තලවකැලේ වතු කම්කරුවන් තෛපොංගල් සමරද්දී – වතු නිවාස පෙළක ගින්නක්

83

වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය සමරමින් සිටියදී තලවකැලේ, මිඩ්ල්ටන් වතුයායේ වතු නිවාස පෙළක් (15) දා රාත්‍රි ගිනි ගැනීමට ලක්ව වතු නිවාස 12 ක් විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලිසිය පවසයි.

ගිනි ගැනීමෙන් වතු නිවාස පේළියේ වතු නිවාස හතක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව, තවත් වතු නිවාස පහක් අර්ධ හානියට ලක්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම නිවාස පේළියේ එක් නිවසක පළමුව හටගත් ගින්නක් පැතිරී යෑමෙන් අනෙකුත් නිවාසද ගිනි ගැනීමට ලක්ව ඇති අතර, වතු නිවාසවල පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ ගිනි ගැනීමට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

තලවකැලේ වතු කම්කරුවන් තෛපොංගල් සමරද්දී - වතු නිවාස පෙළක ගින්නක්

පැතිර යමින් තිබූ ගින්න එම වතුයායේම වතු කම්කරුවන් තලවකැලේ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්විය. ගින්නෙන් එම වතු නිවාසවල පදිංචිව සිටි ළමුන්ගේ පාසල් පොත්පත් සහ උපකරණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

වතු නිවාස ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලිසිය කියයි.

මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 49 කු පමණ අවතැන්ව ඇති අතර, ඔවුන්ගෙන් පවුල් තුනක පුද්ගලයන් තලවකැලේ දෙමළ මහ විදුහලේ සහ අනෙකුත් පිරිස ඥාතීන්ගේ නිවාසවල තාවකාලිතව නවතා සිටිති. ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, තලවකැලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
සටහන හා ඡායාරූප – මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment