තවමත් අබිරහසක් වූ රටම සසළ කළ අටලුගම පාතිමා බිලිගත් ඝාතකයන් කවුද?

904

* නිවසේ සිට මීටර් 150 ක් දුරින්  ඇළ මාර්ගයක වළ දමා තිබූ මළ සිරුර වර්ෂා ජල පහරට හසුවීමෙන් මතු වෙයි

* මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවූ  පියා දැරිය අතුරුදන් වන විට  නිවසේ ඉඳලා නෑ

* පොලිස් සුනඛයා දැරිය ගිය වෙළෙඳසල අසලට ගොස් නවතී

තවමත් අබිරහසක් වූ රටම සසළ කළ අටලුගම පාතිමා බිලිගත් ඝාතකයන් කවුද?

අද වන විට අප රටේ දරුවන් පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් වැඩිහිටි අවධානය යොමු කරවන මෙන්ම ඇසට කඳුළු නැගෙන කතාවක් ඉකුත් 27දා බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

තවමත් අබිරහසක් වූ රටම සසළ කළ අටලුගම පාතිමා බිලිගත් ඝාතකයන් කවුද?

බණ්ඩාරගම, අටලුගම නම් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ කුඩා කල සිටම ජීවත් වූ පවුලක තුන් වැනි දියණියට මෙම ශෝකජනක සිදුවීම ඉකුත් 27 වන දින සිදුවී ඇති බව වාර්තා විණි.

තවමත් අබිරහසක් වූ රටම සසළ කළ අටලුගම පාතිමා බිලිගත් ඝාතකයන් කවුද?

නම වන වියේ පසුවූ අටුලුගම අල් ගස්සාලි මහ විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාතිමා අයේෂා අක්ක්‍රම් නැමැති දැරිය නිවෙසේ පාඩම් කටයුත්තක් කරමින් සිටියදී ඇයගේ මව විසින් ඇයට අඬගසා ඇත්තේ යාබදව පිහිටා ඇති වෙළඳසැලකට ගොස් කුකුළු මස් කිලෝවක් රැගෙන ඒමටය. දැරිය විසින් මුදල් සහ මස් රැගෙන ඒමට බෑගයක්ද මවගෙන් ඉල්ලා ගෙන නිවසේ සිට මීටර් දෙසිය පනහක් පමණ ඈතින්වූ වෙළඳ සැලකට (27දා) උදේ 10ට පමණ ගිය අවස්ථාවේ සිට පැය කිහිපයක් ගත වන තුරුත් ඇය නිවසට නොපැමිණ අතුරුදහන් වී ඇති බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබුණු බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බවත් පියකරු හා අහිංසක පෙනුමකින් යුත් දැරියක වන බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පවසයි. දැරිය පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාස වලද සොයා ඇති අතර ඒවායේද නොමැතිවීම හේතුවෙන් පොලිසියට පැමිණිලි කර ඇතැයි බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පැවසුවාය.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය යුහුසුලුව ක්‍රියාත්මකවී විමර්ශන හා පරීක්ෂණ ආරම්භ කළ අතර ඊට අමතරව ලැබුණු උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි නිලධාරීන්ද ඒකාබද්ධව පුළුල් පරීක්ෂණයක් පැය 24 පුරා ක්‍රියාත්මක කළ බවත් පොලිසිය පවසයි. පැය විසි හතරකට වඩා අධික කාලයක් අතුරුදන්ව සිටි ෆාතිමා දැරියට කුමක් සිදු වූයේද යන්න දැනගැනීම සඳහා පොලිසිය සහ අටලුගම ප්‍රදේශවාසීන් එක්ව දැරිය කුකුළු මස් ගෙන ඒම සඳහා ගිය වෙළඳසැලට යන මාර්ගය සහ නැවත වෙළඳසැලේ සිට නිවසට පැමිණෙන මාර්ගය දෙපස මෙන්ම අවට ප්‍රදේශ පරීක්ෂා කරමින් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම 28 වැනි දින සන්ධ්‍යාව දක්වාම සිදු කරමින් සිටියදී දැරියගේ නිවසේ සිට මීටර් 150 ක පමණ දුරින් පිහිටා ඇති අටලුගම මහපල්ලිය නැමැති ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක් සහ වගුරු බිමක් පරීක්ෂා කිරීමද ප්‍රදේශවාසීන් සිදු කළ අතර එහිදී වැසි ජලය සහ අප ජලය බැස යන කුඩා ඇල මාර්ගයක ඇගේ මළ සිරුර වල දමා තිබෙන අයුරු ප්‍රදේශවාසීන් දැක ඒ බව පොලිසියට දැන්වීමත් සමඟ දැරියගේ නිසල සිරුර සොයා ගත් බවත් පොලිසිය පැවසීය. 28 වන දින සවස එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ගලා ගිය ජල පහරට වල දමා තිබුණු සිරුරේ කකුලක කොටසක් මතුවී තිබී ඇති බවත් දැරියගේ පාවහන් යුගල එම ඇල මාර්ගය ආසන්නයේ තිබෙනු දුටු තරුණයන් තිදෙනෙක් සැකයට එම ඇල ඔස්සේ ගමන් කිරීමේදී මෙම ඇලේ වල දමා තිබුණු සිරුර දැක තිබෙන බව පොලිසිය සඳහන් කරයි. දැරිය නිවසේ සිට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි වෙළඳ සැළට ගොස් කුකුල් මස් රැගෙන නිවස බලා ගමන් කරන අයුරු වෙළඳ සැළක ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණු බවත් ඒ අනුව පරීක්ෂණ සිදුකළ බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට මෙම අහිංසක දියණියගේ මරණය ඝාතනයක් බව මූලික පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබේ. ෆාතිමා දැරිය අටුලුගම ගම්වාසීන්ගේ සිත් දිනා ගත් දැරියකි. ඇය ඉගෙනුමට ඉතා දක්ෂ දැරියක් මෙන්ම ගමේ ජීවත්වන ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සියලු දෙනා සමඟම ඉතාම සමීපව සහ ලෙන්ගතුකමකින් ජීවත් වූ දැරියක් බවත් නිතරම සිනාමුසු මුහුණින් සිටි දියණියක් බවත් ගම්වාසීන් පවසන්නේ හැඬූ කඳුළිනි. ඇගේ පියා වන මොහොමඩ් අක්ක්‍රම් යන අය මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවී සිටින්නෙක් බවත් දැරිය අතුරුදන් වන විට ඔහු නිවසේ සිට නැති බවත් දහවල් ආහාරය පිසීම සඳහා මස් රැගෙන ඒමට වෙළඳසැළට ගිය දියණිය නිවසට නොපැමිණීම නිසා ඒ ගැන මහත් කලබලයට පත් වීම හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බලා පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කළ බවත් ඇයගේ මව වන ෆාතිමා මුන්ටාස් මහත්මිය පවසයි.

සිකුරාදා දහවල් කාලයේදී යාඥා මෙහෙයන් සඳහා මුස්ලිම් බැතිමතුන් අටලුගම මහ පල්ලිය ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණෙන බැවින් එම බැතිමතුන්ගේ සහයෙන්ද දැරිය සොයා මුළු ගම්මානයම පරීක්ෂා කළද සිකුරාදා දවස තුළ ඇයව හමු නොවූ බැවින් පොලිසිය සහ ගමේ අය සමග එකතුව දැරිය ගැන හොයන කොට තමයි මේ දේ ආරංචි වුණේ යැයි හැඬූ කඳුළින් ඇය වැඩිදුරටත් පැවසීය.

ඇගේ මළ සිරුර හමුවන ඇල මාර්ගය ඇත්තේ ඇය නිවසට ගමන් කරන මාර්ගයේ නොවන බවත් නිවසට ගමන් කරන මාර්ගයෙන් හැරී යන අතුරු මාර්ගයක බවත් පොලිසිය පවසයි. එම අතුරු මාර්ගයට දැරිය ගමන් කළේ අතුරු මාර්ගයේ රැඳී සිටි යම් පුද්ගලයෙක් ඇය එම මාර්ගයට කැඳවූයේ දැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් ඒ පිළිබඳ ප්‍රධාන සැකයක් මතුව ඇති බවත් පොලිසිය පවසයි. මෙසේ ඇයව අතුරු මාර්ගයට කැඳවූ පුද්ගලයා යම් අපරාධයක් කිරීමේ අරමුණින් දැරිය එසේ ගෙන්වා ගත්තේද නැති නම් ඇය අත තිබූ මස් පාර්සලය හෝ මුදල් පැහැර ගැනීමේ අරමුණ වූයේදැයි සැකයක් මේ වන විට මතුවී ඇති බවත් දැරියට මෙම වගුරු බිම් ප්‍රදේශයට යෑමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබුණු බව ඇයගේ දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රකාශයන්ගෙන් තහවුරු වන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

දියණියගේ පාවහන් යුගල ඇති ස්ථානයත් මළ සිරුර හමුවන ස්ථානයත් අතර පරතරය දෙස බැලීමේදී ඇගේ මරණය සිදුව ඇත්තේ අතුරු මාර්ගයේදී නොව, ඇල මාර්ගයේදී බව පැහැදිලි සැකයක් මතුවන බව බණ්ඩාරගම පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. දැරියට මෙම අපරාධය කළ පුද්ගලයින් සොයා වැඩිදුර පරීක්ෂණ හා විමර්ශන පවත්වන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මෙන්ම දැරියට සිදුවී ඇති අපරාධ ගැන පැහැදිලි නිගමනයකට එළඹීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දැරියගේ තොරතුරක් සොයා ගැනීම සඳහා හොරණ පොලිස් නිල සුනඛ ඩෘනෝ සුනඛයා යෙදවූ බවත් දැරිය අතුරුදහන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රී ඇඳුම සුනඛයාට ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුව සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුණු බව පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ පියාගේ ඥාතියෙකු පිළිබඳ යම් සැකයක් පවතින බවත් ඔහු පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවත් දැරිය අතුරුදන්වූ දිනයේදී අටුලුගම ප්‍රදේශය නවතා තිබූ සැකකටයුතු වෑන් රථයක ඡායාරූප සමාජ මාධ්‍යයේ සංසරණයනය වූ බැවින් එම වෑන් රථයේ අංකය ඔස්සේ හිමිකරු සොයා ප්‍රකාශයක් ලබා ගත් බවත් මෙම වෑන් රථයේ හිමිකරු හෝ රියදුරු මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් තහවුරු කරගත් බවද පොලිසිය පවසයි.

දැරිය අතුරුදන්වූ දින සවස පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් වේල්ල වීදිය පොලිසිය දැනුවත් කර දැරිය පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී එම තොරතුර අසත්‍ය බව වේල්ල වීදිය පොලිසිය සහ පිටකොටුව පොලිසිය තහවුරු කළ බවද පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව සහ පියාගෙන් මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලිසිය පැවසීය. දැරියගේ මළ සිරුර හමුවූ අටුලුගම මහ පල්ලිය ප්‍රදේශයට 28 වන දින සන්ධ්‍යාවේ දී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අතුකෝරල මහත්මිය පැමිණ ස්ථානික පරීක්ෂණ සිදුකළ අතර දැරියගේ මරණයට හේතුව සොයා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස නියෝග කළාය. එම නියෝග මත එම ස්ථානයට පැමිණි පානදුර මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රශාන් විජේතුංග මහතා ප්‍රමුඛ කණ්ඩායමක් දැරියගේ මළ සිරුර තිබූ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහල රැගෙන ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර පාණදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත බණ්ඩාරගම පොලිස් ස්ථානය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

එස්.ඩී. අබේසිංහ – මහරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment