තරුණ සහාය ලැබෙනවා නම් System Change එකට සූදානම්

265

නව ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි

●අවංක, පිරිසිදු, කාර්යක්‍ෂම පාලනයකට කැපවන්න
 
 ●ෂඵත්‍ යෑම පමා වුණා
 
 ●පොහොර නොදීමත් වැරැදියි
 
 ●ජනතා කෝපය සාධාරණයි
 

 අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුණ ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තමා පැහැර හරින්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (18දා) දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එම ඇමැතිවරුන් අමතා මෙසේද පැවසීය.

 අද මම මෙම අවස්ථාවේ ඔබ අමතන්නේ ලංකා ඉතිහාසයේ ඉතාමත්ම දුෂ්කර, ඒවගේම අභියෝගාත්මක ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සාමාජීය වශයෙන්, රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන අවස්ථාවකය.

 අද මම ජ්‍යෙෂ්ඨත්වය සලකන්නේ නැතිව නව ඇමැතිවරු පත් කරලා තිබෙනවා. ඇමැති තනතුර වරප්‍රසාදයක් නොවෙයි. ඒක විශාල වගකීමක්. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමැතිවරයෙක් කියලා පාවිච්චි කරන්න එපා. මම තමුන්නාන්සේලාගෙන්බලාපොරොත්තු වෙන්නේ අවංකව, කාර්යක්ෂමව පිරිසිදු පාලනයකට කැපවෙන්න කියලා.

 ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර, ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතළ මූල්‍ය අර්බුද තත්ත්වයකය. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එය මෙතුමන්ලාට කරන්න තිබෙන ප්‍රධාන කර්යයක්. අපි දන්නවා මේ ඇමැති තනතුරු ලැබුණාම තමන්ට ලැබෙන අමාත්‍යාංශයේ ආයතනවල රැකියා දෙන්න සූදානම් වෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ එය කරන්න එපා කියලා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම අමාත්‍යාංශ කළ යුත්තේ රැකියා නිර්මාණය කිරීමයි.

 අද පවතින මෙම අර්බුදය ජනතාව ඉල්ලූ ඒ System Change එක කරන්න හොඳ අවස්ථාවක්. තමුන්නාන්සේලාට ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ එක්කම මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා එයට උපකාර කරන්න කියලා.

 පසුගිය වර්ෂ දෙක හමාර තුළ අපට විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ඒ වගේම ණය බර වැනි දේවල්, අපෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවැරැදි කර ගන්න ඕන. ඒවා නිවරැදි කරගෙන තමයි අපි ඉදිරියට යන්න ඕන. ජනතාවගේ විශ්වාසය නැවත දිනාගන්න ඕන.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියලා මම හිතනවා. අපි ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කර තිබෙනවා.

 මේ ආර්ථික අර්බුදය නිසා මතුවූ ගැටලු රාශියකින් අද ජනතාව පීඩනයට පත්ව තිබෙනවා. ඒ ගැන මම ඉතාමත්ම කණගාටු වෙනවා.

 ජීවන වියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව, අසහනය හා කෝපය ඉතාමත් සාධාරණයි.

 අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුණ ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරා පත්කළ ජනාධිපතිවරයා වන මා අතයි. කුමන දුෂ්කරතාවයක් හෝ අභියෝගයක් මධ්‍යයේ වුවත් මා ඒ වගකීම පැහැර හරින්නේ නැති බව මා පත්කළ ජනතාවට මම පොරොන්දු වෙනවා.

 මේ වන විට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් අපේ ප්‍රමුඛතාව වන්නේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමයි. එය විසඳන්නේ නැතුව අනෙක් කිසිදු ගැටලුවක් විසඳන්නට බැහැ. ඒ නිසා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කිහිපයක්ම මේ වන විටත් මා විසින් ගෙන තිබෙනවා.

 එහි මූලික සහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල් ඇමැති වරයෙක්, දීර්ඝ කාලීන අත්දැකීම් සහිත නව මහ බැංකු අධිපතිවරයෙක් සහ නව භාණ්ඩාගාර ලේකම්වරයෙක් පත්කිරීමට කටයුතු කළා.

 ඒ වගේම ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් හා ඉහළ පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු, ආර්ථික කළමනාකරණය පිළිබඳ රජයට හා මට උපදෙස් දීමට පත් කර තිබෙනවා. ඒ වගේම රජයට සහාය දීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශේෂඥයන් පිරිසකුත් පත් කොට තිබෙනවා. මේ කණ්ඩායම් සමග එක්ව අප විසින් රටේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා වැදගත් තීන්දු තීරණ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ ගනු ලැබුවා.

 අප හැම විටම ජනතාවට සත්‍යය පවසන්න ඕන. ජනතාවගෙන් යථාර්ථය වසන් කිරීමෙන් පලක් නැහැ. ඔබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා කරුණු වටහා ගන්නා ලෙස මා ඔබෙනුත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 තෙල්, ඖෂධ, සහ වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක්ම ආනයනය කිරීම සඳහා අපට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබී තිබෙනවා. ඊට අමතරව ගෑස්, පොහොර, කිරිපිටි හා ඖෂධ ආනයනය සඳහා සහාය ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වී සිටිනවා.

 ජනතාවට අවශ්‍ය තෙල් සහ ගෑස් මේ වනවිටත් රටට ලැබෙමින් පැවතුනත්, පසුගිය දිනවල ඒවා නිසියාකාරව බෙදා හැරීම සිදු වී නැහැ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට අපි දැන් කටයුතු කරමින් සිටිනවා.

 කෙටිකාලීන ගැටලුවලට විසඳුම් සොයන අතර අපි මේ තත්ත්වය යළි ඇති නොවීමට කටයුතු කරන්න ඕන. දේශපාලන හේතු මත දශක ගණනාවක් පුරා ප්‍රමාද කරන ලද සමහර තීන්දු තීරණ කොපමණ දුෂ්කර වුවත් අප විසින් ගත යුතුව තිබෙනවා. දැන්වත් ආර්ථිකය නිවැරදි මගට ගෙන, අපේ අනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැඟීමේ වගකීම අපට තිබෙනවා

 රටේ අනාගතය බාරගන්න සිටින තරුණ පරපුරට තම අදහස් පළකරන්නට, විරෝධතා සංවිධානය කරන්නට හා උද්ඝෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා.

 ඔවුන් නිර්මාණශීලී ලෙස ඔවුන්ගේ විරෝධතාවන් පවත්වාගෙන යද්දී විනයානුකූලව තම රාජකාරිය ඉටුකරන පොලිසිය ඒ වගේම ත්‍රිවිධ හමුදාව, ආරක්ෂක අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගය කරනවා.

 ගරුතර මහා සංඝරත්නය, පූජක තුමන්ලා, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයන් ඇතුළු බොහෝ දෙනෙකු රටේ පවතින තත්ත්වය ගැන සහ එයට විසඳුම්, අදහස් මට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සියලු අදහස්වලට මා සංවේදීව සවන් දෙනවා.

 හැට නව ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිත කොට මට වගකීම බාර දුන්නේ විශාල විශ්වාසයකිනුයි. මගේ ධුර කාලය තුළ ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මා බැඳී සිටිනවා. ඒ අනුව වත්මන් අර්බුදයම ජනතාව අපේක්ෂා කළ වෙනස ලබාදීම සඳහා මම අවස්ථාවක් කරගන්නවා.

advertistmentadvertistment
advertistmentadvertistment