තරුණයන්ට පුහුණුවක් දෙන්න සුදුසුම තැන හමුදා කඳවුර- මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර

113

රටේ සෑම තරුණ ප‍්‍රජාවට නායකත්වය, පෞර්ෂත්ව වර්ධනය, විනය, හික්මීම හා රට පිළිබඳ හැඟීම යනාදිය සඳහා පුහුණුවක් ලබාදිය යුතුයැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ පානදුර ප‍්‍රදේශයේ අලූ‍බෝමුල්ල, හිරණ යන නව පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
 
 අපේ රටේ බොහෝ අයට විනයක්, හික්මීමක් නැහැ. රට ගැන හැඟීමක් නෑ. මම හිතනවා අඩුම තරමේ තරුණ ප‍්‍රජාවටවත් මේ සම්බන්ධව පුහුණුවක් ලබාදී යුතුයි. සමහරු විවේචනය කරනවා වගේ මිලිටිරිකාරයන් කරන්න නෙමේ මෙවැනි පුහුණුවක් දෙන්නේ. නමුත් අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම්කිසි පුහුණුවක් දෙනවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමා හමුදා කඳවුර. මොකද ඒ තුළ යම් කිසි විනයක්, හික්මීමක් තියෙන නිසා. ඒ වගේම තමයි පහසුකම් තියෙන නිසා. පෞර්ෂත්වය, නායකත්වය වැනි ගුණාංග වැඩි වන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් වෙනවා සමාජය ක‍්‍රම ක‍්‍රමයෙන් විනය ගරුක සමාජයක් බවට පත් කරන්න. ගොඩක් තරුණයෝ වැරදි කරන්නේ වැරදිවලට හසුවන්නේ විනයක්, හික්මීමක් නැති නිසා සේම නීතිය පිළිබඳව දැනුවත් නැති නිසා.
 
 පොලිසිය විවේචනය කරන උදවියගෙන් මම කාරුණිකව අහනවා නීතිය කඩ කරලා අත්අඩංගුවට  ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප‍්‍රහාර නැතුව, වතුර ප‍්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක‍්‍රමය එපා නම් අත්අඩංගුවට ගන්න සුදුසු ක‍්‍රමය මොකක්ද කියල කියන්න කියලා. පොලිසිය හරි දේ කරනවා නම්, පොලිසිය හරි දේ කරලා අත්වැරැුද්දක් වුණත් මං පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේ අවස්ථාවක් ආවොත් තමන්ගේ මුදලින් ඒ අයට නඩු කියන්න දෙන්නෙ නෑ. නමුත් වරදක් කළොත් දඬුවම් කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment