තහනම් පෙමක් තිදෙනෙකුට මරණය ගෙන ආ හැටි… ගල්ගමුව සසළ කළ ඛේදවාචකය

1670

ගල්ගමුව මහ නාන්නේරිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දිකා ශාන්ති 28 හැවිරිදි විවාහක කාන්තාවකි. වයස අවුරුදු දහයක සහ පහක පුතුන් දෙදෙනකුගේ මවක් වූ ඈ විවාහ වී සිටියේ නාවික හමුදා සෙබළකු සමඟයි.

පොල්පිතිගම ප‍්‍රදේශයේ ජීවත් වූ ඉන්දිකා සිය සැමියා හා දරු දෙදෙනා සමඟ මීට මාස කිහිපයකට පෙර මහනාන්නේරිය ප‍්‍රදේශයේ කුලී නිවාසයක පදිංචියට පැමිණියහ.

නාන්නේරිය ප‍්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි ප‍්‍රියංග තුෂිත කුමාර ඉන්දිකාගේ පාසල් කාලයේ පෙම්වතාය. පාසල් පේ‍්‍රමය විවාහයක් දක්වා ගෙන යෑමට නොහැකි වූ නිසා නාවික හමුදා සෙබළකු හා විවාහ වුවද විවාහයෙන් පසුවත් ප‍්‍රියංග සමඟින් ඇය වසර ගණනාවක් තිස්සේ සම්බන්ධතා පවත්වා ඇති බවට ප‍්‍රදේශවාසීන් පවසයි. දෙදරු මවක් වුවද පාසල් වියේ පටන් තිබූ පේ‍්‍රමයට හරස් වන්නට ඇයට නොහැකි විය.

තම නීත්‍යානුකූල සැමියා රාගම ප‍්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටින දිනවල ඉන්දිකා සිය අනියම් පෙම්වතාට නිවෙසට ආරාධනා කරන්නට ඇත්තේ ඔවුන්ට පෙම් සුව විඳීමට ආරක්ෂිතම ස්ථානය නිවස බව හොඳින් දන්නා නිසාය. දරුවන් සමඟ පවා ලෙංගතුව කතා කරමින් ප‍්‍රියංග තම පෙම්වතිය සමඟ පෙම් සුව වින්දේ තමන් කරන්නේ වරදක් බවද අමතක කරමිනි. ‘‘චුට්ටේ මාමා” ලෙස ඉන්දිකාගේ දරුවන් ප‍්‍රියංගට ආමන්ත‍්‍රණය කරන තරමටම ඔවුහු ඉතාමත් සමීපව කටයුතු කළහ.

වටින් පිටින් ඉන්දිකාගේ අනියම් පෙම කණවැටුණු ඇගේ සැමියා එම සම්බන්ධය නතර කරන්නට ඇයට අවවාද කළද ඉන්දිකා සිය සැමියාට අවනත වූයේ නැත. මේ නිසා කිහිප වරක්ම නීතියේ සරණ පැතීමටද ඉන්දිකාගේ සැමියාට සිදු විය. ඉන්දිකාගේත් ප‍්‍රියංගගේත් පෙම් පලහිලව්ව දැන දැනම දරු දෙදෙනා ගැන සිතා ඇගේ සැමියා ඉවසූ නමුත් වැඩි කාලයක් යන්නට මත්තෙන් සියල්ල දෙදරා යන්නට විය.

ඉකුත් හත්වැනිදාට එළිය වැටෙන්නට හෝරා කිහිපයක් තිබියදී නින්දෙන් අවදි වූ පස් වසරැති ඉන්දිකාගේ බාල පුතු තම මවත් සොහොයුරාත් කතා නොකරන නිසා අසල නිවසකට ගොස් එහි නිවැසියන්ට ඒ බව දන්වා තිබේ.

අසල්වැසි කාන්තාව ඉන්දිකාගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඒවාට පිළිතුරු බඳින්නට ඉන්දිකා ජීවතුන් අතර සිටියේ නැත.

හත්වැනිදා උදෑසන අසල්වාසීන්ගේ දැනුම් දීම මත ගල්ගමුව හා මහානාන්නේරිය පොලිස් ස්ථාන වල නිලධාරීන් ඉන්දිකාගේ නිවස පරීක්ෂාවට ලක් කළේය.

පාතම්බර ආරච්චිලාගේ ඉන්දිකා ශාන්ති (28) සහ රාජකරුණා මුදියන්සේලාගේ සෙනිත ලක්විඳු (10) යන දෙදෙනාගේ මුඛ ගැට ගසා පහර දී මරා දමා තිබිණි. ඒ ආසන්නයේම තිබූ වයරයකින් ගෙල වැලලා ගනිමින් හේරත් මුදියන්සේලාගේ ප‍්‍රියංග තුෂිත කුමාර විජේරත්න (28) ද සිය දිවි හානිකරගෙන තිබුණේ ඔවුන්ගේ මරණ සම්බන්ධයෙන් බොහෝ සැක සංකා ඉතිරි කර තබාය.

නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ පූර්ණ උපදෙස් මත ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී සාලින්ද සමරකෝන්, ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ද සොයිසා, නාන්නේරිය පොලිස් ස්ථානාධිපති ආර්. අයි. බී. ජයරත්න යන මහත්වරුන් මෙම මරණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළහ.

නිකවැරටිය ිදජද නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදු කළ කරන ලදී. එහිදී සිය දිවි හානි කරගත් ප‍්‍රියංගගේ බවට සැක කරන ජංගම දුරකථනයක් හා යම් සටහනක් තැබූ කොළයක් සොයා ගැණුනි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ගල්ගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් කල්පනා එස්. රාජපක්ෂ මහත්මිය විසින් සිදු කළාය.

ඉන්දිකා විසින් ප‍්‍රියංගව ප‍්‍රතික්ෂේප කිරීම නිසා හෝ බහින්බස් වීමක් දුර දිග යෑම නිසා හත්වැනිදා අලූයම එකට පමණ මෙම තරුණයා ඉන්දිකාත් ඇගේ දරුවාත් මරා දමා ඔහුගේත් දිවි තොර කර ගන්නට ඇති බවට පොලිසිය සැක පළකළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් සියදිවි හානි කරගත් ප‍්‍රියංග පොලිස් සේවයට බැඳීමට සිටි බවටද තොරතුරු අනාවරණය විය.

‘‘පොඩි පුතා ඇවිදින් කීවා අම්මයි අයියයි කතා කරන්නෙ නෑ කියලා. අපි ඒ වෙලේ ඉන්දිකා නංගිට කෝල් කළා. ෆෝන් එක ආන්සර් කළේ නෑ. ගමේ අය පහුවදා ගිහින් බලද්දි තමයි නංගියි පුතයි මරලා දාලා තියනවා දැකලා තියෙන්නේ. ඒ නංගිගේ මහත්තයා දවස් දහයකට වගේ කලින් නිවාඩු ඉඳලා ගියේ.” සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසී කාන්තාවක් එලෙස අදහස් දැක්වූවාය.

තම මවටත් සොහොයුරාටත් වූයේ කුමක්දැයි හරි හැටි නොතේරෙන කුඩා දරුවා මිත්තණියගේ තුරුලේ තවමත් සුසුම් හෙළමින් බලා සිටියි.

පසුගිය නවවැනිදා මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන මහතාගේ මූලිකත්වයෙන් සිදු විය. නාන්නේරිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.අයි.බී. ජයරත්න,

ගල්ගමුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ පො.සැ. (31163) ජයතිලක, පො.කො. (84950) පුෂ්පකුමාර යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඉන්දිකාගේ හා පිරිමි දරුවාගේ මුව ගැට ගසා මොට ආයුධයකින් හිස් කබලට හා දෑස් වලට හානි කර පහර දී ඝාතනය කර තිබූ බවට අනාවරණය විය.

ඝාතනයෙන් පසුව සිය මව බලා ගන්නා ලෙසටත් තමන් සියදිවි හානි කර ගන්නා බවටත් සහෝදරයකුට සටහනක් තබා ඝාතකයාද සියදිවි හානි කරගෙන ඇත.

ජීවිත තුනක් ඝාතනය කරමින් අනියම් පේ‍්‍රමයක අවසානය එලෙස සටහන් කරමින් ඉන්දිකාගේ හා ඇගේ දරුවාගේත්, ප‍්‍රියංගගේත් දේහයන් පිළිබඳ අවසන් කටයුතු පසුගිය දහවෙනිදා සිදුකෙරිණි.

ගිනියම් වූ අනියම් පේ‍්‍රමයෙන් හයක් හතරක් නොතේරෙන දරුවකුට මව හා සොහොයුරා අහිමි විය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි සෙනිතට කිසිම වරදක් නොකර ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. පේ‍්‍රමය සුන්දර වුවද එය අසුන්දර වන්නට ගත වන්නේ නිමේෂයකි. සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කිරීමට ඉන්දිකා හෝ ප‍්‍රියංග දැන් ජීවතුන් අතර නැත. උපකල්පන නිගමන දොස් පරොස්වලට ඉඩ තබා ඔවුන් යළි නොඑන්නම ගොසිණි. තාමත් පස්

වසරැති කුඩා දරුවාගේ හෙට දවස කෙලෙසක විසඳේද යන්න ප‍්‍රශ්නාර්ථයකි. බොහෝ දෙනාගේ හදවත් සලිත කරමින් ගල්ගමුව නාන්නේරිය ඛේදවාචකය තවත් එක් අපරාධයක් ලෙස ඉතිහාසයට එක් විය.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment