තරුණ හඬට වැඩි ඉඩක් සවිමත් කිරීමට දොලවත්ත ජනපති දැනුවත් කරයි

99

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් 31දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය”‍ වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවය. පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment