තරුණියක මරා දැමූ මාරක අනතුරින් දිල්ලිය කම්පා වේ

578

ඉකුත් ජනවාරි පළමුවැනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේ 23 හැවිරිදි තරුණියක් ගමන් කරමින් සිටි යතුරු පැදියක් මෝටර් රථයක ගැටීමෙන් පසු එම තරුණියගේ සිරුර මෝටර් රථය මගින් කිලෝ මීටර් 4ක පමණ දුරක් ඇදගෙන යෑමේ සිද්ධිය ඉන්දියාව තුළ මහත් කම්පනයක් ඇති කර තිබෙන අතර එම සිදුවීම මේ වන විට දේශපාලන සිදුවීමක් දක්වා
වර්ධනය වී තිබේ.

මෙම අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරා ඇතුළු පස් දෙනකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෝටර් රථයේ රියදුරා අදාළ තරුණිය ගමන් ගත් යතුරු පැදිය සිය රථයේ ගැටුණු බව දැන දැනත් රථයට සිර වී සිටි ඇයගේ සිරුර මෙසේ කිලෝ මීටර් ගණනක් ඇදගෙන යෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි. සැකකාර රියදුරා මෝටර් රථයට සිර වී සිටි තරුණියගේ සිරුර මහමග දමා පලා ගොස් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර මිය ගිය තරුණියගේ පවුලේ සාමාජිකයන් විසින් උත්සව සංවිධානය කරන ආයතනයක කළමනාකරුවෙකු වශයෙන් සේවය කර ඇති එම තරුණියව මෝටර් රථ රියදුරා විසින් දුෂණය කර ඇති බවට චෝදනාවක් නගා තිබීම හේතුවෙන් එම අනතුර තවත් සංකීර්ණ වී තිබේ.

මේ අතර දිල්ලි නගරයේ පාලනය ගෙන යන ආමි ආද්මි පක්ෂය මෙම මාරක රිය අනතුර නගරයේ පවතින දුර්වල ආරක්ෂක විධිවිධාන හේතුවෙන් හටගත් එකක් බව පවසමින් එම අනතුරෙහි වගකීම මධ්‍යම රජය භාරගත යුතු බවට චෝදනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment