තහනම් ගහේ ගෙඩි කන්න අවසර

1011

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල ඇති කොස් ගස්වල මෙවර ඵලදාව ඉහළ ගොස් ඇති බවත් එම ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්යට වැටී කුණු වී යන බවත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු පවසති.

බොහෝ දෙනකු රක්ෂිත ඉඩම්වලට යෑම නීති විරෝධී බැවින් ඒවාට ඇතුළුවීමට බියක් දක්වන බවත් කොස් ඵලදාව නෙළා ගැනීමට පමණක් මුදල් අය කිරීමකින් තොරව වන රක්ෂිතවලට ඇතුළු වීමට බලපත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත් කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දිවයින පුරා වන සංරක්ෂණ ඉඩම් හෙක්ටෙයාර් 3000ක් පමණ ඇති බවත් මෙම ඉඩම් සියල්ලේම කොස් වගා කර ඇති අතර එම ගස්වල හට ගන්නා ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්යට වැටී කුණු වී යන බවත් ඔවුහු සඳහන් කරති.

මෙම කරුණු අනාවරණය වූවේ කෘෂිකර්ම, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරේදා (01දා) පැවති සාකච්ඡාවකදීය.

ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ පෝෂණ ගුණය බහුල කොස්, දෙල් වැනි ආහාර අපතේ යෑම වැළැක්විය යුතු බවත්, වන සංරක්ෂණ ඉඩම්වල ඇති කොස් ඵලදාව නෙළා ගැනීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

දැනට ඇති තොරතුරු අනුව ලංකාවේ වාර්ෂික කොස් අස්වැන්න කොස් ගෙඩි කෝටි 28කි. නමුත් ඉන් පරිභෝජනය කෙරෙනුයේ කෝටි 08ක් පමණ ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම අපතේ යන බව හෙළි වී ඇත.

කොස් ආශ්‍රිතව ආහාර විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමේ හැකියාව ඇතත් ඒ සම්බන්ධව විධිමත් දැනුමක් මහජනතාවට නැත. එම නිසා කොස් ආශ්‍රිත නිෂ්පාදන හා ඒවා විජලනය කර කල්තබා ගැනීම මෙන්ම පලතුරක් ලෙස අපනයනය කිරීමට ද හැකි නිසා ඒ සම්බන්ධව වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒකාබද්ධව ඇරැඹිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment