන්ටයින් පූජකතුමාව සිරගත කර ඇත. රෝම තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු විසි කළ අතර සුබ පැතුම් ලියූ පුවරු පවා ප්‍රදර්ශනය කර ඇත.

මේ අතර බන්ධනාගාර පාලකයාට හිටි දෑස් අන්ධ රූමත් දියණියක් වැලන්ටයින් පූජකතුමා සමග පැය ගණන් කතා කර එහි ප්‍රතිඵලය ලෙස බැඳීමක් හට ගෙන ඇත. ක්ලෝඩියස් වැලන්ටයින් පූජකයාව අවනත කර ගැනීම ට උත්සාහ කළ ද නොහැකිවීම නිසා අන්තිමේදී ආදරයේ දෙවඟන ජුනා සමරන දිනයේ ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කර ඇත. අවසන් හුස්ම හෙළීම ට පෙර වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර පාලකයාගේ දියණියට ‘’Love From Your Valentine’ යනුවෙන් ලිපියක් ලියා ඇත. මෙයින් පසුව ආදරයේ නාමයෙන් “ජුනා” දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන ‘වැලන්ටයින්’ මුනිවරයාට ලැබී ඇත. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන්ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්ව ඇත.

පකිස්ථානය, එක්සත් අරාබිය වැනි ඉස්ලාම් ආගමික රටවල්වල වැලන්ටයින් සැමරුම් රජයෙන් තහනම් කර ඇති අතර අද වන විට ලොව පුරා වැලන්ටයින් සැමරීම දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත්ව ඇත. බොහෝදුරට වැලන්ටයින් බිල්ලන්ගේ ගොදුරු බවට පත් වන්නේ පාසල් වයසේ යොවුන් දියණිය න් ය. තම පෙම්වතිය මනාලියක් කිරීමට පෙර රූම් යන්නට කතා කරන්නේ ද වැලන්ටයින් බිල්ලෝ ය. එබැවින් තරුණයන්ට සැබෑ ආදරය යනු කුමක් දැයි වටහා ගැනීමට බුද්ධියක් තිබිය යුතුය. සැබෑ ආදරවන්තයා ඉවසීමෙන් යුතුව තම පෙම්වතියගේ සාර්ථකත්වයට ඉඩකඩ සපයා බාධක ඉවත් කර දෙන තැනැත්තෙක්ය. තරුණියන් ද තම ආදරවන්තයා බිල්ලෙක් බවට පත් නොවන ආකාරයේ හැසිරීම් රටා පවත්වා ගෙන යා යුතුය. ඒ සඳහා එකිනෙකාව තේරුම් ගනිමින් අඩුපාඩු කාරුණිකව සකස් කර ගනිමින් ආදරය කළ යුතුය. අත් හැරුණු මොහොතක, වෙන් වීමට සිදු වන අවස්ථාවක පලිගැනීම් සිදු නොකර වෙන්ව යෑම සැබෑ ආදරය යි.

● සුධර්මා සමරසේකර
ජනමාධ්‍ය අධ්‍යයන අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය,
ශ්‍රී පාලි මණ්ඩපය.

advertistmentadvertistment
advertistmentadvertistment