තවත් වේලක් අතහැර ලයිට් බිල ගෙවමු

201

බිල වැඩි කළ දා රෑම කෑම මිලත් වැඩි කරයි

සුපිරි වෙළෙඳ සල්වල A/C ඕෆ්

සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ වෙළෙඳ සල්වල ෆ්‍රිජ්, ෆීසර් ඉවත් කරයි

බිලියන 287ක් ජනතාවගේ ගෙල වට හිරවෙයි

ඒකක 90ට අඩු ගෙවල්වල විදුලි බිල 250%කින් නගී

පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවත්, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් බලයට පැමිණියේ දුප්පතුන් නැති සමාජයක් බිහිකරන බව පවසමිනි. පසුගිය කාලය පුරාම පැවති ආණ්ඩු විසින් ගත් ක්‍රියාමාර්ග වලින් පැහැදිලි වූයේ දුප්පතුන් නැති සමාජයක් නොව දුප්පතුන් නැත්තටම නැති කරන සමාජයක් බිහිකිරීම සඳහා කටයුතු කළ බවය. සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නංවා දුප්පතුන් නැති කිරීමට උත්සාහ ආණ්ඩුව උත්සාහ දැරීය. එම මිල ගණන් අදටත් එසේමය. ඉන්ධන, ගෑස් ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල වැඩිකළේත් ඒ ආකාරයෙනි. ඇති එකා යාන්තමින් එදා වේල ගැටගසා ගන්නා අතරේ නැති එකා මේ වනවිට පාරටම වැටී අවසානය.

පසුගිය අගෝස්තුවේදී ආණ්ඩුව විදුලි බිල ඉහළ නැංවූයේ 75% කිනි. එය 75% යැයි පැවසුවත් දුප්පතාට එම අගය සියයට දෙතුන් සියයක් විය. කන්න බොන්නවත් නැති ජනතාවට එතරම් විදුලි බිලක් වැඩි කිරීම දරාගත නොහැකි වුවත් ඒ අවස්ථාවේ කිසිදු ජාතික සැලැස්මක්, වගකීමක් නැති ඇමැතිකමේ වගකීම නිසි ලෙස ඉටු නොකරන බලශක්ති ඇමැතිවරයාගේ ප්‍රකාශ විශ්වාස කර ජනතාව වේලක් නොකා හෝ විදුලි බිල ගෙවීමට හිත හදා ගත්තේ පොඩි දරුවන් සමඟ කරුවලේ සිටිය නොහැකි බැවිනි. කිසිදු සැලැස්මක් වගකීමක් නැති මෙරට ඉතිහාසයේ සිටි අසාර්ථකම හා අකීකරුම බලශක්ති ඇමැතිවරයකු යැයි අප පැවසුවේ පාඩුයි කියන විට මිල වැඩිකිරීමට ඇමැතිවරයකු අවශ්‍ය නොවන බැවිනි. එම කාර්යය පොඩි දරුවෙකුට වුවද කළ හැක. වගකිවයුතු ඇමැතිවරයකු නම් කළ යුත්තේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ජනන සැලසුම් සකස් කොට අඩුමිලට විදුලිය නිපදවා දිනෙන් දින ප්‍රපාතයට වැටී සිටින ජනතාවට සවියක් වීම හා වැසී යන කර්මාන්තශාලා රැකගැනීමටය.

දුප්පතුන් නැති සමාජයක් බිහිකිරීමේ මීළඟ පියවර පසුගිය 16 වැනිදා ගත්තේය. ඒ නැවත වරක් 66% කින් විදුලි බිල ඉහළ නංවමිනි. එය 66% ක් යැයි පැවසුවත් දුප්පතුන්ට එම අගය එන්නේ 400% කටත් වඩා වැඩිය. අපි නැවත නැවත දුප්පතුන් නැති සමාජයක් බිහි වේවි යැයි පුවසුවේ මෙම ගණන් වලින් විදුලි බිල වැඩිවීමත් සමග දෙවේලක් කාපු ජනතාවට එක වේලක්වත් කෑමට සත පහක් අතේ ඉතිරි වන්නේ නැති බැවිනි. මේ සටහන ලියන මොහොත වනවිටත් එක්තරා ප්‍රදේශයක දමිළ වතු නිවාස පේළියක නිවාස 10-15 ක විදුලිය විසන්ධි කළේය. වතු කම්කරු මෙන්ම අද දවස වන විට පෞද්ගලික අංශයේ රැකියා කරන බොහෝ දෙනකුට ලැබෙනුයේ දිනකට රු.1000 කට අඩු වැටුපකි. ඒ වසර ගණනාවකින් වැටුප් වැඩි වීමක් සිදු නොවූ බැවිනි. එවන් වැටුපකින් පැවති විදුලි බිලවත් ගෙවාගත නොහැකි අවස්ථාවක නව ගාස්තු සංශෝධනයෙන් පසු සිදුවන තත්ත්වය ගැන අමුතුවෙන් පැවසීමට දෙයක් නැත.

පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය වූ පුවත් දෙකක් දෙස අවධානය යොමු කිරීමේදී අසන්නට ලැබුණේ විදුලි බිල නොගෙවූ ආබාධිත රණවිරුවකුගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන්ට පහරදීමක් හා විදුලි බිල්පත ලබාදීමට පැමිණි මනු කියවන්නාට බිල වැඩි යැයි පවසා වඩු කාර්මිකයකු පහරදීමේ පුවතකි. මේ එවන් සිදුවීම් එකක් දෙකක් පමණි. ඉදිරියට මෙවන් සිදුවීම් දිනපතා වාර්තාවීම වැළැක්විය නොහැක.

මෙලෙස අසාධාරණ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීම නිසා ජනතාවට සිදුවන පීඩාව පිළිබඳ ආණ්ඩුව නිකමටත් සිතා බැලුවාද. මේ වනවිට නව ගාස්තු වැඩිවීමට එරෙහිව රටේ සියලු දෙසින්ම සියලු පාර්ශ්වයන්ගෙන්ම දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. ආණ්ඩුව විදුලි බිල ඉහළ නැංවීමට උපයෝගිතා කොමිසමේ කැමැත්ත ලබාගත්තේ ඉතාමත් නින්දිත මෙන්ම සටකපට ආකාරයෙනි.

● උපයෝගිතා කොමිසමේ කැමැත්ත ලබාගැනීම

නව විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා මුල සිටම විරුද්ධ විය. ආණ්ඩුව දිගින් දිගටම යම් යම් ප්‍රකාශ කරමින් කොමිසමේ අවසරය ලබාගන්නට කෙතෙක් උත්සාහ දැරුවත් එම සියලු උත්සාහයන් නිශ්ඵල වූ තැන වෙනම උපායක් යෙදීමට කටයුතු කළේය. ඒ ඔළුගෙඩි මාරු කිරීමෙනි. කොමිසමේ හිටපු සාමාජිකයන් වන මොහාන් සමරනායක හා උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන්ට ඉල්ලා අස්වීමට ඉඩහැර ඒ වෙනුවට ඩග්ලස් නානායක්කාර හා එස්. ජී. සේනාරත්න යන නව සාමාජිකයන් පත්කර ඔවුන් ලවා ආණ්ඩුවට අවශ්‍ය ආකාරයෙන් විදුලි බිල් ඉහළ දැමීමට කැමැත්ත ලබාගත්තේය. තමන්ට විරුද්ධ පාර්ශ්ව හුදෙකලා කර පහරදීමේ න්‍යාය අකුරටම ඉටුකළ ආණ්ඩුව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා බිත්තියටම හේත්තු කර තම කාර්යය මනා ලෙස කර ගත්තේය.

● සභාපතිවරයාගේ යෝජනාව

සභාපතිවරයා පවසන ආකාරයට අවසන් අවස්ථාවේත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමිසමේ නිලධාරීන් උත්සාහ කළේ විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් බිලියන 142 ක අතිරේක ආදායමක් ලැබෙන පරිදි විදුලි බිල 36% කින් පමණක් ඉහළ දැමීමටය. ඒ සඳහා පසුගිය 14 වැනිදා සාකච්ඡා කර එම ගාස්තු සංශෝධනය කොමිසම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කොට විදුලි බල මණ්ඩලය මෙන්ම කංචන ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින 66% ක විදුලි ගාස්තු සංශෝධනයට ලබාදිය යුතුය යන ස්ථාවරයේ ඔවුන් තිදෙනා සිටි බව ජනක රත්නායක මහතා පැවසයි. මෙම ගාස්තු වැඩිවීම නීති විරෝධී බැවින් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව සභාපතිවරයා පවසයි.

නමුත් සභාපතිවරයාගේ ක්‍රියාකලාපයද සැකයට භාජන වේ. ඒ මෙතරම් වැදගත් අවස්ථාවක ඔහු රටේ නොසිට කුමන හෝ කාර්යයකට විදෙස්ගත වීමය.

පසුගිය කාලය පුරාම ජනතාවට දැකගැනීමට ලැබුණේ දකුණු ඉන්දීය සිනමාව පරදන ආකාරයේ තිර පිටපත්ය.

එසේම ආණ්ඩුවට විපක්‍ෂ කණ්ඩායම් වලින්ද ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ විරෝධයක් විදුලි බිලට එරෙහිව මෙතෙක් පැන නැඟුණේ නැත. විපක්‍ෂයද මෙම ක්‍රියාවලියට එක පැත්තකින් කැමතිය. ඒ ඔවුන්ගේ පාලන සමයකදී දැරීමට වන බර මේ ආණුඩුව සැහැල්ලු කරන බැවිණි.

කොමිසමට අලුතින් පත්වූ ඩග්ලස් නානායක්කාර මහතා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

“සංචාරක ක්‍ෂේත්‍රයට මෙය එතරම් බලපාන්නේ නැහැ. වෙළෙඳපොළ ලොකු නිසා සහ කාමරයකට වැය වන්නේ කුඩා ඒකක ප්‍රමාණයක් නිසා මෙය එතරම් ගණන් ගත යුතු නැහැ.”

66% ක බිල වැඩිවීම එතරම් ගණන් ගත යුතු කාරණයක් නොවන බව ඔහු පැවසුවත් හෝටල්වලට සංචාරකයන් අඩු මේ කාලයේ එම පවත්වාගෙන යන්නේ බොහෝම අමාරුවෙනි. දැන් ලංකාවට එන බොහෝ සංචාරකයෝ අත දිග හැර වියදම් කරන අය නොවේ. චූන් පාන් කා බස් එකේ කෝච්චියේ ගමන් බිමන් යන අයගෙන් හෝටල්වලට මහා ලොකු ආදායමක් නොලැබේ. සංචාරකයන් වෙනුවෙන් වැය වන්නේ විදුලිය පමණක් නොවේ. ජලය ආහාර පාන අනෙකුත් වියදම් සමඟ බැලූ කල දැන් මෙම කර්මාන්ත අතින් කා හරක් බලනවා හා සමානය. ඩග්ලස් නානායක්කාර මහතාට එය එතරම් ගණන් ගත යුතු කරුණක් නොවූවාට එම ක්‍ෂේත්‍රයේ රැඳී සිටින අයට මෙම වැඩිකිරීම මහා මෙරකි.

එසේම කර්මාන්තශාලා සඳහාද පැය 24 ම විදුලි සැපයුම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි. බලශක්ති ඇමැතිවරයාගේම අඩිපාරේ යන මෙම නියෝජිතයන් කළ යුත්තේ කර්මාන්තශාලාවල විදුලි බිල වැඩිකිරීම නොව එම ආයතනවලට අඩු මිලට හෝ බදු සහන ලබාදී සූර්ය පැනල පද්ධති ලබාදීම වැනි ක්‍රියාමාර්ග ගැනීමය. ලෙඩා මැරී බඩ සුද්දවීමෙන් පලක් නැත. ලෙඩා නොමරා බඩේ ලෙඩේ සුවකර ගැනීමේ වෙදකම දත යුතුය. එසේම මේ කරන්නේ රත්තරන් බිත්තර දාන කිකිළිය මරා බඩ පලා බිත්තර එකවර ගැනීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාවකි. අද වනවිට බොහෝ ආයතනවලට පත්වන නියෝජිතයන් දෙස බැලූවිට පෙනෙන්නට ඇත්තේ එක්කෝ ජන්දයට මුදල් දුන් හෝ කුමන ආකාරයෙක හෝ උදව් කළ අයයි. නැතිනම් දේශපාලනය කර විශ්‍රාම ගිය හෝ ඔවුන්ගේ හිතවතුන්ය. එවන් පුද්ගලයන් සෑමවිටම කටයුතු කරන්නේ පත්කළ පුද්ගලයාට පක්‍ෂපාතීවය. ඔවුන්ට ජනතාවගේ දුක නොතේරේ.

● විදුලි ගාස්තු වැඩිකිරීම

දුප්පතාට ආණ්ඩුව සලකන්නේ දැනට පවතින ගාස්තුව රු. 8.00 සිට රු. 30.00 දක්වා 400% කින් වැඩි කරමිනි. නමුත් පොහොසතා භාවිතා කරන ඒකකයකට අයකරන රු. 75 ක් වන ගාස්තුව එලෙසම පවතී.

● ගෘහස්ථ අංශය

නව ගාස්තු වැඩිවීම යෝජනා කර ඇත්තේ මේ ආකාරයෙනි. ඒකක 30 දක්වා මෙතෙක් අයකළ රු.8.00 වන ගාස්තුව රු.30.00 දක්වාත් ස්ථාවර ගාස්තුව රු.400 දක්වාත් ඒකක 31-60 දක්වා මෙතෙක් පැවැති ගාස්තුව රු.10.00 සිට රු. 37.00 දක්වාත් ස්ථාවර ගාස්තුව රු. 550.00 දක්වාත් ඒකක 61-90 ගාස්තුව රු. 16 සිට 42.00 දක්වාත් ස්ථාවර රු. 650 දක්වාත් ඒකක 91-120 දක්වා සහ 121-180 දක්වා මෙතෙක් පවතින රු.50.00 ගාස්තුව එලෙසම තබන්නටත් එහි ස්ථාවර ගාස්තුව රු.1500 ක් කරන්නටත් 181 ට වැඩි රු.75.00 ඒකකයක ගාස්තුව එලෙසම තබන්නටත් ස්ථාවර ගාස්තුව රු.2000 ක් කරන්නටත් තීරණය කර ඇත.

විදුලි ඒකකයකට අයකරන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහළ නංවූ විට ගෘහස්ථ විදුලි ගාස්තු පහත පරිදි ඉහළ යනු ඇත. ඒකක 30 දක්වා දැනට පවතින රු.360.00 ක් වන බිල්පත රු.1300.00 දක්වා 265% ක ප්‍රතිශතයකිනුත් ඒකක 60 දක්වා දැනට පවතින රු.780.00ක් වන ගාස්තුව රු. 2560.00 දක්වාත් 228% ක ප්‍රතිශතයකිනුත් ඒකක 90 දක්වා ගාස්තුව රු. 1380.00 සිට රු. 3920.00 දක්වා 184% ක ප්‍රතිශතයකිනුත් ඒකක 120 දක්වා වන ගාස්තුව රු. 3480.00 සිට රු. 6270.00 දක්වා 80% ක ප්‍රතිශතයකිනුත් ඒකක 180 දක්වා ගාස්තුව රු.7440.00 සිට රු.9270.00 දක්වා 25% ක ප්‍රතිශතයකිනුත් වැඩිවේ. එසේ නම් විදුලි වැඩිවීම 66%ක් යැයි පවසා ආණ්ඩුවට අත පිහිදා ගත හැකිද? ආණ්ඩුව මේ කාවද රැවටීමට උත්සාහ කරන්නේ ජනතාවට සලකන ආකාරය ආණ්ඩුවට ඉදිරි මැතිවරණවලදී හොඳින්ම බලාගත හැකිවනු ඇත.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන ආගමික ස්ථානවලට නව ගාස්තු වැඩිවීම බලපාන්නේ මේ ආකාරයෙනි. ඒකක 30 දක්වා අයකළ රු. 8.00 ක් වන ගාස්තුව රු. 30.00 දක්වාත්, ඒකක 31-90 දක්වා අයකළ රු. 15.00 ක් වන ගාස්තුව රු. 37.00 දක්වාත් ඒකක 91-120 දක්වා අයකළ රු.20.00 රු.42.00 දක්වාත් ඒකක 121-180 ගාස්තුව රු.30.00 සිට රු.45.00 දක්වාත් ඒකක 180 වැඩි රු.32.00 ගාස්තුව රු.50.00 දක්වාත් ඉහළ දමා ඇත.

අද වනවිට ආර්ථික අතින් ස්වයංපෝෂිත විහාරස්ථාන ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. බොහෝමයක් පන්සල්, පල්ලි ඇතුළු ආගමික ස්ථාන නඩත්තු වන්නේ දායකයන් පරිත්‍යාග කරන මුදලිනි. තමන්ට තුන්වේල තබා දෙවේලක්වත් කන්න නැති තම නිවසේ විදුලි බිලටත් ගෙවාගත නොහැකි ජනතාවක් තවත් බිලක් ගෙවන්නේ කෙසේද? එසේම ඒකක 90 ඉහළ ගෘහස්ථ පාරිභෝගිකයන්ගෙන් අයකරන ගාස්තුව ඉහළ නොදැම්මත් සෑම පුද්ගලයකුගේම වන්දනාමානයට ලක්වන ආගමික ස්ථානවල ගාස්තු වැඩිකර ඇත්තේ කිසිදා පන්සලකට පල්ලියකට නොගිය නොමැරෙන අයෙකු ලෙස කටයුතු කොටය.

● කර්මාන්ත, හෝටල්, රාජ්‍ය ආයතන හා පොදු කාර්ය

කර්මාන්ත අංශයට දැනට ඒකකයකට අයකළ රු.20.00 ක් වන ගාස්තුව රු.26.00 දක්වා ඉහළ නංවා ඇති අතර හෝටල්, රාජ්‍ය ආයතන හා පොදු කාර්ය යටතට ගැනෙන ස්ථානවල විදුලි බිල වැඩිවන්නේ මේ ආකාරයෙනි. ඒකක 180 දක්වා රු.25.00 ක් වන ගාස්තුව රු.40.00 දක්වාත් ඒකක 180 ට වැඩි ඒකකයකට අයක මුදල් රු.32.00 සිට රු.47.00 දක්වාත් ඉහළ නංවා ඇත.

ජල බිල, විදුලි බිල, ගෑස්, සහල්, පරිප්පු, සීනි ආදී ලෙසින් පාරිභෝගික භාණ්ඩ මිල මෙන්ම සේවක පඩිනඩි, ව්‍යාපාරික ස්ථානවල කුලී මුදල් දෙතුන් ගුණයකින් ඉහළ නැග තිබෙන අවස්ථාවක තවත් මේ ආකාරයෙන් විදුලි බිල වැඩිවීම කෙසේ දරා ගනීවිදැයි විදුලි බිල වැඩිකර මාසයක් දෙකක් යනවිට හදිසියට තේ එකක් බීමට කඩයක් නැති තැනට පත්වුණ විට මේ තීන්දු තීරණ ගන්නා අයට දැකබලාගත හැකිවනු ඇති.

● විදුලි ගාස්තු සංශෝධනයට පාර්ශ්ව රැසකින් විරෝධය

ආණ්ඩුවේ එහෙයියන් නොවන සියලුම දෙනා මේ විදුලි ගාස්තු සංශෝධනයට විරුද්ධය. වෘත්තිය සමිති, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය, කර්මාන්ත කරුවන්ගේ සංගමය ආදී ලෙසින් පාර්ශ්ව රැසකින්ම දැඩි විරෝධය එල්ල වී ඇත. ජනතාවගෙනුත් අදහස් විමසා බැලීමට අප තීරණය කළේ මෙම ගැටලුව ජනතාවට තදින්ම බලපාන ප්‍රශ්නයක් බැවිනි.

ඩබ්ලිව්. ඒ. විතාන මහතා සිල්ලර බඩු වෙළෙඳ සලක හිමිකරුවෙකි. මේ ඔහුට විදුලි බිල වැඩිවීම දැනී ඇති ආකාරයයි.

ඉස්සර මට රුපියල් 3000ක විතර බිලක් ආවෙ. ඒත් දැන් මේ වැඩිවීමත් එක්ක 6000-7000ක් ඒවි. ඒක මට දරාගන්න බැහැ. මම දැන් හිතාගෙන ඉන්නෙ හවස 6-7 වෙනකොට කඩේ වහල දාන්න. මොකද රුපියල් දෙතුන් සීයක ලාබෙට රෑ 9-10 වෙනකන් කඩේ ඇරගෙන ඉඳල දහස් ගාණක බිලක් ගෙවන්න බැහැ.

මාලනී කුසුමලතා මහත්මිය ගෘහනියකි. ඇය විදුලි බිල වැඩිවීම පිළිබඳ පැවසුවේ මෙවන් අදහසකි.

මමයි මහත්තයයි අපි දෙන්නටම ස්ථිර රැකියාවක් නැහැ. ළමයි බැඳල ගිහිල්ල. අපි තේ දලු ටිකක් කඩාගෙන ජීවත්වෙන්නෙ. දැනට හත් අටසීයක් එන ලයිට් බිල තුන් හාරදාහක් වුණාම අපි කොහොමද ගෙවන්නෙ. එක්කො කරුවලේ ඉන්න ඕන. නැත්නම් එක වේලක් අතහැරල බඩගින්නෙ ඉන්න ඕන. මෙහෙම කාලකණ්ණි ආණ්ඩුවක් මගේ ජීවිතේට දැක්කෙ නැහැ.

යූ. ඩී. ධර්මසිරි ග්‍රොසරියක හිමිකරුවෙකි. මේ ඔහුගේ අදහසයි.

විදුලි බිල වැඩිවීමත් එක්ක මම හිතාගෙන ඉන්නෙ අයිස්, යෝගට්, කුකුළු මස් වගේ දේවල් විකුණන එක නවත්තන්න. අද ගේන බඩු අදම විකිණෙන්නෙ නැහැනෙ. පොඩි ලාබෙ වෙනුවෙන් ඒ වගේ තුන් හතර ගුණයක වියදමක් දරන්න බැහැ. තව ටික දවසක් බලල මමත් කඩේ වහල රටවත් යන්න ට්‍රයි කරනව. මේ වගේ පාලකයො ඉන්න රටක ජීවත්වෙන එකෙන් වෙන්නෙ ඇඟේ ලේ කෝප වෙල අපි ලෙඩ්ඩු වෙන එක විතරයි.

එසේම අපේ නිරීක්‍ෂණයේදී දැකගත හැකි වූ තවත් දෙයක් වූයේ බොහෝ සුපිරි වෙළෙඳ සල් තුළ වෙනදාට වඩා උණුසුම් ස්වභාවයක් පැවතීමයි. ඒ බොහෝ විට වායු සමීකරණ පද්ධති ක්‍රියාවිරහිත හෝ අඩුකර ඇති බැවිනි. මහල් දෙක තුනක අලංකාරව තිබූ භාණ්ඩ එක් මහලකට හෝ දෙකක කුඩා ඉඩකඩකට සීමා වී තිබේ. මේ හරහා බොහෝ භාණ්ඩ නරක්වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.

විදුලිබිල 66 % කින් වැඩිවීමත් සමග ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, සහ බත් පැකට් මිල 16 වැනිදා සිට 10% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. තවත් සතියක් දෙකක් යනවිට සියලුම පාරිභෝගික භාණ්ඩ දෙතුන් ගුණයකින් ඉහළ යෑම වැළැක්වීමට පඳුරකට පයින් ගැසූ විට 10-20 විසිවෙන තරමට සිටින කිසිදු ආර්ථික ඔස්තාර් කෙනෙකුට නොහැකිවනු ඇත.

● ගාස්තු වැඩිවීමත් සමඟ නවතින විදුලි කැපිල්ල

නව ගාස්තු සංශෝධනය මෙම මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වේ. විදුලිබල ඇමැතිවරයා පැවසුවේ 16 වැනිදා සිටම විදුලි කප්පාදුව නවතින බවයි. විදුලි ගාස්තු 16 වැනිදා සිට වැඩිකළත් එම මුදල් විදුලිබල මණ්ඩලය වෙත පැමිණීමට මාසයක් හෝ එකහමාරක කාලයක් ගතවේ. නමුත් විදුලි බලමණ්ඩලය විදුලිබිල වැඩිකළ සැණින් විදුලි කප්පාදුව නතර කරයි. එසේ නතර කිරීමට විදුලිබල මණ්ඩලයට ක්‍ෂණිකව විදුලිය ලැබුණේ කෙසේද? විදුලිය නිපදවීමට ජලය නැතැයි, ගල් අඟුරු නැතැයි, ගල් අඟුරු ගන්න ඩොලර් නැතැයි මන්තරයක් මෙන් ජප කළ ඇමැතිවරයා මේ සූදානම් වන්නේ තාප විදුලි මාෆියාකාරයන් පොහොසත් කිරීමට විය හැක. රටේ අනාගත පරපුරේ හෙට දවස තීරණය වන උසස් පෙළ කාලසීමාවේ අඛණ්ඩව ලබාදීමට නොහැකි වූ විදුලිය එක දවසින් ලැබීම පිළිබඳ සෙවීමට එකක් නොව ජනාධිපති කොමිෂන් 100 ක් පත්කළත් මදිය.

ඇමැතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් මින් ඉදිරියට විදුලිබල මණ්ඩලයේ සියලු ප්‍රශ්න අවසන් යැයි හැඟෙන පරිදි හැඟීම්බර ලෙස කතා කළේය. නමුත් ඇමැතිවරයාට අමතක වූ දෙයනම් ගියවර විදුලි ගාස්තු ඉහළ නැංවූ අවස්ථාවේත් පැවසුවේ මින් ඉදිරියට අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකරන බව මෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරේ වැඩි අවධානයක් යොමුකර ජනන වියදම අඩු කරන බවයි. නමුත් ලබන ජුනි මාසය වනවිට නැවත් වරක් විදුලි බිල වැඩි කිරීමට ඇමැතිවරයා හේතු දහසක් කියනු ඇත.

● ගල් අඟුරු ප්‍රමාණවත් වේද

එක් ගල් අඟුරු නැවක් ගොඩබෑමට දින 5 ක කාලයක් ගතවේ. අද පටන් අඛණ්ඩව පැය 24 පුරාම අප්‍රේල් අවසානය දක්වාම ගල් අඟුරු නැව් කිසිදු උපද්‍රවයකින් තොරව ගොඩබෑවත් ගොඩබෑ හැකි උපරිම නැව් ගණන 13 කි. මේ උපකල්පනය කළේ ගොඩබෑමේදී කිසිදු උපද්‍රවයකින් තොරව ගොඩබෑවොත් කියන තැන සිටය. නමුත් කල්පිටිය ප්‍රදේශයට ඉදිරියේදී ඇතිවන වාරකන් සමයට පෙර මෙම නැව් ප්‍රමාණයවත් ලබාගැනීමට හැකිවේදැයි සැක සහිතය. ඒ දැනට මෙරටට ළඟාවී ඇති නැව්වලට ගෙවීමට මුදල් නැතිව දිනකට ඩොලර් 80,000 ගණනේ ප්‍රමාද ගාස්තු ගෙවමින් නැව් රැඳී සිටින පසුබිමක ඒ ඉලක්ක සපුරා ගනීවිදැයි කිසිසේත් උපකල්පනය කළ නොහැක.

මෙතරම් ඉහළ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය කොට අවසානයේ ගල් අඟුරු නොමැතිව ජනතාවට කරුවලේ සිටින්නට නොවන බවට ආණ්ඩුව දෙන වගකීම් සහතිකය කුමක්ද? හැමදාම පටි තද කරගන්න යැයි පවසන ජනතාවට එවිට සිතෙන්නේ එම පටියෙන් පාලකයන්ගේ ගෙල සිරකිරීමට නොවේද?

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment