තව සතියක්ම වැස්ස: අදයි හෙටයි වැසි වැඩි වෙයි – කාලගුණේ කියයි

255

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සතියක පමණ කාලයක් පවතින බවත්, අද (24 දා) සහ හෙට (25දා) වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මෙම වැසි තත්ත්වය සාපේක්ෂව අඩු වැඩි වශයෙන් පවතින බව ද දිවයිනට ගිනිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඇය සඳහන් කළාය.

නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත්වල සහ මුලතිව්, වව්නියාව, මාතලේ, හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවලට තද වැසි අපේක්ෂා කරන බව ද මෙම කැළඹිලි ස්වභාවය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය. මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුරුමැද හා ඌව යන පළාත්වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment