තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට යොමු කිරීමට සහන ණයක් – පළමු ණය හම්බන්තොට 50 දෙනකුට

78

වගා කටයුතුවලට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩපිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය මුදල් ලබා දීම සඳහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොටදී තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරිණි. මෙම වැඩපිළිවෙළ යටතේ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩසටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටින කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබාදීමට කටයුතු යොදා ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව ව්‍යාපෘතිය පවසයි.
මත්තල – දිලිප් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment