තහනම් කලාප ඇති කළේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවටයි

154

පැටව් කිව්වට රටේ ආරක්ෂාවට කියලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගලිගමුව  ආසන බල මණ්ඩලය අමතමින් කියයි

රාජපක්ෂ පැටව් කියනවා මේ තහනම් කලාප ඇති කලේ රටේ ආරක්ෂාවට කියලා.නමුත් රටේ ආරක්ෂාවට නොවෙයි රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවටයි මෙම කලාප ඇති කරන්නේ. පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ නිවිතිගල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකුට වෙඩි තියලා මැරුවා. ජනාධිපතිතුමාත් එහි ගිහිල්ලා එදා කිව්වේ එම පවුල් බලා ගන්නවා කියලා. අද ඒ පුද්ගලයාට දඬුවම්දීම වෙනුවට රාජ්‍යය ඇමැතිකමක් දීලා. වැරදිකරපු උන්ට සුරපුරයක්. මේ ආණ්ඩුවට මම කියනවා රාජපක්ෂලා දේශපාලන පිටියෙන් සදහටම සමුගන්න වෙන දවස ළඟයි කියලා යැයි විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කළේ පසුගිය (25) දින සමගි ජන බලවේගයේ ගලිගමුව ආසන සංවිධායක සුරේෂ් සෝමදාස මහතා විසින් සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ ගලිගමුව ආසන බල මණ්ඩලය අමතමිනි. බල මණ්ඩල රැස්වීම කෑගල්ල ඇදුරාපොතදී පැවැත්විනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කියා සිටියේය.

අද තියෙන්නේ ජනමතයට බය වුනු අරුම පුදුම ආණ්ඩුවක්. හේතුව ආණ්ඩුවේ ප්‍රධානියා බිහි වුයේ ජනමතයෙන් නොව 134 වූ පාර්ලිමේන්තු පොහොට්ටු වහලු‍න්ගේ කතිරෙන්. පොදු ජනතාව අතරට ජනතා අභිලාෂයන් ඉටු කිරීමට මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ජනතාවට සහන සැලසීමට ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ඇමැතිවරු ජනතාවට හෙණ ගැහැව්වත් කමක් නෑ කියලා ඇමැති තනතුරු ලබාගෙන වරදාන වරප්‍රසාද බුක්ති විඳිනවා. මේක වැඩ බැරි ආණ්ඩුවක්. අද උද්දමනය වැඩිවෙලා. ලයිට් බිල අහස උසට නැගලා. ජනතාවගේ රැකියා අහිමි වෙලා. තරුණ තරුණියන්ගේ අපේක්ෂා බිඳ වැටිලා. ඔවුන් රට අතහැර යනවා. කොහොමද මෙහෙම වුනේ. ජනතාව රවටපු රැල්ල සමග.උන් ඒක

පිළිගන්නේ නෑ. බිලියන 60 පමණ කෝටිපතියන්ට බදු සහන දීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළා. ඒ හරහා දළ දේශීය ආදායම් සියයට 4 කින් අහිමි වුණා. අපි මේවා පෙන්වලා දුන්නා. ඒවා ගනන් ගත්තේ නෑ. පසුගිය කොවිඩ් සමයේ අපි කිව්වා මාක්ස් ජනතාව ලබා දෙන්න කියලා. දුන්නේ නෑ. පිටරටින් එන අය පාලනය කරන්න කිව්වා. ආණ්ඩුව මොකද කිව්වේ පිටරටවල් තරහා කර ගෙන බෑ කිව්වා. මේවා අපි කියන කොට හිනා වුණා. සමාජ මාධ්‍යය ජාලාවලින් ගැහැව්වා. වැක්සින් වෙනුවට මුට්ටි ගඟට දැම්මා. පැණි බීම වැනි දේවල් මේ අය කළේ. 20 වැනි සංශෝධනය ගෙනල්ලා අපිට තමයි හොඳටම කරන්න පුලවන් කියලා හොඳට කරන්න පාර්ලිමේන්තුවේ බලයත් ඕනෑ කිව්වා. ගෝඨාභය රාජපක්ෂගේ අත කොලු‍වෝ අත ඉස්සුවා. වෙනකොට පොහොර නෑ. තෙල් නෑ. කොටින්ම ජනතාවගේ ජීවත් වීමත් අහිමි කළා. මෙහෙම වෙනකොට මොනවද ආණ්ඩුව කළේ. මුදල් ඇමැති කපුටා ඉල්ලා අස් වුණා. පස්සේ අගමැති ඉල්ලා අස්වුණා. පස්සේ ජනාධිපතිට රටිනුත් යන්න වුණා. නමුත් රටේ වෙනසක් වුණාද නෑ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගෝඨාභයගේ අවතාරයක්. රාජපක්ෂලාගේ දොරටු පාලයෙක්. ඒ නිසා ජනතාව නව ගමනක් යන්න ලෑස්ති වෙන්න. පාර්ලිමේන්තුවේ පොහොට්ටුකාරයෝ කියනවා අද රටේ මන්ද පෝෂණය නැතිලු‍. පාසල් දරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතිලු‍ කියලා. මුළු රටම සෞභ්‍යායයි කියලා.මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව එලවනකල් රටට සුගතියක් ඇති වෙන්නේ නෑ.

අද ආණ්ඩුව තුන් පැත්තකින් ජනතාවට ගහනවා. නිදහස් මාධ්‍යය මර්ධනය කරනවා.

ත්‍රස්ත්‍ර මර්ධන පනත හරහා තරුණ ජවය හිරකරන ගමන් රටේ මර්ධනකාරි ප්‍රතිපත්ති ඇති කරමින් තහනම් කලාප ඇති කරනවා. නිදහස් නිවහල් රටක් ඇති කිරීම වෙනුවට ජනතාව ත්‍රස්ත්‍රවාදීන් ලෙස කටයුතු කරනවා. ගලිගමුවේ ජනතාවට මම කියන්නේ කෑගල්ලත්, සබරගමුවත් මුළු ලංකාවත් මගට බැහැලා අගනුවරට ඇවිල්ලා මේ ඒකාධිපති ආණ්ඩුව ගෙදර යැවීමේ සාමකාමී විරෝධාතවයකට සුදානම් වෙන්න කියලා.

අපි අපිට ඡන්දය දෙන ජනතාව ළඟට යන්න ඕනෑ මිස ජනතාව අපි ළඟට එනකල් සිටීම හොඳ නෑ. රණසිංහ ප්‍රේමදාස වගේ පොදු ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ දහඩිය සුවඳ හඳුනාගෙන කටයුතු කිරීම සමගි ජන බලවේගයේ ආණ්ඩුවක අරමුණයි.

අපි ඉල්ලනවා රටේ භීෂණයක් නිර්මාණය කරන්න එපා කියලා. ළඟදී එන්නේ මහා මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද මම ඒකට සුදානම්. ජනතාව වෙනුවෙන් විප්ලවයක් කිරීමට. එවිට ගලිගමුවට පමණක් නොව කෑගල්ලටත්, සබරගමුව පළාතටත් ලංකාවටත් සුපිරි සැලකිල්ලක් ලැබෙන්නේ. තොරතුරු තාක්ෂණය, නව තාක්ෂණය, ඩිජිටල්කරණය සමග රට ඉදිරියට ගෙනයෑමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කබීර් හෂීම්, සජිත් පෙරේරා, මයන්ත දිසානායක, ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍යය විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරු ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ සමගි  බලවේගයේ ආසන සංවිධායකවරුද සහභාගි වී සිටිහය.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment