තවත් රුපියල් 291කින් ගෑස් උස්සන්න ලාෆ් අවසර ඉල්ලයි

113

කිලෝග‍්‍රෑම් 12.5 ක් වන ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 291 කින් ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට අනුව කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරය රුපියල් 114 කින් ඉහළ දමන ලෙස ද අවසර ඉල්ලා ඇතැයි එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (08 දා) පැවසීය.

නව ඉල්ලීම අනුව ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදුනහොත් කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2147 ක් සහ කිලෝග‍්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 858 දක්වා ඉහළ යනු ඇත.

පසුගිය මාසයේදී රට තුළ ගෑස් හිඟයක් මතුව තිබූ අතර අගෝස්තු මැද භාගයේදී ලාෆ් ගෑස් කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ද, එම වර්ගයේ කිලෝ 05 ක ගෑස් සිලිඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දැමීමට රජය අවසර ලබාදී තිබිණි. ඉන්පසු ද ලාෆ් ගෑස්වල හිඟයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන බවත් එම හිඟය නිවැරදි කිරීමෙන් පසු මිල ඉහළ දැමීම ගැන සාකච්ඡුා කළ හැකි නිසා ගෑස් හිඟය වෙළඳපොළේ අවසන් කරන ලෙස එම සමාගම දැනුවත් කළ බවත් එම නිලධාරියා කීය.

දැනට වෙළෙඳපොළේ කිලෝ 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 1856 ක් වන අතර එම වර්ගයේ කිලෝ 05 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743 කි.

මීට සමගාමීව ලිට්‍රෝ ගෑස් සමාගම මිල වැඩි කිරීමක් මෙතෙක් සිදු කර නොමැති අතර ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 කට හා කිලෝ 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 598 ක මිලට වෙළඳපොළේ පවතියි. මෙම ගෑස් සමාගමේ අයිතිය සියයට සියයක්ම රජය සතු වේ.

ගෑස් සිලින්ඩර් ප‍්‍රවාහනය කිරීමේදී දුර ප‍්‍රමාණය අනුව ගෑස් මිලෙහි සුළු වෙනස්වීම් සිදු වේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment