තරු හෝටල්වල ලයිට් බිලට සමාජ ආරක්‍ෂණ බද්ද නෑ

115

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

රජය හඳුන්වාදුන් සමාජ ආරක්‍ෂක බද්ද විදුලිබල මණ්ඩලය බිල්පත මගින් අය කිරීමේදී තරු පන්තියේ හෝටල් සහ විදුලිබල පෞද්ගලික සමාගම යටතේ පවතින ස්ථාන ඉවත් කර මිල වැඩිකිරීම සිදුකර ඇතැයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (27 දා) පැවසීය.

විදුලි පෞද්ගලික සමාගම යටතේ කොළඹ සිට මාතර දක්වා විදුලි බිල අයකිරීම් සිදු කරන බවත් ඒ ආශ්‍රිත පිරිසගේ විදුලි බිල වැඩි නොකර ගමේ අහිංසක ජනතාවගෙන් සමාජ ආරක්‍ෂක බද්ද (සියයට දෙකයි දශම පහ) අයකර ගැනීම කොළඹට කිරි ගමට කැකිරි න්‍යාය අනුගමනය කිරීමක් බවත් ධම්මික මහතා කීය.

මෙම සමාජ ආරක්‍ෂණ අරමුදල රාජ්‍ය විශ්‍රාම වැටුපට හිමිකම් නොමැති පිරිස්වල ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා ඇති කළ අරමුදලක් බවත් එවන් නිසි අධ්‍යයනයක් නොකර මෙම බද්ද අයකර ගැනීමට අනුමැතිය ලබාදී ඇත්තේ සීනි බදු වංචාව ඇතුළු මහා පරිමාණ වංචාවලට සම්බන්ධ පිරිස්වල ගෝලබාලයන් බවත් ධම්මික මහතා කීය.

සුද්දගේ කාලේ බලු බද්ද, තන බද්ද ඇතුළු බදු අය කිරීමේදී සියලුම දෙනාට පොදු වුවත් වත්මන් ආණ්ඩුව බදු අයකිරීමේදී ඇති හැකි අය ආරක්‍ෂා කරමින් පොඩි මිනිසාගෙන් වැඩිපුර බදු අයකර ගැනීමට පෙළඹී ඇති බව පේන්න තිබෙන බවත් ධම්මික මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment