තරුණ ආවේගශීලී බව පාලනය

155

පසුගිය දිනෙක අපට අසන්නට ලැබුණු සංවේදී පුවතක් වූයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු විසින් තම පෙම්වතිය වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ඝාතනය කිරීමය. මේ සඳහා බලපා තිබුණේ ප්‍රේම සබඳතාවකි.

මෙම පුවත අසද්දී අප බොහෝදෙනා තුළ මියගිය තරුණිය කෙරෙහි අනුකම්පාවකුත් ඇය මරා දැමූ පෙම්වතා ගැන කෝපයකුත් ඇති වේ.

එය සාධාරණය. මන්දයත් මිනිස් ජීවිතයක වටිනාකම මිල කළ නොහැකිය. ඒ නිසා එවන් ජීවිතයක් අකාලයේ විනාශ කිරීම සඳහා කිසිදු ආකාරයකින් සමාවක් ලබාදිය නොහැකිය.

නමුත් මෙවැනි ප්‍රචණ්ඩකාරී අයුරින් යමෙක් කටයුතු කරන්නේ ඇයි දැයි කියා ද අප සලකා බැලිය යුතුය. මේ සම්බන්ධව මහා සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ නිරෝගී බව යනු ශාරීරික මෙන්ම මානසිකව ද නිරෝගීව සිටීම බවය. වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් කායිකව මෙන්ම මානසිකව ද දැඩි පීඩනයකට ලක්ව සිටිති. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ අවිවේකී දිවිපෙවත සහ වැරදි ආහාර රටාවය.

මෙම අවිවේකී දිවිපෙවත තුළ ඔවුනට ආදරය, සතුට සීමා වී ඇත. ඒ නිසා යම් පුද්ගලයකුට තමා ලබන ආදරය, සතුට අහිමි වී යනවිට නොදැනුවත්වම ප්‍රචණ්ඩකාරී සිතුවිලි මතු වේ.

එවිට ඔවුනට එම සිතුවිලි පාලනය කරගත නොහැකි වූ විට යම් පුද්ගලයකු මරාදැමීමට පවා සිත් පහළ වේ. මෙලෙස ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයන් දෙස බැලූවිට බොහෝ දෙනා කුඩා කාලයේදී ආදරය සෙනෙහස අඩුවෙන් විඳ ඇති අය බව හඳුනාගෙන ඇත. කුඩා කල මවගේ තනපුඩුවෙන් මවුකිරි උරා බීමේදී ලබන සතුට, ඉන්පසු දණගාමින් අන් අයගේ ආදරය දිනාගනිමින් විඳන සතුට, පාසල් වියේදී දෙමාපියන් සහ ගුරුවරුන් වෙතින් ලබන ආදරය අපගේ අනාගතයට ඉතා දැඩිව බලපායි. මෙම ආදරය අහිමි වනවිට අන් අයට ආදරය සෙනෙහස දැක්වීමේ සිතුවිලි පහළ නොවේ. ඇතිවන්නේ ආත්මාර්ථකාමී සිතුවිලිය.

මෙම තත්ත්වය වර්තමාන තරුණ පරපුර අතර බහුලව දැකගත හැකිය. ඊට හේතු වී ඇත්තේ දෙමාපිය දරු සබඳතාවය දුරස්වීම, අධ්‍යාපන කටයුතුවලින් දැඩි පීඩනයක් ඇතිවීම, ආර්ථික ගැටලු ආදියයි.

මීට අමතරව පවතින ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ මේ සියලු මානසික පීඩාවන් කිසිවකුට පවසන්නේ නැතිව තමා තුළම සිරකර ගෙන සිටීමය. එහිදී ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා විසඳුම් සෙවීමටය. මෙය එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. නිවැරදි විසඳුම වන්නේ තම විශ්වාසවන්ත පුද්ගලයකු සමග මේ සම්බන්ධව සාකච්ඡා කිරීමය. ඊට අමතරව නිසි වෛද්‍ය උපදේශනයක් ලබා ගැනීමය.

එවිට මෙවැනි දැඩි තීරණ ගැනීමට සිත් යොමු වීම වළක්වා ගත හැකිය. දැඩි තීරණ ගනු ලබන බොහෝ දෙනා පසුව පසුතැවීමට ලක් වේ. එවිට ප්‍රමාද වැඩිය. ඒ නිසා තරුණ වියේදී මතුවන ආවේගශීලී හැඟීම් පාලනය කර ගැනීම සඳහා නිතර මිතුරන් ඇසුර, තම ආගම දහම අනුව කටයුතු කිරීම, හුදෙකලාව සිටීමෙන් වැළකීම ආදී ක්‍රියාවන්හි නිරතවීමට යොමු විය යුතුය.

එසේම රසකාරක යෙදූ ක්ෂණික ආහාර පාන ගැනීම ද සීමා කළ යුතුය. මෙවැනි ආහාර පාන නිතර ගැනීම නිසා ද මානසික නිරවුල් බව නැති වී විවිධ ඇබ්බැහිවීම්වලට යොමු වේ.

ඒ නිසා නිතරම ස්වභාවික ලෙස සකස් කළ ආහාර පාන ගැනීමට යොමු විය යුතුය.

තරුණ ආවේගශීලී බව පාලනය

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය
ජිනසිරි ලියන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment