තලිබාන් පාලනයට සහාය දැක්වූ පූජකවරයෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරුට

218

ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලනයට සහාය දැක්වූ එරට කැපී පෙනෙන මුස්ලිම් ආගමික පූජකවරයෙකු වූ ෂීක් රහිමුල්ලා හක්කානි අයිසිස් (ඉස්ලාමික් ස්ටේට්) සංවිධානයට අයත් පුද්ගලයෙකු විසින් පෙරේදා (11දා) දිනයේ කාබුල් අගනුවරදී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම සම්බන්ධයෙන් කැමැත්තක් දැක්වූ පූජකවරයෙකු වන හක්කානි ඝානතය කිරීමට පැමිණි පුද්ගලයා කලින් පාදයක් අහිමි වූ පුද්ගලයෙකු වන අතර ඔහු සිය අහිමි පාදය වෙනුවට සවි කරගෙන තිබූ කෘත්‍රිම පාදය තුළ සඟවා ගෙන සිටි බෝම්බයක් පුපුරවා හැරීමෙන් පූජකවරයා මරා දමා ඇති බව තලිබාන් සංවිධානය පවසා තිබේ. හක්කානි කාබුල් නගරයේ පිහිටි සිය පුද්ගලික කාර්යාලයේ සිටියදී ඝාතනයට ලක්ව ඇති අතර ඔහුගේ ඝාතකයා මෙයට පෙර අවස්ථාවකදීද පූජකවරයා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බව තලිබාන් පාලකයෝ පවසති. “හක්කානි පූජකවරයාගේ ඝාතනය ඉස්ලාමීය ඇෆ්ගනිස්තාන් රාජ්‍යයට සිදු වූ බලවත් පාඩුවක්. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් හා ඔහුගේ කාර්යාලයට ඝාතකයා රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් අප පරීක්ෂණ කරනවා” ඇෆ්ගනිස්තානයේ ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයට අයත් තලිබාන් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ. හක්කානිගේ ඝාතනය සම්බන්ධයෙන් අයිසිස් සංවිධානය වගකීම නිල වශයෙන් භාරගෙන තිබේ. තලිබාන් සංවිධානය ඉකුත් වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පත් වීමෙන් පසු අන්තවාදීන් විසින් මරා දැමූ එරට ඉහළම නිලධාරිවරයා වනුයේ හක්කානි බව පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment