ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි

147

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක මැතිසබයට දන්වයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පතෙහි 02 සහ 05 වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවත් 03 වැනි වගන්තිය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන අතර එහි 06 වැනි වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මතයක් ප‍්‍රකාශ කළ නොහැකි බවත් දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (08දා) දැනුම් දුන්නේය.

එම පනතේ 10 සහ 12 වැනි වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල වුවද ඒවා සංශෝධනය කළහොත් එම අනනුකූලතාවන් ඉවත් වන අතර එහි 11 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුකූල යැයි කීමට කිසිදු පදනමක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද ”ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

”ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ:

පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය – පනත් කෙටුම්පතෙහි 2 වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි කිසිදු විධිවිධානයක් හා අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රකාරව, පනත් කෙටුම්පතෙහි 3 වගන්තියට පක්ෂව ඡුන්දය ප‍්‍රකාශ කරනු ලබන මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව සමස්ත මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවෙන් (නොපැමිණි මන්ත‍්‍රීවරුන් ද ඇතුළුව) තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් නොවන්නේ නම්, එවිට පනත් කෙටුම්පතෙහි 3 වගන්තිය නීතියක් ලෙස පනවනු ලැබිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයයි.

කෙසේ වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතෙහි 3 වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමඟ අනනුකූලවීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි මතයයි.

පනත් කෙටුම්පතෙහි 4 වගන්තිය- එය එසේ පැවතියදී වුවත්, 141 ව්‍යවස්ථාව පනත් කෙටුම්පතෙහි 4 වගන්තියෙහි යෝජිත 10 වගන්තියේ ප‍්‍රධාන කොටස ලෙස ඇතුළත් කරන ලෙසට නීතිපතිතුමා විසින් අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇති බව සහ පෙත්සම්කරුවන් විසින් මතුකරනු ලැබ ඇති ගැටලූවලට විසඳුම් ලබාදීම පිණිස අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය යෝජනා කරනු ඇති බව උගත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණය වෙත දැනුම්දෙනු ලැබ ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය- ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙහි සඳහන් කර ඇති හේතු දැක්වීම්වලට අනුව පනත් කෙටුම්පතෙහි 5 වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් සමඟ අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතෙහි 6 වගන්තිය- ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව ප‍්‍රකාරව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි 11 වගන්තියෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප‍්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප‍්‍රශ්න කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ.

පනත් කෙටුම්පතේ 10 වගන්තිය- ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙහි දක්වා ඇති පරිදි පනත් කෙටුම්පතේ 10 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

පනත් කෙටුම්පතේ 11 වගන්තිය-පනත් කෙටුම්පතේ 11 වගන්තිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වේය යන මතය දැරීමට කිසිදු පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශ කරනු ලැබ ඇත.

පනත් කෙටුම්පතේ 12 වගන්තිය- 12 වගන්තියේ යෝජිත 26(2) ෙඡ්දය එහි පවත්නා ස්වරූපයෙන් සලකනු ලැබූ විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි.

123(1)(ඇ) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශ කරනු ලැබ ඇත්තේ පනත් කෙටුම්පතේ 12 වගන්තියේ යෝජිත 26(2) වගන්තිය තුළ දක්වා ඇති විධිවිධාන,ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුළ දක්වා ඇති පරිදි සංශෝධනය කරනු ලබන්නේ නම් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් සමඟ අනනුකූල වීම ඉවත් වනු ඇති බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment