තවත් සක්විත්තෙකුට හසූ වීමට කලින්…

346

මූල්‍ය වංචාවල ගොදුරු බවට පත් නොවී සිටීමට…. දැනුවත් වී ඔබගේ ධනය රැකගන්න

තිළිණි ප්‍රියමාලි මේ දිනවල ඉතාම ජනප්‍රිය චරිතයකි. ඇය පිළිබඳ නොයෙකුත් පුවත් දිනපතාම පාහේ මාධ්‍යයේ පළවේ. තිළිණි ප්‍රියමාලි නමැති මේ කාන්තාව සිදුකර ඇති බව පැවසෙන මූල්‍ය වංචාවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 128 කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා තිබුණි. ඔහු පෙන්වා දෙන්නේ ඇය සිදුකළ බව කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති බවය. මේ අනුව ඇයට එරෙහිව පොලිසියට ලැබුණු පැමිණිලි ගණන ක්‍රමයෙන් වැඩි වී ඇත. මේ දැනට තත්ත්වය වන අතර ඉදිරියේ දී මේ පැමිණිලි ඇතැම් විට තවත් වැඩි විය හැකිය. ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු වෙමින් තිබේ. එසේම තවත් පුවතකින් වාර්තා වූයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යන ඇය එම කාර්යාලය වෙනුවෙන් මාස කිහිපයක් සඳහා රුපියල් කෝටියකට ආසන්න කුලී මුදල් පවා ගෙවා නොමැති බවයි. මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලදී හෙළි වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. පුද්ගලයන් රැසකගෙන් වංචා කළ බව කියන මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන මේ වන විට ඇය රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

මීට පෙර සක්විති, ගෝල්ඩන් කී සහ දඬුවම් මුදලාලි වැනි මහජනයාගේ මුදල් අනවසරයෙන් ලබාගත් පුද්ගලයන් සහ ආයතන සම්බන්ධ සිදුවීම් රැසක් අපට මතකය. එහෙත් දැනට වාර්තා වී ඇති පරිදි තිළිණි ප්‍රියමාලි නමැත්තිය බොහෝ දුරට මුදල් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය ජනයාගෙන් නොව සල්ලිකාරයන්ගෙන් බව ද පෙනේ. කෝටිපතියන්ගේ කෝටි ගණන් පිල්ලි ඇරපු ‘මැඩම්’ සහ කෝටි ප්‍රකෝටිවලින් මුදල් වංචා කළ සක්විති ගණයේ කාන්තාවක් වැනි හැඳින්වීම් ඇය හඳුන්වා දීමට මාධ්‍යයේ වාර්තා වන්නේ මේ නිසා විය හැකිය. දේශපාලනඥයන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරු, සහ නළු නිළියන් වැනි ඉහළ පෙළේ අය ද ඇයගේ ඇමට හසු වී ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇත. ඇය තමාට මුදල් දුන් අය එම මුදල් නැවත ඉල්ලූ විට එම මුදල් නොදී සිටීමට ද නොයෙකුත් උපක්‍රම භාවිත කර තිබේ. ඒ සඳහා ප්‍රසිද්ධ නිළියක් යොදාගෙන තිබූ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මැය ගමන් බිමන් ගියේ ද පෞද්ගලික ආරක්ෂකයන් සමග බවද කියති. මෙකී මාධ්‍ය වාර්තාවල ඇත්ත නැත්ත අප දන්නේ නැත. ඇය නීතිය ඉදිරියේ තවමත් සැකකාරියක් පමණකි. ඒ පිළිබඳ තීරණය කරනු ඇත්තේ උසාවියයි. එනම් උසාවිය ඒ පිළිබඳ කරුණු විභාග කර ඇය වරදකාරියක් ද නැද්ද යන්න තීරණය කරනු ඇත.

දැනට වාර්තා වී ඇති පරිදි මේ සිදුවීමෙන් අපට උගත හැකි ආයෝජන පාඩම් බොහොමයක් තිබේ. එසේම ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ද පොලිසියට හැකිව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසූ පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වී ඇත.

‘ස්පොට් චේන් කියලා පිරමීඩ් ආකාරයේ මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි ලැබුණා. මේ ව්‍යාපාරය ගැන කළ විමර්ශනයේදී කීර්ති බණ්ඩාර නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඔහු දැනට ඇප මත සිටිනවා. ඔහු සමග සම්බන්ධවෙලා චීන ජාතිකයෙක් කටයුතු කරලා තිබුණා. ඔහුගේ පෙම්වතිය ලෙස වැන් කියලා කාන්තාවක්. මේ තිදෙනා එකතුවෙලා මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිහින් තිබෙනවා. මෙම චීන ජාතිකයන් දෙදෙනා රටින් පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී සැප්තැම්බර් 12 වැනිදා අත්අඩංගුවට ගත්තා. ක්‍රිප්ටොකරන්සි සඳහා විවිධ පුද්ගලයන් නැඹුරුකර ගැනීම තමයි ඔවුන් කරලා තිබෙන්නේ. 2020 මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. පිරිස් මෙහි මුදල් ආයෝජනය කළාට පස්සේ ඔවුන්ට පෙන්වනවා විවිධ ප්‍රතිලාභ ලැබෙනවා කියලා. ඒ වෙනුවෙන් වෙනම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ හරහා ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීමක් ලෙස පෙන්නුම් කරලා මෙම ව්‍යාපාරය සිදුකරලා තිබෙනවා. නමුත් ගනුදෙනුකරුවන් එහි ප්‍රතිලාභ ගන්න යන අවස්ථාවේදී කිසිම ආකාරයකින් ඔවුන්ට ඒවා ගන්න ලැබිලා නැහැ. ඔවුන් ඉහළ සිට පහළට සම්බන්ධතාව බිඳදමලා පහළම දෙදෙනා අතර පමණක් සම්බන්ධතාව පෙන්වා මෙම කටයුතු කර තිබෙනවා..

8,000 ක් පමණ ලංකාවේ පුද්ගලයන් මෙම වංචාවට හසුවී තිබෙන බවත් සැකකරුවන් 2020 සිට මේ දක්වා රුපියල් කෝටි 1,400 වැඩි මුදලක් වංචා කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණි. සැකකරුවන් හඳුනාගත් ජංගම දුරකථන සඳහා කෙටි පණිවුඩ එවමින් මෙම ජාවාරමට පුද්ගලයන් සම්බන්ධ කරගෙන තිබෙන බවට ද පොලිසියට කරුණු අනාවරණය වී ඇත.

කලින් කලට මෙවැනි නොයෙකුත් ආකාරයේ මහජනයා මුලා කළ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු හෙළිදරව් වේ. ඒවා රටට හෙළිදරව් වන විට බොහෝ දෙනෙක් ඒවාට ගොදුරු වී තම වටිනා ධනය අහිමි කරගෙන සිටීම ද කනගාටුවට කරුණකි. රට වැටී තිබෙන ආර්ථික අගාදය හමුවේ මිනිසුන් සිටින්නේ ඉතාම අමාරුවෙනි. සියයට 70 ක පමණ අධික උද්ධමනය හමුවේ ජනයා තම ඉතුරුම්වලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට උත්සාහ කරනවා ද විය හැකිය. එසේ නැතහොත් දිනෙන් දිනම තම මුදල්වල වටිනාකම අඩු වීම සිදුවේ. එසේ කියා වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තම වටිනා මුදල් වංචනිකයන්ට කොල්ලකා ගැනීමට ඉඩ දිය යුතු නැත. ඒ සඳහා මෙවැනි දේ පිළිබඳ මීට වඩා විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. එනම් මෙවැනි මොහොතක මුදල් ආයෝජනයේ අවදානම් පිළිබඳ දැනුවත් වී මෙවැනි වංචාවල ගොදුරු බවට පත් නොවී සිටිය හැකි නම් එය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

මේ කියන තිළිණි ප්‍රියමාලිට එල්ල වී ඇත්තේ බරපතළ මූල්‍ය වංචා චෝදනාවන්ය. මෙම සැකකාරිය රුපියල් කෝටි ගණනක මුදල් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසා මෙරට නොයෙකුත් ධනවත් පුද්ගලයන්ගෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. තිළිණි ප්‍රියමාලි සිදුවීමෙන් පමණක් නොව තවත් සිදුවීම්වලින්ද අපට පැහැදිලි වන්නේ මුදල් තිබෙන මෙවැනි ධනවත් අයට පවා නිසි මූල්‍ය සාක්ෂරතාව නොමැති බවයි. මේ නිසා මූලික වශයෙන්ම තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු මූලික කරුණු පිළිබඳව හෝ අවබෝධය සෑම කෙනකුටම තිබීම ඉතාමත් වැදගත්ය.

තම ආයතනයේ හෝ තමන් ළඟ මුදල් ආයෝජනය කළහොත් ඉහළ ප්‍රතිලාභ දෙන බවට ඕනෑම අයකුට ප්‍රකාශ කළ හැකිය. ඒ ගැන ඔවුන් ඉතා ආකර්ෂණීය ප්‍රවර්ධන උපක්‍රම භාවිතා කරනවා ද විය හැකිය. එහෙත් එහිදී මූලික වශයෙන්ම බැලිය යුත්තේ කුමක් ද? එනම් එසේ මහජනයාගෙන් මුදල් ලබා ගැනීමට ඔවුන්ට බලයක් තිබේ ද යන්නයි. එනම් මූලික වශයෙන්ම මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමට නම් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය. එසේ නොමැතිව මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් නැත. ඒ නිසා මුදල් තැන්පතු ගැනීමට නම් එය අවසරලත් මූල්‍ය ආයතනයක් විය යුතුය.

රට තුළ අවසරලත් මූල්‍ය ආයතන මෙන්ම අවසර නොලත් මූල්‍යායතන ද තිබේ. මින් අවසරලත් මූල්‍යායතන ලෙස හඳුන්වන්නේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට නීතියෙන් බලය පවරා ඇති අයතනයන්ය. මෙහිදී කිව යුතු මූලික දෙයක් වන්නේ සමාගමක් ලෙස යම් ආයතනයක් ලියාපදිංචි කළ පමණින් ඒ ආයතනයට මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් නොලැබෙන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී ඇති ආයතන සමූහයක් තිබේ. ප්‍රධාන වශයෙන්ම ආයතන කාණ්ඩ තුනකට මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් තිබේ. ඒවා නම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මුදල් සමාගම්ය. කලින් කලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අවසරලත් මූල්‍ය ආයතන ලැයිස්තුව පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරනු ලබයි. මහ බැංකුවේ වෙබ් අඩවියට ද පිවිස ඒ ගැන දැන ගැනීමට හැකියාව ඇත. එසේම යම් ආයතනයක් අවසරලත් මූල්‍ය ආයතනයක් ද කියා ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මහ බැංකුවෙන් විමසා ඒ ගැන දැනගත හැකිය.

මේ නිසා ඔබට ඉහළ ප්‍රතිලාභ හෝ ඉහළ පොලියක් දෙන බව පවසා ඔබගෙන් මුදල් ඉල්ලා සිටින තැනැත්තා හෝ තැනැත්තිය නැවතී සිටින්නේ තරු හෝටලයක ද එසේත් නැත්නම් ඒ අයගේ කාර්යාලය තිබෙන්නේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ද හෝ ඒ අය ආශ්‍රය කරන්නේ කවුද යන්නෙන් ඔබ ලබාදෙන මුදල්වලට කිසිදු ආරක්ෂාවක් නොලැබේ. එසේම ඔබගෙන් මුදල් ඉල්ලා සිටින අය ඔබගේ හිතවතකු, ඥාතියකු හෝ අසල්වැසියකු වුවද ඔවුන් කවර සුරංගනා කතා කියා සිටිය ද ඒ කිසිවකින් ඔබගේ මුදලට ආරක්ෂාවක් නැත.

මූලික වශයෙන්ම ඔබ බැලිය යුතු කරුණක් වන්නේ ඔබ මුදල් තැන්පත් කරන ආයතනය අවසරලත් පිළිගත් ආයතනයක් ද යන්නයි. කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට ද බලය ඇත්තේ කොටස් තැරව්කාර ආයතන හරහාය. එසේම ඔබේ මුදල් ආයෝජනය කරන්නේ විදේශ කොටස් වෙළෙඳපොළේ බව ද කියා සිටිය හැකිය. එහෙත් ඒ සඳහා විදේශ විනිමය අවශ්‍ය වේ. ඔබගෙන් ලබාගන්නා රුපියල්වලින් විදේශ කොටස් වෙළෙඳපොළවල ආයෝජනය කිරීමට හැකියාවක් නැත. එසේ නම් ඒ සඳහා විදේශ විනිමය සපයා ගන්නේ කෙසේ ද? හවාලා සහ උන්ඩියල් ක්‍රම හරහා ද?

ඒ නිසා මේ කුමන දෙයක් කීවත් ඔබගේ මුදල් ගැන ඔබ විමසිලිමත් වූයේ නැත්නම් වන්නේ ඒ ආයෝජනය හෝ තැන්පත් කරන මුදල්වලට දෙනවා කියා සිටි ඉහළ ප්‍රතිලාභ පමණක් නොව ඔබ තැන්පත් කළ හෝ ආයෝජනය කළ මුල් මුදල පවා ඔබට අහිමි වීමයි. එහෙත් එසේ ඔබ දුකට පත්වීමට වගකිව යුත්තා ඔබමය.

එසේ ඔබ රැවටීමට ලක් වී පසුව නීතියේ පිහිට පැතිය හැකිය. ඒ සඳහා ද තවත් මුදල් ඔබට වැය වේ. පොලිසි සහ උසාවි ගානේ රස්තියාදු වීමට ද ඔබට සිදුවේ. ඔබේ වටිනා කාලය සහ ශ්‍රමය ද වැය වේ. නීතියේ පිහිට පැතුවත් ඔබෙන් ලබාගත් ඒ මුදල් ලබාගත් ආයතන හෝ පුද්ගලයන් වියදම් කර ඇත්නම් හෝ දැන් ඒ මුදල් ලබාදීමට ඔවුන් සතුව මුදල් හෝ වත්කම් නැත්නම් සිදු වන්නේ කුමක් ද? එවිට ඒ මුදල් ලබා ගැනීම ඉතාමත් දුෂ්කර සහ කල්ගතවන කටයුත්තක් විය හැකිය. එසේම පිරමීඩ යෝජනා ක්‍රම වැනි දේවලින් ද ඔබ මුළාවට පත්ව ඔබගේ වටිනා ධනය විනාශ විය හැකිය. එසේම අන්තර්ජාලය හරහා මෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ද ඔබව මුළාවට අත්කරන නොයෙකුත් වංචනික යෝජනාක්‍රමවල ප්‍රවර්ධනයන් ක්‍රියාත්මක වේ. වඩාත් වැදගත් වන්නේ මේවාට ගොදුරු වීමෙන් පසු නීතියේ පිහිට පැතීම නොව මේවාට ගොදුරු නොවී සිටීමයි.

අප මුලින් සඳහන් කළ පරිදි මූලික වශයෙන් මුදල් තැන්පත් භාර ගැනීමට බලය ඇති ආයතන කාණ්ඩ තුනට අමතරව තැන්පතු භාර ගැනීම සඳහා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ හෝ මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු නැති ආයතන කිහිපයක් ද තිබේ. ඒවා නම් සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි වූ සමුපකාර සමිති, ජාතික නිවාස පනත යටතේ පිහිටුවනු ලැබූ ගොඩනැඟිලි සමිති සහ යම් කිසි නීතියක් යටතේ පිහිටුවා ගන්නා ලද ලාභ ඉපයීම පරමාර්ථ කර නොගත් වෙනත් ඕනෑම සමිතියකට හෝ සංවිධානයකට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ඇතිව සිය සාමාජිකයන්ගෙන් පමණක් තැන්පතු භාරගත හැකිය. එහෙත් මේ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවේ. මේ හැරෙන්නට වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගත නොහැකිය.

මහ බැංකුවෙන් අවසර ලබා තිබුණත් එහි අදහස එම ආයතන කිසිදා බිඳ වැටෙන්නේ නැති බවක් නොවේ. එවැනි ආයතනවල පවා බිඳ වැටීම් සිදුවිය හැකිය. අසාර්ථකවීම් සහ නොසන්සුන්තාවන් ඇති වීමට ඉඩ තිබේ. ප්‍රමුඛ බැංකුවේ බිඳ වැටීම ගැන අපට මතකය. ඒ නිසා තවත් වැදගත් ආයෝජන පාඩමක් වන්නේ ඔබගේ සියලු මුදල් එක තැනක ආයෝජනය නොකර ආයෝජන කලඹක් පවත්වා ගැනීමයි. සියලු බිත්තර එක බඳුනකට නොදමන්න කියා කතාවක් තිබේ. එම බඳුන බිඳී ගියහොත් සියලු බිත්තර කැඩී විනාශ වෙයි. එහෙත් ඔබ බඳුන් කිහිපයක බිත්තර දමා තිබුණා නම් එක බඳුනක් විනාශ වුවත් කැඩී විනාශ වන්නේ එම බඳුනේ ඇති බිත්තර පමණි. අනෙකුත් බඳුන්වල තැන්පත් කළ බිත්තර ආරක්ෂා වේ. ඒ ආකාරයටම පිළිගත් මූල්‍ය ආයතනයක හෝ බැංකුවක වුවත් ඔබ සතු සියලු ධනය එකම ආයතනයක ආයෝජනය හෝ තැන්පත් කිරීම සුදුසු නොවේ. එම ආයතනයේ ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔබගේ එම මුළු මුදලම අවදානමට ලක් විය හැකිය. මේ නිසා විධිමත් මූල්‍ය ආයතන ගත්ත ද සියලු ධනය එකම තැනක ආයෝජනය නොකර ස්ථාන කිහිපයක තැන්පත් කළ හැකි නම් එය ඔබගේ ධනයට වඩාත්ම සුරක්ෂිත බව කිව හැකිය.

අවසර නොලත් මූල්‍යායතන යනු මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකූල බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරන ආයතන හා පුද්ගලයන්ය. බැංකු පනත හා මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාවේ මූල්‍ය අතරමැදිකරණ ව්‍යාපාර කටයුතු පාලනය වේ. මේ නීතිවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන බලපත්‍රයක් නැතිව මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගත නොහැකිය. ඇතැම් විට එම ආයතන සහ පුද්ගලයන් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ තැන්පතු යන වචනය සඳහන් නොකරමින් ඒ බව සඟවමින් විය හැකිය. ඒ සඳහා ආයෝජන, වන වගා ව්‍යාපෘති, නිවාස ව්‍යාපෘති සහ විදේශ කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීම වැනි විවිධ ආකර්ෂණීය වචන ඔබට කියනවා විය හැකිය. එවැනි වංචනිකයන් කවර දේ ප්‍රචාරය කළත් ඔබ ඒවාට ගොදුරු නොවී සිටීමට විමසිලිමත් විය යුතුය. මේ කියන තිළිණි ප්‍රියමාලිට හසු වී ඇති බවට වාර්තා වන්නේ නම් එසේ මෙසේ අය නොව ඉතා බලගතු සහ ධනවත් අය බව ද පැවසේ. සාමාන්‍ය අය ඒ සඳහා ගොදුරු වී ඇති බවට අසන්නට නැත. ඒ ගැන ඇතැම් අය සතුට පළ කරති. එහෙත් අප නම් සිතන්නේ මේ ඉමහත් ආන්දෝලනාත්මක සිදුවීමෙන් ඔබට මුදල් ආයෝජනය ගැන බොහෝ පාඩම් ඉගෙනීමට හැකි බවයි. මේ ගැන දැනුවත් වීමෙන් සහ විමසිලිමත් වීමෙන් මේ වංචාවල ගොදුරු බවට පත් නොවී සිටීමට හැකියාව ලැබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment