තරුණ දියණියත් සමග ගිනි තබා ගැනීමට ගිය පියා පොලිසියෙන් බේරාගනී

181

පිළිස්සුම් තුවාල ලබා පොලිසියේ දෙදෙනකුත් රෝහලේ

තම 17 හැවිරිදි දියණිය සමග නිවසේ කාමරයක් තුළ ගිනි තබාගෙන දිවිනසා ගැනීමට තැත්කළ පුද්ගලයකු වැළැක්වීමට ගිය වාලච්චේන පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ එම පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව වාලච්චේන රෝහලට පෙරේදා (15 දා) ඇතුළත් කර ඇත.

මෙම සිද්ධියෙන් ගිනි තබාගත් පුද්ගලයාගේ දියණිය කාමරයෙන් පැන දිවි බේරාගෙන තිබේ.

දිවි හානි කර ගැනීමට තැත්කළ පුද්ගලයාගේ බිරිඳ විදෙස්ගතව ජීවත්වන බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න මහතා පැවසීය. මෙම තැනැත්තා අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර නිතරම බිරිඳට දුරකථනයෙන් කතා කර මුදල් ඉල්ලා කරදර කරන බව ද පොලිසිය කියයි.

තම පියා තමා ද සමග ගිනි තබා ගැනීමට උත්සාහ කරන බව ඔහුගේ දියණිය වාලච්චේන පොලිසියට දැනුම් දී තිබෙන අතර ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනා එම නිවසට ගොස් තිබූ බව අමල් එදිරිමාන්න මහතා පැවසීය.

ගිනි තබාගත් පුද්ගලයා බේරා ගැනීමට යද්දී පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිළිස්සීමට ලක්ව තිබේ. මෙම තිදෙනාම වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගිනි තබාගත් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment