තරුණියක පැහැරගෙන වෑන් රථයකදී දූෂණය කර තල්ලු කළ පුද්ගලයා රිය අනතුරක සැකකරුවකු ලෙස උසාවි දාලා

1600

තරුණියක පැහැරගෙන වෑන් රථයක් තුළදී දූෂණය කර ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් පිටතට තල්ලු කර මරණීය තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහු රිය අනතුරක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීමක් බටපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණිය මේ වන විටත් සිහිසුන් තත්ත්වයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටියි.

පහර දීමෙන් හෝ වෙනත් තත්ත්වයක් හේතුවෙන් මොළය ඉදිමීමට ලක්ව අසාධ්‍යව සිටින එම තරුණියගේ තත්ත්වය ඉතාම බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

බටපොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය මීට කලකට ඉහතදී පුද්ගලයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇත.

පසුව එම පුද්ගලයා එක්දරු විවාහකයකු බවට අනාවරණය වීම හේතුවෙන් තරුණිය එම සම්බන්ධය නවතා දමා ඇති අතර තරුණිය වෑන් රථයෙන් පිටතට දැමූ සැකකරු ඇය සම්බන්ධයක් පැවත්වූ පුද්ගලයා බව තරුණියගේ ඥාතීහු සඳහන් කරති.

ප්‍රේම සබඳතාව නතර කිරීම හේතුවෙන් උරණ වූ ඔහු තරුණිය පැහැරගෙන දූෂණය කිරීමෙන් පසු මෙලෙස ධාවනය වන වෑන් රථයෙන් තල්ලු කර දමා මරා දමන්නට උත්සාහ ගන්නට ඇතැයි ද ඔවුහු පවසති.

බටපොළ තේ වතුයාය පිහිටි පාළු ප්‍රදේශයේ දී ඉකුත් සිකුරාදා (11 වැනිදා) රාත්‍රි හතට පමණ ධාවනය වන වෑන් රථයෙන් තරුණිය පිටතට ඇද දමද්දී වෑන් රථයට පසුපසින් යතුරුපැදියකින් සිය බිරිඳ ද සමග පැමිණි තරුණියගේ මවගේ සොහොයුරා සිද්ධිය දැක සැකකරු අල්ලා බටපොළ පොලිසියට භාර දී තිබේ.

බටපොළ පොලිසිය එම පුද්ගලයා රිය අනතුරක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එසේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

එලෙස රිය අනතුරක සැකකරුවකු ලෙස බී වාර්තාවක් නොමැතිව අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට ඇප නියම කළ අධිකරණය බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා කරමින් සැකකරු ඉකුත් 14 වැනිදා (සඳුදා) යළි ඉදිරිපත් කර ලෙස බටපොළ පොලිසියට නියෝග කර තිබේ.

එම තත්ත්වයත් සමග තරුණියගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට පැමිණිල්ලක් ද කර ඇත.

එසේ පැමිණිලි කිරීමෙන් පසු අධිකරණ නියෝගයට අනුව බටපොළ පොලිසිය නැවත සැකකරු බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු ලබන 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment